Print this Article


නිර්මල ථේරවාදී බුදුදහම ජාත්‍යන්තරයට රැගෙන යන වැඩපිළිවෙළක් අවශ්‍යයි

නිර්මල ථේරවාදී බුදුදහම ජාත්‍යන්තරයට රැගෙන යන වැඩපිළිවෙළක් අවශ්‍යයි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම පුරාණ රාජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවේණස්ථානයේ අධිපති ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරාධිපති ආචාර්ය සද්ධර්මකීර්ති භාෂාන්තර විශාරද ජර්මනියේ සමථ බලසම්පන්න ප්‍රධාන සංඝනායක රඹුක්වැල්ලේ ශ්‍රී බුද්ධරක්ෂිත දේවානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

නූතන භික්ෂු වංශ කතාවේ ජර්මන් භාෂාව මාධ්‍ය කොට ආචාර්ය උපාධියක් ලබාගත් ප්‍රථම භික්ෂුන් වහන්සේ වශයෙන් අව්‍යාජ කීර්තියක් ඇති ධර්මවිනයධර වියත් පඬිරුවනක් ලෙස ක්‍රියාකරන ඔබ වහන්සේගේ පැවිදි ජීවිතයේ සාර්ථකත්වයට කුඩා කාලයේ බලපෑ හේතු පිළිබඳ මතකය ආවර්ජනය කරනවා නම්, අපේ හාමුදුරුවනේ,

මගේ ජන්මෝත්පත්තිය සිදුවුණේ දිසානායක මුදියන්සේලාගේ පුංචිබණ්ඩා දිසානායක නිළමෙතුමාගේ හා කුලසේකර මුදියන්සේලාගේ පුංචිමහත්තයෝ යන සද්ගුණවත් ශ්‍රද්ධාවන්ත මව්පිය දෙපළගේ පුත්රුවන් වශයෙන්. ඒ ‌ඓතිහාසික මහනුවර තෙල්දෙණිය රඹුක්වැල්ල ප්‍රදේශයේදී. තෙල්දෙණිය දුම්බර මහා විද්‍යාලයෙන් මූලික අක්ෂර ශික්ෂාව ලබාගත් අවධියේ දී ම උතුම් ශාසනික ජීවිතයට රුචිකත්වයක් දැක්වුවා. ඒ් අනුව පූර්වෝකෘත පුණ්‍යමහිමයත් ,සැදැහැති මව්පියන්ගෙන් ලැබුණු ශාසනික උරුමයත් හේතුවෙන් 1975 වර්ෂයේ දී ගම්පහ දොරණෑගොඩ සදානන්ද මහ පරිවේණාස්ථානයට ඇතුළත්ව එවකට දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම විහාරාධිපතිව හා සදානන්ද මහ පරිවේණාධිපති ව වැ‌ඩ සිටි අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත රඹුක්වැල්ලේ ශ්‍රී බුද්ධරක්ෂිත ප්‍රඥාසාරාභිධාන සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ,සදානන්ද මහ පරිවේණාස්ථානයේ අධ්‍යක්ෂ කුරුකොහොගම ශ්‍රී බුද්ධරක්ෂිත ජිනානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයකු වශයෙන් 1976 වර්ෂයේ දී රඹුක්වැල්ලේ දේවානන්ද යන උතුම් ශාසනික නාමයෙන් දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රාජමහා විහාරස්ථ සදානන්ද මහ පරිවේණාස්ථානයේදී උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනයේ පුණ්‍යවන්ත ප්‍රව්‍රජ්‍යාභාවයට පත්වීමට තරම් භාග්‍යවන්ත වුණා. සාර්වභෞම පාණ්ඩිත්‍යයෙන්, සංඝසෝභන ගුණයන්ගෙන් පිරිපුන් ගුරුදේවෝත්තමයාණන් වහන්සේලාගේ ආදර්ශවත් භික්ෂු ජීවිත තුළින් ලැබුණු අභාසය මගේ පැවිදි ජීවිතය ඔපවත්වීමට හේතුවුණ බවත් මේ අවස්ථාවේ දී ගෞරවයෙන් කෘතවේදීව පුණ්‍යානුමෝදනා පූර්වකව සහිපත් කළ යුතුයි.

ඒ වගේම දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රාජමහා විහාරස්ථ සාදානන්ද මහ පිරිවෙන් පරිවේණාස්ථානයෙන් ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබා 1984 වර්ෂයේ දී ප්‍රාචීන විභාගය සමත්ව උසස්පෙළ විභාගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ලකුණු ලබා 1985 වර්ෂයේ දී කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව 1990 වර්ෂයේ දී ප්‍රථම පංති ගෞරව සමාර්ථයක් සහිතව සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තා. ඒවගේම ශික්ෂාකාමී සඟ පරපුරක් සම්මා සම්බුද්ධ ශාසනයට දායාද කිරීමට ශාසනානුලෝමී හැඟීමෙන් කටයුතු කළ එම පරිවේණස්ථානයේ වැඩ සිටි සුපේශල ශික්ෂාකාමි ශාස්ත්‍රඥයන් වහන්සේගේ අවවාද අනුශාසනාවලට ගරු කරමින් ශාස්ත්‍රෝන්නතිකාමිත්වයෙන් යුක්තව චිරාගත සම්ප්‍රදායන් පූර්වාදර්ශ කොට ගනිමින් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා ගත් බවත් සිහිපත් කිරීම වැදගත්. එම කාල පරිච්ඡේදයේදීම නිසි වයස සම්පූර්ණවීමත් සමඟ පූර්වෝපචිත කුසලශ්‍රීයෙන් විරාජමානව 1985 වර්ෂයේ දී මල්වතු මහා විහාර උපෝෂථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයට පත්වීමට තරම් පුණ්‍යවන්ත වුණා. 1992 වර්ෂයේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන විදේශීය ධර්ම දූත සේවයට ජර්මනියේ බර්ලින් විහාරයට වැඩම කළා. සිංහල, පාලි ,සංස්කෘත,ඉංග්‍රීසි භාෂාවන්ට අමතරව ජර්මන් භාෂාව පිළිබඳ ‌පෘථුල අවබෝධයක් ලබා තිබීමත් අතිශයින් වැදගත් වුණා.

විදේශීය ධර්ම දූතයන් වහන්සේ නමක් වශයෙන් ප්‍රකට ඔබ වහන්සේ දේශීය මෙන්ම විදේශීය වශයෙන් සිදුකරන ධර්ම ශාස්ත්‍රීය ජාතික හා ජාත්‍යන්තර සේවාවන් පිළිබඳ ඔබ වහන්සේගේ වචනයෙන් ම සඳහන් කිරීම ඉතා වැදගත් නායක හාමුදුරුවනේ,

ජර්මනියේ හිට්ලර් සිදුකළ දෙවන ලෝක සංග්‍රාමයේ දී මියගිය ලක්ෂ සංඛ්‍යාත ජනතාව නිමිත්තෙන් ජර්මනියේ හිටපු ජනාධිපති ආචාර්ය රිචර්ඩ් ෆොන් වෛසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නායකයන් ,ආගමික නායකයන් සහභාගිත්වයෙන් බර්ලින් නුවර ජර්මන් පාර්ලිමේන්තුවේ දී 1994 මැයි 30 වැනිදා පැවැත්වුණු ගුණානුස්මරණ උත්සවයේ දී බුදුදහම වෙනුවෙන් ජර්මන් භාෂාවෙන් දේශනයක් සිදුකළ එකම හා ප්‍රථම ශ්‍රී ලාංකිකයා වගේම, එකම භික්ෂුව වීමේ සුවිශේෂී දුර්ලභ අවස්ථාව ලැබුණා.

ඒවගේම 2002 වර්ෂයේ දී ප්‍රථම වතාවට ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සර්වඥධාතු ප්‍රදර්ශනයක් පැවැත්වීමටත් කටයුතු කළා. එම සර්වඥධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට විශාල විදේශීය සැදැහැවතුන් පිරිසක් සහභාගි වුණා වගේම එම ධාතූන් වහන්සේලා අතිපූජනීය වන්දනීය මහා නායක මාහිමිපාණන් වහන්සේලා විසින් අමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චෛත්‍යයක් තනවා නිධන් කිරීමට පරිත්‍යාග කළා. එම ධාතු ප්‍රදර්ශනය සංවිධානය කිරීම නිමිත්තෙන් තායිලන්තයේ සංඝරාජ හිමිපාණන් වහන්සේගේ ගෞරව සම්භාවනාවටත් පාත්‍රවුණා. බර්ලින් නුවර විහාරස්ථාන 52 ක් ඒකරාශී කරගෙන වාර්ෂිකව වෙසක් උත්සව පැවැත්වීමටත්, බර්ලින් නුවර රජයේ පාසල්වල බුදුදහම ඉගැන්වීමටත් ,”ධර්මදූත” නමින් ජර්මන් භාෂාවෙන් සඟරාවක් පළ කිරීමටත් කටයුතු කළා වගේම ජර්මනියේ විශාලතම බන්ධනාගාරයේ සිටින රටවල් 165 කට අයත් ජාතික සිරකරුවන් 1600 කට සතිපතා විපස්සනා භාවනාව ඉගැන්වීම නිසා සිරකරුවන් නිවුනු පුද්ගලයන් බවට පත්වුණා.

මේවන විට ජර්මනියේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කරමින් බර්ලින් හුම්බෝල්ට් ජාතික විශ්ව විද්‍යාලයේ ලෝක ආගම් හා දර්ශන පීඨයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරනවා. ජර්මන් හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම පංති ගෞරව සමාර්ථයක් සහිතව ආචාර්ය උපාධියක් ලබා ගත් ප්‍රථම හා එකම ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ වශයෙන් ජර්මන් භාෂාවෙන් ඉදිරිපත් කළ "ශ්‍රී ලංකාවේ බෞද්ධ උත්සව හා පුණ්‍යකර්මවල ප්‍රකට වන ‌ඓතිහාසික හා දාර්ශනික පදනම" යන පර්යේෂණාත්මක නිබන්ධනය ජර්මන් ජාතික විශ්ව විද්‍යාල සහ නගර සභා පුස්තකාල 200 කට අධික ප්‍රමාණයකට මුද්‍රණය කොට බෙදාහැර තිබෙනවා.

Buddismus und Demokrate gelebte Weisheit des Buddha, DER historische Und philasophische Hintergrund buddhistischer Zeremonien und Feste auf sri lanka , , සහ “මේ වගේ දේවල් දන්නේ කවුද? සහ තවත් ලිපි“ යන ග්‍රන්ථ රචනා කළා. ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරය ආරම්භ කරමින් ජර්මනියේ පළමු වතාවට බර්ලින් විහාරස්ථානයේ දී පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිදුකළා.

වසර 25 කට අධික කාලයක් ජර්මනිය ඇතුළු යුරෝපයේ හා විදේශීය දූත සේවාවෙහි යෙදෙමින් සිදුකළ සේවය ඇගයීමට පාත්‍ර කරමින් මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක ධූරන්ධර තිබ්බ්ටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මගින් සද්ධර්මකීර්තී ශ්‍රී බුද්ධරක්ෂිත භාෂාන්තර විශාරද යන ගෞරව නාමය සහිතව ජර්මනියේ සමථබලසම්පන්න ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමට කටයුතු කළා.

නූතන විදේශීය වියතුන් බුදුදහම කෙරෙහි දක්වන රුචිය සපුරාලීමට සමත් භික්ෂු පරපුරක් ගොඩනැඟීමෙහිලා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විචක්ෂණ පඬිරුවනක් වශයෙන් ඔබ වහන්සේ ගේ අදහස් දක්වමින් සාකච්ඡාව අවසන්කරමු අපේ හාමුදුරුවනේ,

නිර්මල ථේරවාදී බුදුදහම තිබෙන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවට විදේශීය රටවල පිළිගැනීමක්, කීර්තියක් තිබෙනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය මීට වඩා ගැඹුරු විය යුතුයි. ධර්මය, භාවනාව , සමඟ භාෂා අවබෝධයත් ඇතිව ජාත්‍යන්තරයට පිවිසීම වැදගත්. නිර්මල ථෙරවාදී බූදදහම විදේශිකයන්ට රැගෙන යන වැඩ පිළිවෙළක් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ සැකසෙන්න අවශ්‍යයි කියා මා හිතනවා.