Print this Article


වස්සාන සමයේ පුණ්‍ය ප්‍රතිපදාව ශක්තිමත් කර ගනිමු

වස්සාන සමයේ පුණ්‍ය ප්‍රතිපදාව ශක්තිමත් කර ගනිමු

බුදුරදුන්ගේ පළමු ධර්ම දේශනය පැවැත්වීමත්, ථේරවාදී බෞද්ධ රටවල භික්ෂූන් වහන්සේලා වස් සමාදන් වීමත් යන ඓතිහාසික සිදුවීම් දෙක හේතුවෙන් ඇසළ පොහොය බෞද්ධයන්ට වැදගත් දිනයක් වේ.

සසුන ආරම්භක අවදියේ භික්ෂූන් වහන්සේ චාරිකා ජීවිතයක් ගත කළ අතර, බුදුරජාණන් වහන්සේ ද භික්ෂූන් ඒ කෙරෙහි උනන්දු කළහ. ප්‍රථම රහත් සැට නම අමතා කෙරෙන බුද්ධානුශාසනයෙන් පැහැදිලි වන්නේ ධර්මය ප්‍රචාරය කිරීම චාරිකාවේ ප්‍රධාන අරමුණ වූ බවයි.

වර්තමාන භික්ෂුව මෙන් නොව සංකීර්ණ සමාජ වගකීම් හෝ යුතුකම්වලින් ආරම්භක ශ්‍රවකයන් වහන්සේ නිදහස් වූ අතර, කඩිනමින් තම විමුක්තිය සම්පාදනය කරගෙන සමාජයට ධර්මය කියාදෙමින් ගිහි පිරිස පවින් වළක්වා ස්වර්ග මාර්ගයට යොමුකරවීම උන්වහන්සේ ගේ ප්‍රධාන කාර්යය වූ බව පෙනේ.

උන්වහන්සේ සිව්පසය අවම ආකාරයෙන් සම්පාදනය කර ගත් අතර, අපිස් සතොස් දිවිපෙවෙතක් ගතකොට ආධ්‍යාත්මික සුවය අත්දැකීමක් කරගෙන වාසය කළහ. මේ අරමුණු දෙක ම උන්වහන්සේලාගේ චාරිකා පිළිවෙතින් සම්පූර්ණ කර ගත්හ. එහෙත් ඉන්දියානු ආගමික, සමාජයීය, භෞගෝලීය හා දේශගුණික බලපෑම් හේතුවෙන් මෙම නිදහස් චාරිකා ජිවිතයට වස්සානය සමයෙහි තාවකාලික විරාමයක් තබන්නට සිදුවිය.

බුදුරජාණන් වහන්සේ වස්සාන ශික්ෂාපදය පැනවීමත් සමඟ වස් තෙමස කිසියම් සෙනසුනක විවේකීව වාසය කරමින් ආධ්‍යා ත්මික විමුක්තිය උදෙසා කැපවීමෙන් යුතුව කටයුතු කිරීමට හුරුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ස්ථාවර වාසස්ථාන කෙරෙහි භික්ෂුන් වහන්සේට උනන්දුවක් ඇති වූ අතර, මෙකී සංචාරක ජීවිතයේ තාවකාලික විරාමය පසුකලෙක බෞද්ධ ආගමික සංස්ථා නිර්මාණය වීමෙහිලා බලපෑවේ ය. වස්සාන ශික්ෂාපදය පැනවීමෙන් ආරම්භ වූ වස්සානය පසුකලෙක වඩාත් සංකීර්ණ ආගමික සංස්ථාවක් බවට පත්විය.

සංචාරක ජීවිතයෙන් ලද තාවකාලික විරාමය ස්වකීය ආධ්‍යාත්මික විමුක්තිය කඩිනම් කර ගැනීමටත් විහාරස්ථාන කරා පැමිණි මහජනයාට ධර්මය දේශනා කිරීමටත් වෙන්කර ගැනීමට ආරම්භක භික්ෂූන් වහන්සේ ක්‍රියා කළහ. විනය පිළිවෙතට අනුව වස්සානය ආධ්‍යාත්මික කාලයක් වශයෙන් හැඳීන්වීම වඩාත් අර්ථවත් ය. ආරම්භයේ සිට ම සිදුවුණේ භික්ෂූන් වහන්සේ වැසි කාලය ආසන්න වන විට සුදුසු සෙනසුනක් සොයාගෙන එහි වස් සමාදන් වීමයි.

උන්වහන්සේ පිළිබඳ අවබෝධයක් තිබුණ දායක පිරිස තමන් ම ස්ව කැමැත්තෙන් උන්වහන්සේට වස් කාලය තුළ උපස්ථාන කිරීමට පොරොන්දු වෙමින් ආරාධනා කළහ. ආරාධනාවක් ඇතැත් නැතත් භික්ෂූන් වහන්සේ වස් සමාදන් වී ආධ්‍යාත්මික පුහුණුව සඳහා සූදානම් වූහ.

වස් ශික්ෂා පදයට සමගාමීව හඳුන්වාදෙන ලද කඨිනය ආදි අතිරේක ශික්ෂාපද මඟින් තවදුරටත් එහි ආධ්‍යාත්මික අර්ථය ශක්තිමත් කොට ඇත. විශේෂයෙන් ම මෙම කාලපරිච්ඡේදය තුළ භික්ෂුව, භික්ෂුණිය පූර්ණ මානසික අවදි බවකින් (සතිසම්පජඤ්ඤ) වාසය කළ යුතු වේ.

සිහි නුවණින් තොරව ක්‍රියා කළහොත් වස්සාන ශික්ෂාව කැඩීමෙන් භික්ෂුවගේ අභිමතාර්ථ සාධනයට බාධා එල්ලවිය හැකි ය. හුදකලාව වස් සමාදන් වන භික්ෂුවකට වඩා සාමූහිකව වස් සමාදන් වන භික්ෂූන් වහන්සේ අතර මුඵ කාලය ම සමගිය හා එකිනෙකා කෙරෙහි මෙත් සිතින් ක්‍රියා කිරීම අනිවාර්ය වේ. එසේ නොමැතිව භේද භින්නව වස් කාලය ගත කරන්නේ නම්, උන්වහන්සේට පමණක් නොවෙයි, දායකයන්ට ද සිදුවන්නේ අයහපතකි.

වස්සාන ශික්ෂා පදය සමාදන් වන භික්ෂූන්ට වැසි සළු පූජා කිරීම සුවිශේෂි පින්කමක් ලෙස පිළිගෙන ඇති අතර, මෙම චාරිත්‍රය මුල්වරට අනුගමනය කළේ විසාඛා මහා උපාසිකාවයි. ඇය වරක් බුදුරජාණන් වහන්සේගෙන් වර අටක් ඉල්ලුවා ය. දිවි ඇති තෙක් සංඝයා වහන්සේට වැසි සළු පූජා කිරීම එක් වරයකි.

ශ්‍රද්ධාවන්ත උපාසිකාවකට හෝ උපාසකයකුට වස් කාලය තුළ මෙකී පින්කම් අටෙන් බොහෝමයක් සිදු කර ගැනීමට අවස්ථාව උදාවේ. ඒ සඳහා විශේෂ කාලයක් හෝ විශාල වියදමක් දරන්න අවශ්‍යද නොවේ. පැරැණි පිළිවෙත අනුව යමින් වර්තමානයේ ථේරවාද බෞද්ධ රටවල බොදුනුවෝ ඇසළ පොහොය දිනයෙහි ස්වකීය විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් භික්ෂූන් වහන්සේට වැසිසළු පිළිගන්වා වස් ආරාධනා කරති. අනතුරුව ඔවුහු ඉදිරි තෙමස තුළ උන්වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරති. මේ අනුව වස්සානය ආධ්‍යාත්මික සුවය සොයන භික්ෂුවකට මෙන් ම, ගිහි ශ්‍රාවකයාට ද තම ස්වර්ග මාර්ගය ආලෝකවත් කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් වශයෙන් නම් කළ හැකි ය.

වස්සාන සමයෙහි ලැබෙන විවේකය භික්ෂූන් වහන්සේට භාවනාව මෙන් ම ධර්මය ප්‍රගුණ කිරීම සඳහා යොදාගත හැකි වේ. අතීතයේ මේ ශාසනයේ රහතන් වහන්සේ සහ මාර්ගඵල ලාභීන් වැඩියෙන් ම බිහි වී තිබෙන්නේ වස්සාන සමයේ බව පැහැදිලි වේ. මේ අනුව වස්සාන සමය ආධ්‍යාත්මික විමුක්තිය සොයන භික්ෂු භික්ෂුණීන් දෙපිරිසට ම එය අතිශය ප්‍රයෝජනවත් කාලයක් වන අතර, ගිහි බෞද්ධයන්ට ස්වකීය පුණ්‍ය ප්‍රතිපදාව ශක්තිමත් කර ගැනීමට මහඟු අවස්ථාවක් වේ.

විශ්‍රාමික සුවයෙන් පසුවන නිරෝගී අයකුට වස්සානය තම ආධ්‍යාත්මික සුවය සඳහා භික්ෂූන්ගේ ඇසුර ලබමින් විවේකී සෙනසුනක වාසය කිරීමට අවස්ථාව සකස් කර ගත හැකි වේ. නිරන්තරයෙන් ම ලෞකික අරමුණු වෙනුවෙන් කටයුතු කිරීමට සිදුවන ග්‍රාමවාසී භික්ෂූන් වහන්සේට වස්සානය ලෝකෝත්තර අරමුණු වෙනුවෙන් අභිනිෂ්ක්‍රමණය කරන්නට මනා අවස්ථාවකි.

පුරාණ කාලයේ සිටි ඇතැම් ස්වාමීන් වහන්සේ වස්සානයේ දී තමන් නිරන්තරයෙන් වැඩ සිටින විහාරස්ථානයෙන් බැහැරව වෙනත් සුදුසු ස්ථානයකට ගොස් වස්සාන ශික්ෂාව සමාදන් වූයේ මෙකී ආධ්‍යාත්මික අවස්ථාව මුදුන්පත් කර ගැනීම පිණිස ය.

වස්සානය අර්ථවත් වන්නේ සිව්පසයෙන් උපස්ථාන කරන දායකයන්ට ධර්මයෙන් නිසි මඟ පෙන්වීමක් ලැබුණ හොත් පමණි.

වාණිජ අරමුණුවලින් බැහැර වී ආධ්‍යාත්මික අර්ථයකින් වස්සානය ගත කරන්නේ නම්, ධර්මය ගැඹුරින් හැදෑරීමට මෙන් ම, සාකච්ඡා කිරීමට එම තෙමස තරම් වටිනා කාලයක් වසරේ වෙනත් කාලයක් තුළ සොයා ගැනීමට අපහසු ය.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් සැට නම අමතා කළ බුද්ධාවවාදය තුළ ඇතුළත් වන්නේ ධර්ම සන්නිවේදනය කිරීමේ සමාජ කාර්යභාරයයි. භික්ෂුවගේ සමාජ කාර්ය භාරය යනු අනිකක් නොව බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය ලෝකයට ඉදිරිපත් කිරිම හා ඒ සම්බන්ධයෙන් සමාජය දැනුම්වත් කිරීමයි.

ධර්මය පිළිබඳ අවබෝධයක් මෙන් ම භාවනාව පිළිබඳව ද ගිහි පිරිසට මඟ පෙන්වීමක් ලබා දීමට ද මෙම කාලය බෙහෙවින් ප්‍රයීජනයට ගත හැකි වේ. භාවනා කිරීම ඇසූ පමණින් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ එය ජිවිතයෙන් පලායාමක් ලෙසයි. මෙම වැරැදි අවබෝධය ඇති වී තිබෙන්නේ භාවනාව ජිවිතය පිළිබඳ කලකිරුණු අය වෙනුවෙන් පවතින්නක් ලෙස වරදවා පිළිගැනීම නිසයි.

භාවනාවේ අවසාන අපේක්ෂාව සියලු කෙලෙසුන් නසා විමුක්තිය සාක්ෂාත් කිරීම වූව ද එයට අමතරව ලෞකික වශයෙන් ඉන් ලැබෙන මානසික සුවය සුවිශේෂී වූවකි. තරගකාරී ජීවිතයෙන් විඩාවට පත් නූතන සමාජයට භාවනාව මනෝවිකිත්සාවක් ලෙස යොදාගත හැකි වේ.