[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආමගන්ධය පිළිබඳ සැබෑ බුද්ධ වචනය

ආමගන්ධය පිළිබඳ සැබෑ බුද්ධ වචනය

තථාගත දේශනාවට අනුව ආමගන්ධය යනු පිළීගඳයි. සම්බුද්ධ දේශනාව තුළ පිළීගඳ පිළිකුල් කර ඇත. සු.නි. පාතයේ ආමගන්ධ සූත්‍රය ඒ පිළිබඳ ඉතා පැහැදිලි විවරණයන් සිදුකර ඇත.

වර්තමානයේ දී මේ පිළීගඳ පිළිබඳ විවිධ නිර්වචන ආගමේ නාමයෙන් බොහෝ දෙනා ඉදිරිපත් කරමින් පවතී. මේ නිසා නියම බුද්ධ වචනය පිළිබඳ සැක සංකා මතුවී ඇත. ගිහි පැවිදි පිරිස් වශයෙන් එය නිරාකරණය කර ගත යුතු වේ. මෙහිදී පැනනඟින මූලිකම තර්කය වනුයේ මස් මාංශ අනුභවය පාපයක් ද යන්නයි. එය ගොඩනැඟී ඇත්තේ මූලික කාරණා කිහිපයක් නිසාවෙනි.

මස් මාංශ අනුභවය නිසා ප්‍රාණඝාත අකුසලය සිදුවීම හෝ එයට අනුබලදීම.

ශාක, ධාන්‍ය ආහාරයට ගැනීම නිසා සිල්වත්කමක් ඇතිවේ ය යන විශ්වාසය.

බුදු පසේ බුදු මහරහත් යන උත්තමයන් මස් මාංස අනුභව කළේ ද යන්නයි.

සම්බුද්ධ දේශනාවට අනුව ප්‍රාණඝාතයක් සිදුවීමට බලපාන කාරණා 05 ක් සහ ප්‍රාණඝාතයේ ප්‍රයෝග 05 ක් සඳහන් කරයි. ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ මෙම කරුණු සම්පූර්ණවීමේ දී පමණි.

පණ ඇති සතකුවීම, පණ ඇති සතකු බව දැනීම, මරන්නට කැමැති සිත, උපාය සැකසීම, ඒ උපක්‍රමය නිසා මිය යාම යන කරුණු සම්පූර්ණ විය යුතු ය.

ගමන් බිමන්වල දී සතුන් පයට පෑගී මියයෑම හෝ අම්මාගෙන් දරුවකුට හානි වේ යැයි සිතා මදුරුවකු මැරීම දරුවාට පව් සිදුවීමට හේතු නොවේ. එය මවට පවකි.

මැරීමට ප්‍රයෝග ලෙස ගැසීම, කැපීම අනකකු ලවා කරවීම, ආයුධ දමා ගැසීම, උගුල් ඇටවීම, සූනියම්, වස්කවි, අමනුෂ්‍ය ක්‍රියා මෙයින් ඉවත්වන්නට සමත් ද එය ප්‍රාණඝාතය නොවේ. එසේම මෛත්‍රිය තිබිය යුත්තේ පුද්ගල සිතේ මිස මළකුණුවල නොවේ.

දලු, පලා කොළ පලතුරු, ධාන්‍ය ගත්තද එයත් මේ හා සමාන ය. පුද්ගල හිත තුළ මෛත්‍රිය කරුණාව පවත්වානොගෙන උම්බලකඩ, කරවල, හාල්මැස්සන් පිළිබඳ මෛත්‍රිය අර්ථවත් නොවේ.

තථාගත දේශනාවට අනුව නිවනට බාධා වන්නේ රස තෘෂ්ණාවයි. රස තෘෂ්ණාවෙන් යුක්තව අල බතල, පරිප්පු කෑවත් වෙනයම් මාංසයක් අනුභව කළත් දෙකම එක හා සමාන වේ. විය යුත්තේ රස තෘෂ්ණාව නැති කිරීම ය.

රහතන් වහන්සේට එවැනි තෘෂ්ණාවක් ඇත්තේ නැත. මළකුණු අනුභව නොකළත් වෛරය, ද්වේෂය වැනි දෑ ඇත්නම් එය පිළීගඳකි. නිගණ්ඨනාථ පුත්ත පරම අවිහිංසාවාදියෙකි. එහෙත් තථාගතයන් වහන්සේ පිළිබඳ මහත් වෛරයෙන් කටයුතු කළහ.

වර්තමානයේ දී පවා ඇතැම් නිර්මාංශ වූවන් දෙව්දත් තෙරුන් මෙන් අපාගත වීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම දැකිය හැකි ය. මහා සීහානාද සූත්‍රයේ දී සැරියුත් හිමියන් අමතන බුදුරදුන් දේශනා කරන්නේ තමන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළ කාලයේ දී එකම අධිගමයක්වත් නොලැබූ බව ය. එයින් පැහැදිලි වන්නේ ආහාරය නිසා නිවන් මඟ වේගවත් නොවූ බවයි. මේ ලිපියේ අරමුණ මස් මාංශ අනුභවය හෝ එපාය යන්න සඳහන් කිරීම නොවේ.

තථාගත දේශනාව අනුව සැබෑ පිළීගඳ කුමක්ද යන්න පැහැදිලි කිරීමයි. ආමගන්ධ බමුණා බුදුරදුන්ගෙන් විමසූ පැනයට කාශ්‍යප බුදුරදුන් තිස්ස බමුණාට පැහැදිලි කළ ධර්ම කාරණය ගෞතම බුදුරදුන් විසින් ආමගන්ධ බමුණාට දේශනා කිරීමයි.

ආමගන්ධ බමුණා සඳහන් කරන්නේ, අල, මුල්, ගස්වල ගෙඩි, පලතුරු අනුභව කරන අය වඩාත් සිල්වත් බව ය. එමෙන්ම ඔබ වහන්සේ සඳහන් කරන ආමගන්ධය මොනවාද? එහෙත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇල් සහල් සහ ළිහිණි මස් වැළඳුවා නේද යනුවෙන් චෝදනා සිදුකරනු ලැබීය.

තථාගතයන් වහන්සේ ඊට පිළිතුරු ලෙස දේශනා කළේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කැප බවයි. එනම් තමන් ප්‍රාණඝාත නොකිරීම, අනුබල නොදීම, නොකරවීම යනු කරුණු තුනෙන් යුක්ත ආහාරයයි. එහිදී තථාගතයන් වහන්සේ සැබෑ පිළීගඳ ඉතා දීර්ඝව විස්තර කරන්නට යෙදුණි.

වර්තමානයේ දී මේ පිළිබඳ සබුද්ධිකව සිතීම ඉතා අවශ්‍යය. තථාගත දේශනාවට අනුව ආමගන්ධය හෙවත් සැබෑ පිළීගඳ මෙසේ පෙළගැස්විය හැකි ය.

ප්‍රාණඝාතය, තැලීම, කැපීම, සොරකම, බොරුව, රැවටීම අවැඩට හේතුවන පොත පත කියවීම, අනුන්ට අයත් අඹුවන් කරා යාම, ආශා කිරීම, කාමයෙහි අසංවර බව, රසයෙහි ගිජුවීම, මිථ්‍යාදෘෂ්ටි ඇතිබව, මිත්‍ර ද්‍රෝහී වීම, මානය, අධික මානය ඇති බව, නොදෙන සුළු වීම, ක්‍රෝධය, ජාතිමදය ආදී මත්වීම, මායාව, පසමිතුරුකම, ඊර්ෂ්‍යාව, තමා උසස් කොට දැක්වීම, අසත්පුරුෂයන් හා මිත්‍රත්වය පැවැත්වීම, ලාමක ආචාර ඇතිබව, ණය නොගෙවන බව, කේළාම් කියන බව, අල්ලස් ගෙන නඩු අවනඩු කිරීම, අධර්මයෙහි කටයුතු කරමින් ධර්මයෙහි හැසිරෙන බව දැක්වීම, දුරචාරය, රෞද්‍ර වචන ඇති බව, ආදරය නැති බව, ප්‍රාණීන් පිළිබඳ තෘෂ්ණාවෙන් යුක්තවීම, මෙම කරුණු පිළීගඳ හෙවත් ආමගන්ධ යයි.

එසේ නොමැතිව මස් මාංශ ආමගන්ධය නොවේ. මෙම දුර්ගුණ එකක් හෝ තම ජීවිත තුළ පවත්නේ ද සූත්‍රයට අනුව ඔවුනට අවීචියට යාමට සිදුවේ. තවදුරටත් මෙහි දක්වනුයේ දුරු නොවූ සැකය ඇති පුද්ගලයා මස් මාංශ නොකෑ පමණින් පිරිසුදු නොවේ.

ඇතැමෙක් ඉහත දැක් වූ සියලු අඩුපාඩුකම් සහිතව වාසය කරන ගමන් එය සාධාරණීකරණය කර ගැනීමට සඳහන් කරන එකම කාරණය වන්නේ ද නිර්මාංශ වීමයි.

ඇතැමෙක් බොහොම උජාරුවෙන් සඳහන් කරනුයේ හාල්මැස්සෙක්, උම්බලකඩ කෑල්ලක්වත් අනුභව නොකරන තමන්ට මෙවැනි දේ කිරීම සුදුසු නොවන බවයි. ඔවුන් කල්පනා කරන්නේ අනෙක් සියලු දුරාචාරයන්ට වඩා මස් මාංශ අනුභවය පාපයක් බවයි. හිට්ලර් සහ දෙව්දත් හිමියන් ද කල්පනා කළේ එසේම ය.

පුද්ගලයා හා සමාජයට ඇවැඩ පිණිස පවතින පිළීගඳ පිළිබඳ අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. වර්තමානයෙහි ඇති වී ඇති අර්බුද දිහා බලනවිට එය මනාව පැහැදිලි ය. මේ ප්‍රශ්න ගොඩනැඟුණේ කරවල, හාල්මැස්සන්, උම්බලකඩ කෑම මත නොවේ.

තථාගත දේශනාවට අනුව සැබෑ පිළී ගඳ වූ සොරකම, බොරුව, මිථ්‍යාදෘෂ්ටිය, ක්‍රෝධය, මානය, මායාව ණය නොගෙවන බව සහ ගත් ණය නියමිත පරිදි නොයෙදවීමයි. මේ තුළින් කෙතරම් ප්‍රාණඝාත, තැලීම් කැපීම්, රැවටීම් සිදු වූයේ ද යන්න පුන පුණා සඳහන් කළ යුතු නොවේ.

පුද්ගලයා වෙන්විය යුත්තේ පාපය ඇතිවන පිළීගඳින් ය. දහමෙහි අරමුණ වන්නේ “සබ්බේ සත්ථා සවන්තු සුඛිතත්තා” යන්නයි. සියලු සත්වයෝ සැප කැමැත්තෝ වෙත්වා මේ අරමුණ සාධනය වීමට මේ පිළීගඳ ඇතිවන ක්‍රියාවන් සහ සිතුම් පැතුම්වලින් ඉවත්විය යුතු වේ. ඒ තුළ දොලොව සුගතිය සකසාගත හැකි ය. 

ඇසළ පුර අටවක පෝය

 ජුලි 06 බදාදා අ.භා. 07.45 පුර අටවක ලබා 07 බ්‍රහස්පතින්දා අ.භා. 07.24 ගෙවේ.
07 බ්‍රහස්පතින්දා සිල්. 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]