Print this Article


බලාසිටියදී ම ධනය පිරිහෙනවා ද?

බලාසිටියදී ම ධනය පිරිහෙනවා ද?

දුෂ්කර කාලයන්ට මුහුණ දෙන්නට සිදුවීම ලෝ දහමේ හැටිය. ජීවත්වීම අසීරු යැයි ජීවිතයෙන් පළා යාම හෝ, අන්සතු දෙය උදුරාගෙන සොරකමින්, වංචාවෙන්, ජීවත් වීම හෝ බෞද්ධයාගේ ස්වභාවය නොවේ. ඕනෑම අවස්ථාවකට නොසැළී මුහුණ දෙන්නටත්, ඕනෑම අවස්ථාවක් කළමණාකරණය කරගන්නා ආකාරයත් සම්බුදු දහම තුළ මනාව අන්තර්ගත ය.

සම්පත් ඇති කල ද, නැති කලද අරපිරිමැස්ම සේ ම සරල ජීවන පැවතුම් අත්‍යවශ්‍ය ය. බොහෝ අය මහා ධන සම්පත් ඇතිව සිටිය ද කලකින් දිළිඳු වන්නේ මේ ගුණ ධර්ම නොවීම නිසා ය. සම්පත් ඇති පවුලක් ඒ සම්පත් සහිතව බොහෝ කාලයක් පැවතීමටත්, නොපැවතීමටත් හේතු වන කරුණු සතරත් ධර්මයෙහි ඉගැන්වේ. පළමුවැන්න විනාශ වී ගිය දෙය යළි සොයා නොගැනීම ය.

දෙවැන්න දිරාගිය හෝ ඉරීගිය, අබලන් වූ දෙය යළි පිළිසකර කර නොගැනීම ය. අතීත හෙළයා තුළ ඉතා ඉහළින් පැවැති මේ සකසුරුවම අපේ නව සංස්කෘතිය තුළ ඇත්තේ ම නැති තරම් ය.

ඇතැම් ගෙදරක ඉදිකටුවක්, නූල් බෝලයක් දැන් සොයා ගන්නට නැත.

අට පිරිකරෙහි ඉදිකටුව එක පිරිකරකි. භික්ෂූන් වහන්සේට අනුදැන වදාරා ඇත්තේ තුන් සිවුරකි. තුන් සිවුර ප්‍රයෝජනයට ගත නොහැකි තෙක් ඉරීගිය තැන මසාගෙන හෝ දිරාගිය තැන ඉරා දමා කෑල්ලක් අමුණා මසා ගැනීමට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරා ඇත.

අද බොහෝ දෙනෙක් ආහාරයේ ප්‍රමාණය නොදනිති. අද අපේ රටේ දුප්පත් නිවෙසක සිට ධනවත් නිවෙස දක්වා කොපමණ ආහාර ප්‍රමාණයක් ඉවත දමනවා ද? මීට විසි වසරකට පමණ පෙර, මම එක් අවස්ථාවක මාසයකට ආසන්න කාලයක් දකුණු කොරියාවේ සෝල් අගනුවර වාසය කළෙමි. එහිදී නිවෙස්, හෝටල් හා පන්සල්වල කෑමට බත සපයනු ලබන්නේ අප තේ බොන පීරිසි කෝප්පයක තරම් භාජනයක ය. එය ඉතිරි නොකට බුදිය යුතු අතර, බිමට ඇටයක් හෝ වැටුණහොත් අහුලාගෙන කෑ යුතු ය. ඒ රටේ එකල බොහෝ ගෘහ උපකරණ නොවීය. අනවශ්‍ය වේලාවට අකුළා තැබිය හැකි උස නැති ප්‍රමාණවත් ටීපෝවක් දිග හැර එහි කෑම තබා ආහාරයට ගන්නේ බිම හිඳගෙන ය. බිම පිරිසුදු හෙයින් ද, බිම වාඩි වී සිටින හෙයින් ද බිම වැටෙන දෙය අහුලා කෑමට පුළුවන් අතර, එය ගෞරවයට හානියක් සේ සැලකීමක් එරට සංස්කෘතියේ නොමැත.

එහෙත් කාලය හා අමනෝඥකම් නිසා මේ ක්‍රමයන් වෙනස් විය හැකි ය.

පසළොස්චරණ ධර්ම අතර පමණ දැන ආහාර ගත යුතු බව (භොජනෙ මත්තඤ්ඤුතා එක් කරුණකි.

මජ්ක්‍ධිම නිකාය 2 කීටාගිරි හා භද්දාලි සූත්‍රවල තමන් වහන්සේ එසේ ආහාර - පාන පරිභෝජනය කළ නිසා කායික හා මානසික වශයෙන් ලැබූ ප්‍රතිලාභ පහක් දක්වා ඇත. බුදුරජාණන් වහන්සේ ඒකභත්තික ය. එක වේලක් වැළඳූ උතුමෙකි. එහෙත් පොදුවේ සීමා පනවා නොමැත. ප්‍රමාණය දැන තවත් බත් පිඬු දෙක තුනකට ඉඩතබා වැළඳීම දක්වා ඇත.

සම්පත් බොහෝ කල් නොපැවැත්මට හේතුවන තවත් කරුණක් වන්නේ දුසිල්වත් ස්ත්‍රියක් හෝ පුරුෂයකු නිවසේ භාණ්ඩාගාරික වීමය.

මෙහිදී දුසිල්වත් යනු කය වචනය සංවර නැති, අය වැය පිළිබඳ සමතුලිත බවක් නොදන්නා, අරපිරිමැස්ම නොසලකන යන අදහසයි. භාණ්ඩාගාරික යනු නිවෙසකට, කුලයකට, පවුලකට යම් ආදායම් මාර්ග තිබේ නම් ඒවා එක් තැනකට එකතු වී අනතුරුව වියදම් කිරීම යන අදහසයි.

සම්පත් බොහෝ කල් ආරක්ෂා වීමට මේ සතර කරුණු ගුණ වශයෙන් ගත යුතු ය. (අ.නි. කුල සූත්‍රය. චතුක්ක නිපාතය)