Print this Article


උතුම් තෙරුවන ලොව පහළ වූ පින්බර පෝදා පිළිවෙතින් පින් පුරමු

උතුම් තෙරුවන ලොව පහළ වූ පින්බර පෝදා පිළිවෙතින් පින් පුරමු

සඳ සොළොස් කලාවෙන් ම පිරෙනා දිනය පුර පසළොස්වක පොහොය දිනයයි. සෑම මාසයක ම සෙයින් ඇසළ මාසයේත් එසේ සොළොස් කලාවෙන් ම සඳ පිරෙනා දිනයක් උදා වේ. ඒ ඇසළ පුර පසළොස්වක පුන් පොහෝ දිනය යි.

දෙවියන්ගේ ඇරයුම ලැබ...

“කාලෝ’යං තේ මහාවීර - උප්පජ්ජ මාතුකුච්ඡියං,
සදේවකං තාරයන්තෝ -  බුජ්ඣස්සු අමතං පදං”

“මහා වීරයාණෙනි, දැන් ඔබහට කාලය පැමිණ තිබේ. මිනිස් ලොව මව්කුසේ පිළිසිඳ ගන්නා සේක්වා! දෙවියන් සහිත වූ මේ ලෝ සතුන් දුක් සහිත සසර ගමනින් එතෙර කරවාලනු වස් අමෘතපදය වූ නිර්වාණය අවබෝධ කරනා සේක්වා!”

මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනිව සම්මා සම්බුදුරජුන් බවට පත් වීම පිණිස සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පාරමිතාවෝ සපුරා සන්තුසිත දෙව්රජ ලෙසින් තුසිත දෙව් භවනේ වැඩසිටි මහබෝසතුන්හට දෙව්බඹුන් ඇරයුම් කළේ එලෙසිනි.

මහා නුවණැති බෝසතාණෝ ඒ ඇරයුම් අසා පඤ්ච විලෝකන (පස්මහා බැලුමන්) කරනා කල්හී කාලය, දීපය, දේශය, කුලය සහ පින්වන්ත මව් තොමෝ මැනැවින් දුටුවෝ ය. ඒ පින් ඇති මවුන් වූ මහාමායා බිසොවුන්ගේ කුස පිළිසිඳ ගැනීමට තීරණය කළෝ ය.

සුපින්බර ඇසළ සඳ...

මින් වසර 2646කට පෙර ඇසළ සඳ සොළොස් කලාවෙන් ම පිරී අහසේ මෝදු වූ රාත්‍රිය උදා වී තිබුණි. බෝසත් පුතකු දරා ගැනුමට පූරිත පාරමිතා ඇති කපිලවස්තුවේ සුදොවුන් මහරජුන්ගේ අග්‍ර මහේෂිකාව වූ මහාමායා බිසවුන් ඒ මොහොතේ සුව නින්දේ පසු වූවා ය. ඒ සුව නින්දේ ඇය සුව සිහිනයක් දුටුවා ය.

සතරවරම් රජදරුවෝ සර්වාභරණයෙන් සැරසී විත් ඇය සැතපී සිටිනා යහන ඔසවාගෙන හිමාලයට පැමිණියෝ ය. අනෝතප්ත නම් රමණීය විල් තෙරේ යහන තැබුවෝ ය.

සුරඟනෝ සතර දෙනෙක් විත් බිසවුන් වහන්සේ විල් දියට කැඳවාගෙන ගියෝ ය. ඔවුන් බිසවුන් සිහිල් දියෙන් නහවා, සුවඳ ආලේප ගල්වා, දිව්‍ය සළුවෙන් දිව්‍ය අබරණින් සැරසුවෝ ය.

යළි යහනේ ම බිසවුන් ව සැතපුවෝ ය. එවිට, රිදී පැහැයෙන් බැබළෙන හුරුබුහුටි ඇත් පැටවෙක් සුදු නෙළුමක් සොඬින් ගෙන ඇය කරා පැමිණියේ ය. ඉතා ගෞරවයෙන් ඇය වටා පැදකුණු කළේ ය. දකුණු ඇලයෙන් කුස තුළට පිවිසියේ ය.

ඇය තනිව ම මේ සිහිනය දකිද්දී, ලෝකය පුරා අනේකප්‍රකාර අද්භූත අසිරිමත් දෑ සිදු විය. දසදහසක් ලෝ ධාතුව ම කම්පිත විය. දේවානුභාවය ඉක්මවූ උදාර ආලෝකයක් ලෝකයේ පැතිර ගියේ ය. ඒ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ අපගේ මහ බෝසතාණෝ මව්කුස පිළිසිඳ ගත් සේක.

කාලය ගෙවී යයි...

අප මහබෝසතුන් දසමසක් ඇවෑමෙන් මව්කුසින් බිහි වී, නොයෙක් අසිරිමත් සිදුවීම් සමඟින් අනුපිළිවෙළින් දහසය හැවිරිදි වියට එළඹියේ ය. රූ සිරින් පින්සිරින් බබළන යශෝධරාවන් හා සිද්ධාර්ථ බෝසත් කුමරුන්ගේ සරණ මංගල්‍යය සිදු විය.

කාලය ගෙවී ගියේ ය. සරසන ලද අස් රියෙන් උයන් කෙළියට යමින් සිටිය දී සිද්ධාර්ථ කුමරුන්හට මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක් සහ සන්සුන් පියොවින් වඩිනා පැවිදි රුවක් දැකගන්නට ලැබුණි. ඒ දැක්මෙන් සිද්ධාර්ථ කුමරුන්හට ගෘහ බන්ධනය කෙරෙහි කල කිරීම ඇති විය.

අබිනික්මන් මඟට ආලෝකය දුන් ඇසළ සඳ...

මින් වර්ෂ 2617කට පෙර ඇසළ මාසයේ සඳ පිරෙනා දිනය පැමිණියේ ය. එදා යශෝධරාවගේ කුසින් සිඟිති රාහුල කුමරු උපත ලැබීය. රහල් කුමරුන් උපන් ඒ ඇසළ පොහෝ දිනයේ රාත්‍රියේ අප සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ රාජ මාළිඟය අතහැර මහාභිනිෂ්ක්‍රමණය කළ සේක.

මහබිනික්මන් කළ බෝසතුන් අනෝමා නදී තෙරේ දී, ස්වකීය කෙස් කළඹ අසිපතින් කපා අහස් ගැබට දැමීය. බෝසතුන්ගේ කෙස් කළඹ බිම පතිත නොවී නීල පලසක් මෙන් අහසේ ම පිහිටියේ ය. දෙදෙව් ලෝකාධිපති සක්දෙව් රජුන් ඒ උතුම් කෙස් කළඹ රන් කරඬුවකින් ගෙන, එය තව්තිසා දෙව් ලොවට ගෙන ගොස් ‘සිළුමිණි’ මහා සෑ රජුන් කරවීය.

අනෝමා නදී තෙර සිට බෝසතාණන් වහන්සේ ගිහි වස්ත්‍ර ඉවත් කරනා කල්හි, බෝසතුන්ගේ ගත සැරසූ උතුම් වස්ත්‍ර ගෙන ගොස් ඝටීකාර මහා බඹු විසින් බඹලොවේ ‘සළුමිණි’ මහා සෑ රජුන් කරවීය.

තුන්ලොව දිනූ සේක

අබිනික්මන් කළ මහබෝසතාණන් වහන්සේ සය වසකට පසු එළැඹි වෙසක් පුන් පොහෝ දිනයේ නේරංජරාවේ ඇසතු රුක් සෙවණේ වැඩ හිඳ තුන්ලොව ම ජයගෙන ගෞතම නමින් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වූ සේක.

ඇසතු රුක් සෙවණට නුදුරින් පිහිටි කිරිපලු නුගරුක් සෙවණේ සමවත් සුවයෙන් වැඩ සිටි බුදුරජුන් සමීපයට තපස්සු - භල්ලුක වෙළෙඳ දෙබෑයෝ පැමිණියෝ ය.

සම්බුදුරජාණන් වහන්සේට ප්‍රධාණී අත්සුණු හා මී පිඩු පූජා කළ ඔවුන් “ස්වාමීනී, අපි භාග්‍යවතුන් වහන්සේ ද, ශ්‍රී සද්ධර්මය ද සරණ යන්නෙමු.

ඔබ වහන්සේ අද පටන් අප ද උපාසකයන් වශයෙන් පිළිගන්නා සේක්වා!” යි පැවසූහ. මෙසේ සරණ යෑමක් මේ බුදු සසුනේ වෙනත් නැත. තපුස්ස භල්ලුක යනු මේ ගෞතම බුදු සසුනේ ද්වේවාචික උපාසකයෝ ය. ඔවුන්ට බුදුරජුන් හමු වන අවස්ථාව වන විට සඟරුවන ලොව පහළ වී නොතිබිණි.

සම්බුද්ධත්වය පසක් කොට නිවන් සුවයෙන් වැඩ සිටි බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ අවබෝධ කළ සැනසීමේ මඟ දේශනා කිරීමට මන්දෝත්සාහී බවක් හටගත්තේ ය. ‘මා විසින් අවබෝධ කර ගත් මේ දහම ගැඹුරු ය. දැකීමට දුෂ්කර ය.

අවබෝධයට දුෂ්කර ය. නමුත් ශාන්ත ය. ප්‍රණීත ය. තර්කයෙන් දැකිය හැක්කක් නොවෙයි. අතිශයින් සියුම් ය. නුවණැත්තන් විසින් ම දැක්ක යුතු දෙයකි.

ආශාව තුළ, ආශාවට ඇලී, ආශාවෙන් ම සතුටු වෙමින් සිටින මේ සත්ව ප්‍රජාවට මේ දහම දැන අමා නිවන සාක්ෂාත් කිරීම ඉතා දුෂ්කර ය. එසේ තිබිය දී මා දහම් දෙසන්නට ගොස් අන් උදවිය දහම අවබෝධ නොකරත් නම්, එය මා හට මහන්සියක් වෙහෙසක් පමණක් ම වනු ඇත.’

අභිනව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ සිතිවිල්ල සහම්පතී නම් බ්‍රහ්මරාජයා දුටුවේ ය. සැණෙකින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ විය. උතුරු සළුව එක් පැත්තකට කොට පොරවාගෙන, දණමඬලක් බිම තබා වන්දනා කොට බුදුරජාණන් වහන්සේට මෙසේ ආයාචනා කළේ ය.

බ්‍රහ්ම ආයාචනය...

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්ස දහම් දෙසන සේක්වා! කෙලෙස් අඩු සත්වයෝ ඉන්නවා. දහම් අසන්න නොලැබුණොත් ඔවුන් පිරිහෙනවා. දහම් අසන්න ලැබුණොත් අවබෝධ කරන අය පහළ වෙනවා.

“මාර යුද්ධය ජය ගත් වීරයන් වහන්ස, ලොව සැරිසරා වඩිනු මැනව, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! අවබෝධ කරන අය පහළ වෙනවා ම යි.”

බඹුගෙන් ලද ඇරයුමින් පසු සම්බුදු මුව මඬලින් ගලා ආවේ උතුම් ගාථාවෙකි.

“අපාරුතා තේසං අමතස්සද්වාරා - යේ සෝතවන්තෝ පමුඤ්චන්තු සද්ධං
විහිංසසඤ්ඤී පගුණං න භාසිං - ධම්මං පණීතං මනුජේසු බ්‍රහ්මේති.”

“ලෝ සතුනට අමා නිවන් දොර විවෘත කළා. සවන් යුග ඇත්තන්හට ශ්‍රද්ධාව ඇති කර ගන්න කාලය යි. පින්වත් බ්‍රහ්මය, මා හොඳීන් ප්‍රගුණ කළ මේ ප්‍රණීත දහම මිනිසුන්ට නොකීවේ එය වෙහෙසක් ය යන හැඟීම නිසයි.”

දහම් සකයි පෙරළෙන්නේ...

ඇසළ සඳ කිරණින් නැහැවුණු ඒ සොඳුරු රැයෙහි බරණැස මිගදායෙහි දී අප තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මුල් කොට දහම් දෙසීම ඇරඹූ සේක.

මෙසේ පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය යන උතුම් තෙරුවන ම ලොව පහළ වූ සේක.

යමා මහ පෙළහර...

වසර හතක් ගෙවී ගියේ ය. යළිත් ඇසළ සඳ පිරෙනා දිනය උදා විය. අන්‍ය තීර්ථකයන්ගේ මදමාන බිඳහෙළනු පිණිස සැවැත්නුවර ගණ්ඩබ්බ රුක් සෙවණේ දී බුදුරජාණෝ අතිශයින් ම අසිරිමත් වූත්, අද්භූත වූත්, ශාස්තෘ සාධාරණ වූත්, ශ්‍රාවක අසාධාරණ වූත් යමක මහා ප්‍රාතිහාර්යය සිදු කොට වදාළ සේක. පෙළහරින් අනතුරුව තව්තිසා දෙව්ලොව වැඩම කළ බුදුරජාණෝ සම්බුදු දිවියේ සත්වැනි වස ලෙස තව්තිසාවේ වස් එළඹ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්හට දහම් දෙසූ සේක.

ධර්මය සංගායනා කරන්නේ...

සතළිස් පස් වසරක් ලෝ සතට සෙත සලසා මහාකාරුණික බුදුරජාණෝ කුසිනාරාවේ දී පිරිනිවන් වැඩි සේක. ඒ උතුම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු, මින් වර්ෂ 2566කට පෙර ඇසළ සඳ පිරී ගිය දිනයේ, ගෞතම බුදු සසුනේ අග්‍ර ධුතාංගධාරී, ශාසන භාරධාරී මහා කස්සප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීම පිණිස අජාසත් මහරජු ඇතුළු පිරිස කටයුතු සංවිධානය ආරම්භ කළෝ ය.