Print this Article


ධර්ම විනයධර වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධි නා හිමි

ධර්ම විනයධර වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධි නා හිමි

මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර කඳුපළාත – වල්ගොව්වාගොඩ නම් ග්‍රාමවරයේ හිටපු ගම්පති දුනුවිල මුදියන්සේලාගේ කළු බණ්ඩාර නිළමේතුමන් සහ මාරසිංහ මුදියන්සේලාගේ බිසෝ මැණිකේ මාතාව දෙගුරුන් කොට 1941 සැප්තැම්බර් මස 17 වැනි දින මහනුවර දී ජන්ම ලාභය ලද නාහිමියන්ගේ ගිහි නාමය දුනුවිල මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා ය.

1956 පෙබරවාරි 16 වැනි දින සුපේශල ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේ නමක් වූ වල්ගොව්වාගොඩ ශ්‍රී ජිනරතන සහ මල්වතු මහා විහාරයීය ලේඛකාධිකාරි යටිගම්මන ශ්‍රී මේධංකර විමලඥාන යන නා හිමිවරු ගුරු කොට මෙයියාගොඩ විහාරස්ථානයේ දී පැවිදි බවට පත්විය.

1961 ජුනි 21 දින ඉසුරුමුණිය ශ්‍රී සංඝරක්ඛිත, හිග්ගොඩ ඛේමානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ දෙනම ගුරු කොට පුරිජ්ජල ශ්‍රී සරණංකර මහ නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී වාහලනාග නාමයෙන් උපසම්පදාවට පත්විය.

වර්ෂ 1986 දී මල්වතු මහා විහාරයීය වින්සත්වර්ගික කාරක මහා සංඝ සභාවේ සභික ධූරයට පත් වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධි නා හිමියෝ 1992 දී මහනුවර ශ්‍රී සංඝරාජ පිරිවෙණේ පරිවේණාධිපති ධූරයට පත් වූහ.

වර්ෂ 2004 ඔක්තෝබර් 23 වැනි දින මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ධූරයට පත්වන අප නා හිමියන් 2008 වර්ෂයේ දී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ තේවා කටයුතු සඳහා සම්බන්ධ වීමට භාග්‍ය හිමිකර ගන්නා ලද අතර, ඉන්දියාව, නේපාලය, මැලේසියාව, තායිලන්තය, මියන්මාරය, සිංගප්පූරුව වැනි රටවල ද, මල්වතු මහා විහාරය නියෝජනය කරමින් ආගමික වැඩසටහන් සඳහා ද සම්බන්ධ වී ඇත.

යටිනුවර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති වශයෙන් ද, දහම් පාසල් ගුරු සංගමයේ සභාපති වශයෙන් ද සිදු කරනු ලැබූ සේවාවන් ප්‍රදේශයේ ගිහි පැවිදි සැමගේ ගෞරවාදරය දිනා ගැනීමට සමත් ව ඇත.

ස්වකීය ශාසනික හා සමාජයීය සේවාවන් මැනවින් පවත්වා ගැනීම පිණිස ඇති කර ගන්නා ලද ශිෂ්‍ය පිරිස අතර මල්වතු මහා විහාරයීය කර්මාචාර්ය, පූජාපිටිය පෙතියේගොඩ පුරාණ විහාරාධිපති අලවත්තේගම සේනානන්ද හිමි, ජපානයේ බෞද්ධ විහාරවාසී මල්වතු මහා විහාරයීය කර්මාචාර්ය තිස්සව සමිද්ධී හිමි, පරිවෙණාචාර්ය වල්ගම්පායේ ඛේමානන්ද හිමි, ඉඩමේගම පියනන්ද හිමි, පුපුරැස්ස රජතලාව පුරාණ විහාරාධිපති කුරුණෑගොඩ ධම්මින්ද හිමි, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් පාරමිතා බෞද්ධ විහාරවාසි ඉළුක්වත්තේ ධම්මරතන හිමි, විල්ගමුවේ විමලානන්ද හිමි, අලුවත්තේගම සුමනානන්ද හිමි යන පිරිස මූලික වේ.

80 වසරක් ආයු වළඳා අපවත් වී වදාළ මහනුවර ශ්‍රී සංඝරාජ පිරිවෙනේ හිටපු පරිවේණාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධිඅභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි අප නාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනය කරමු.