Print this Article


රහතන් වහන්සේ වැඩි මඟ දකින්නේ කවුරු ද?

රහතන් වහන්සේ වැඩි මඟ දකින්නේ කවුරු ද?

භවයෙන් භවයට සැරිසරන සත්වයා සංසාර චක්‍රයට හසු වී ඇත. එක භවයක් අවසන් කොට අලුත් භවයකට පිවිසීම එහි ස්වභාවයයි. එම සැරිසැරීමේ දී කාම, රූප, අරූපාදී ලෝකවලට මාරුවෙන් මාරුවට හසු වේ. එහෙත් බහුල වශයෙන් කාම ලෝකවලට අයත් සතර අපාය, සදිව්‍ය ලෝකය හ මිනිස් ලෝකය තුළ සැරිසැරීම පුහුදුන් මානසිකත්වයට අනුව සාමාන්‍ය ස්වභාවයයි.

සංසාර චක්‍රය තුළ මිනිස් ලෝකයේ ඉපදීමට ලැබීම ඉතා භාග්‍ය සම්පන්න කටයුත්තක් වනු ඇත. මිනිසෙක් වී ඉපදීම දුර්ලභ කරුණක් වශයෙන් බුදු දහම තුළ පෙන්වා දී ඇත. උසස් මනසක් ඇතිව ඉපදීම එහි විශේෂත්වයයි.

සාමාන්‍ය වශයෙන් අවුරුදු සියයක්, එකසිය විස්සක් මිනිසාට පරමායුෂ තිබුණ ද වර්තමානය වන විට පරමායුෂ හැටක්, හැත්තෑවක් පමණ අවම ප්‍රමාණයට සීමා වී තිබේ.

කෙටි කාලයක් තුළ ජීවත්වන මිනිසා ආයුෂ අවසන් වූ කල මිය යනු ඇත. ආයුෂ හා විඥානය පහ වූ කල දර කැබැල්ලක් සේ මෙම ශරීරය අක්‍රීය වනු ඇත. ඊට පසු ඔහු වෙනත් භවයකට සම්බන්ධකම් කියනු ඇත. ශරීරය පොළවට වැළලූ කල පස් බවට පත් වී, පොහොර වනු ඇත. මරණින් පසු කුමන තැනකට ගියා ද කියන වග නිශ්චිත වශයෙන් ම කීමට අපහසු ය.

ශරීරයක් පරීක්ෂා කොට, ශරීරයට සිදු වූ හානිය පිළිබඳ ඒ ඒ ලක්ෂණ පරීක්ෂා කොට කීමට වෛද්‍ය විද්‍යාවට අනුව සමත්කම් දැක්වුව ද මිය ගියාට පසු කොතැනට ගියා ද, කොතැනක ඉපදුණා ද කියා කීමට සමත්කම් දක්වන්නෝ නොවෙති. ශරීරය විනාශ වූයේ බාහිර බලපෑමකින් ද, යම් කෙනකුගේ පහර දීමකින් ද, නැතිනම් වෙඩි තැබීමකින් ද යන්න පිළිබඳ වෛද්‍ය වාර්තාවක් දීමට ඔවුනට පුළුවන්කමක් ඇතත් මියගොස් නැවත උපදින තැන කොතැන ද කියා කීමට හෝ ඒ පිළිබඳ සහතිකයක් දීමට සමත්කමක් දක්වන්නෝ විරල වෙති.

බුදුරදුන් දවස සිටි වංගීස නම් බමුණා මියගොස් ඉපදෙන තැන කීමට තරම් සුවිශේෂී හැකියාවක් තිබූ බමුණෙකි. ධම්ම පදයේ ඒ පිළිබඳ කතා පුවතක් ඇත. බුදුරජාණන් වහන්සේ කල සිටි වංගීස බමුණා මිය ගිය අයගේ හිස් කබල් ගෙන එයට නියපොත්තෙන් තට්ටු කොට ඔහු ඉපදී ඇත්තේ කොහේද යන්න පවසයි. එය කෙනකුට ඇති සුවිශේෂී හැකියාවක් බව අමුතුවෙන් කිවයුතු නැත. ඔහුගේ හැකියාවට අනුව හිස් කබල්වලට තට්ටු කොට,

නිරයෙහි උපන් කෙනෙකුගේ ය,
මේ හිස
තිරිසන් යෝනියෙහි උපන්
කෙනෙකුගේ ය, මේ හිස
ප්‍රේත ලෝකයෙහි උපන්
කෙනෙකුගේ ය, මේ හිස
මිනිස් ලෝකයෙහි උපන්
කෙනෙකුගේ ය, මේ හිස
දෙව්ලොව උපන් කෙනෙකුගේ ය
මේ හිස

ආදී වශයෙන් කීමට ඔහුට හැකියාවක් තිබුණි.

විවිධ මිනිසුන් තම තමන්ගේ ඥාති සමූහයා, පවුලේ කෙනකු මියගියාට පසු කොතැනක උපන්නේ ද කියා දැන ගැනීමට වංගීස බමුණා ළඟට හිස් කබල රැගෙන ඒම සුලභව සිදු වන්නක් විය. ඔහුට විශාල වශයෙන් මුදල් ද ඒ සඳහා ලබා ගැනීමට හැකි විය. නුවර වැසියන් මේ බමුණාගේ දක්ෂතාව නිසාම බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවාගෙන යන්නට විය.

පසුව බුදුහිමි රහතන් වහන්සේ කෙනකුගේ හිස් කබලක් දී බමුණ ඔබ කෙනකු මිය ගිය පසු උපදින තැන් කීමට සමර්ථයෙක් බව දැන ගන්නට ලැබුණ බවත්, එසේනම් මේ හිස්කබල පරීක්ෂාකොට ඔහු ගිය මඟ කිව හැකි දැයි ප්‍රශ්න කළේ ය. පසුව වංගීස බමුණා එම හිස් කබල ගෙන නියෙන් තට්ටුකොට ඒ පිළිබඳ කිසිවක් කීමට අපහසුව ලජ්ජාවෙන් මිරිකි මිරිකී සිටියේ ය.

පසුව බුදු හිමි මතක් කර සිටින්නේ බමුණ, ඔහු ගියමඟ මා දනිමි යනුවෙනි. පසුව එම මන්ත්‍රය කුමක්දැයි, එය මටත් කියා දෙන්නැයි ඉල්ලා සිටියේ ය. බුදුහිමි ඔහුට දේශනා කළේ බමුණ එම මන්ත්‍රය දැන ගැනීමට නම් පැවිදිව වත් පිළිවෙත් ඉටුකොට බවුන් වැඩීම කළ යුතු බව ය. ප

සුව වංගීස බමුණා පැවිදිව ප්‍රතිපත්ති පුරමින් විදසුන් වඩා රහත් භාවය ද ලැබීය. බුදුසසුන තුළ වංගීස තෙරුන් යනුවෙන් ප්‍රකට වූයේ ඔහු ය.

රහතුන් ගිය මඟ බුදු හිමිට හැර කිසිවකුට කීමට අපහසු බව ඉහත කතාව තුළින් පැහැදිලි වේ. රහතන් වහන්සේ කෙනකු යනු දස සංයෝජන ධර්ම සිඳ බිඳ දා උතුම් නිවන් සුවයට පත් වූ උත්තමයෙකි. එවැනි උත්තමයකුගේ හිස් කබල හෝ ශරීර කොටස් සාමාන්‍ය කෙලෙස් බරිත කෙනෙකුට පරීක්ෂණය කිරීම අපහසු කාර්යයකි.

එය හරියට කුරුල්ලන් අහසේ යෑමෙන් පසු ගිය මඟ කීමට අපහසු වූවාක් මෙනි. ඒ බව ධම්ම පදයේ අරහත්ත වග්ගය තුළින් පැහැදිලි වේ.

නිවන අරමුණු කොටගත් රහතුන් වහන්සේගේ ස්වභාවය දැන ගැනීම අපහසු ය. අහසේ පක්ෂීන් ගිය මඟ නොදතවාක් හැකියා මෙනි.

රහතුන් වහන්සේ පිළිබඳ ත්‍රිපිටකය තුළ සඳහන් කරුණුවලට අනුව රහතුන්ගේ ස්වභාවය, රහතුන්ගේ ඉපදීම කෙනකුට නොදත හැකි ය. එය බුදු කෙනකුගේ ම ඥානයට හසුවන්නකි.

අද වුව ද සෝවාන්, සකෘදාගාමි, අනාගාමි හෝ අර්හත් වී ඇති කෙනකු සිටිද්ද නැද්ද කීම අපහසු ය. ඔවුන් කිසි දිනෙක සෝවාන් වූවා හෝ රහත් වූවා හෝ කියා ප්‍රකට නොවෙති. නමුදු එසේ කියන පිරිසක් භික්ෂු සමාජයේ හා ගිහි සමාජයේ දක්නට ලැබේ. එය දසමාර සේනාවන්ගෙන් එකක් හැටියට පෙන්වා දීමට පුළුවන.

බොරු සිල් පෙන්වමින්, සතර මඟ හා ඵලවලට පත් වූ ආකාරයෙන් අනුන්ගේ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වීම ඔවුන්ගේ එකම අරමුණ වී ඇත.

රහතුන් වහන්සේගේ ගුණ නොදැන රහතුන් වහන්සේට නින්දා, අපහාස කිරීම හෝ තාඩන, පීඩන කිරීම තුළින් සිදුවන අකුසලය ඉතා බරපතළ ය.

මහ රහතුන්ගේ චරිත කතා සම්බන්ධ කොටගෙන ප්‍රතිපත්ති පිරීම සිදු කළ යුතුව ඇත. එතුළින් සතර මඟ, හා ඵලත්, නිවන් සුවයත් ක්ෂාත් ක්ෂාත් කර ගැනීමට පුළුවන් කමක් ඇත.