Print this Article


සසර මඟ සැපවත් කරන ප්‍රභාස්වර සිත

සසර මඟ සැපවත් කරන ප්‍රභාස්වර සිත

“නානත්ත කායා නානත්ත සඤ්ඤා” සත්වයා නම් කයින් ද, සිතින් ද විෂම ය. ශාරීරික වශයෙන් සෑම දෙනාගේ ම මුහුණු එකම අයුරින් පවතී. නාසය, කට, ඇස්දෙක, කන් දෙක, මේ ආදී වශයෙනි.

සියල්ලන්ට ම ඒවා ඇති මුත්, මුහුණු 10 ක් ගතහොත් දහ දෙනා දහ ආකාරයක් වශයෙන් වෙනස්ව හඳුනා ගැනීමට පුළුවන. එකම කුසෙහි උපදින අය අතර වුව ද ඒ වෙනස්කම් පවතී. නිවුන් සහෝදරයන්ව උපදින අය අතර වුව ද ඒ වෙනස්කම් දක්නට ලැබේ. ශාරීරික වශයෙන් වෙනස් වන සත්වයා මානසික වශයෙන් ඊටත් වඩා වෙනස්වන බව බුදු දහමේ පැහැදිලි වේ.

සියලුම සත්වයින් චරිත වශයෙන් කොටස් හයකට බෙදෙනු ඇත. රාග, ද්වේෂ, මෝහ, සද්ධා, බුද්ධි, විතක්ක වශයෙනි. එම හයෙන් එකකට හෝ කිහිපයකට සත්ත්වයා අයත් වනු ඇත. ඒ අනුව සත්වයාගේ මනෝ භාවයන් විවිධ ව, විශම ව පවතින අයුරු පැහැදිලි වේ.

සත්වයා හොඳ - නරක දෙකේ සංකලනයක් වුව ද සමහර අයට පවතින්නේ නොහොඳ පමණි. එවැනි චරිත බොහොමයක් බුදු දහම තුළ විවරණය වේ. එවැනි චරිතවල ගති ලක්ෂණ හඳුනාගෙන ඒවා තුළින් වර්තමාන සමාජයට පණිවිඩයක් දීම මෙම ලිපියෙහි අරමුණ වන්නේ ය. ඒ සඳහා හොඳම කතා පුවතක් ලෙස මට්ඨකුණ්ඩලි කතා වස්තුව පෙන්වා දීමට පුළුවන.

මට්ටකුණ්ඩලී කතා පුවත ඇතුළත් වන්නේ “බෞද්ධයාගේ අත් පොත නම් වූ ධම්ම පදයේ පළමු වග්ගය වන යමක වග්ගයේ දෙවැනි ගාථාවටයි. බුද්ධඝෝෂ හිමියන් විසින් හෙළටුවා පරිවර්තනය කරන ලදී. දඹදෙනි යුගය තුළ ලියැවෙන විශිෂ්ඨතම ධර්ම ග්‍රන්ථයක් වන සද්ධර්මරත්නාවලිය රචනා කරන්නේ ධර්මසේන හිමියන් විසිනි. එම සද්ධර්මරත්නාවලිය ලිවීමට එහිමියන් ගුරු කොට ගන්නේ පාලි ධම්මපදට්ඨ කතාවයි.

ධර්මසේන හිමියන් ධම්මපදට්ඨ කතාවේ අරුත් පමණක් ගෙන තමන්ට ආවේණික වූ සිංහල බසින් සද්ධර්ම රත්නාවලිය රචනා කළහ.

එම සද්ධර්ම රත්නාවලිය ලිවීමේ අරමුණ වශයෙන් ධර්මසේන හිමියන් පවසන්නේ,

“යම් කෙනෙක් නුවණ මදවත් කුසකච්ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම්හි හැසිර නිවන් සාදා ගනිත් නම්, එසේ වූ සත්පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්මරත්නාවලිය නම් වූ ප්‍රබන්ධයක් කරම්හ” ආදී වශයෙනි.

ඒ අනුව පැහැදිලි වන්නේ සාමාන්‍ය වැසියාට බුදු දහම අවබෝධ කරවීමටත්, ධර්මෝපදේශ ලබා දෙමින් පොදු ජනයා කුසලයෙහි හැසිරවීමටත් බවයි. සමාජයට චර්යාමය වෙනසක් ඇති කර ගැනීම උදෙසා බොහෝ ධර්ම කරුණු අන්තර්ගත වේ.

ධර්මසේන හිමියන් ප්‍රස්ථා පිරුළු උපයෝගී කොටගෙන ජන හදට ග්‍රහණය කර ගැනීමට පහසු වන අයුරින් එම දහම් පණිවිඩය නිකුත්කර තිබීම ඉතා චමත්කාරජනකය. ධම්ම පදය තුළ යුගල වශයෙන් දක්වන ගාථා අතරට මට්ඨකුණ්ඩලී කතා පුවත ඇතුළත් ගාථාව ද ඇතුළත් වේ. යුගල ගාථා තුළින් හොඳ - නරක, කුසල් - අකුසල්, පින් - පව්, සැප - දුක ආදී වශයෙන් දෙපැත්තම කීමට යොදාගෙන ඇත. ඒ අනුව මට්ඨකුණ්ඩලී කතා වස්තුව තුළින් කුසල් පැත්ත විවරණය කරනු ඇත. එම ගාථා ධර්මය නම්,

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන
භාසතී වා කරෝති වා
තතෝ නං සුඛමන්චේතී
ඡායාව අනපායිනී

සියලු සිතිවිලිවලට (ධර්ම) මනස (සිත) ම ප්‍රධාන වේ. ශ්‍රේෂ්ඨ වේ. එසේ ම සියලු සිතිවිලි සිතින් ම උපදී. යමෙක් ඉසි, කෝ, මද, මාන, ආදී කිළිටි සිතිවිලිවලින් තොර වූ, ප්‍රසන්න වූ (පිරිසුදු) සිතින් යම් බසක් කියයි නම් හෝ යම් දෙයක් කරයි නම් හෝ එහි ඉෂ්ට විපාක වශයෙන් ඔහු වෙත සැප සම්පත් හා සැනසීම ළඟා වන්නේ ය.

තමාගේ සෙවණැල්ල තමා අත් නොහැර, තමා සමඟ සුව සේ ගමන් ගන්නාක් මෙනි, ආලෝභ, අද්වේශ, අමෝහ යන ත්‍රිවිධ කුසල් සිතිවිලි ඇතිව යමෙක් යමක් කියයි ද, කරයි ද එහි ප්‍රතිඵලය යහපත් ය.

මෙම ගාථා ධර්මය දේශනා කිරීමට හේතුව නොහොත් නිධානය වී ඇත්තේ අදින්නපුබ්බක නම් වූ චරිතය මුල් කොටගෙන ය. අදින්න පුබ්බක යනු බුදුරදුන් කල සිටි මසුරු සිටුවරයෙකි. එම නමෙහි අර්ථය ම තණ අග තවරන ලද තෙල් බින්දුවක් තරම්වත් අනුන්ට නුදුන්විරූ ය යන්නයි.

තමන් පරිහරණය නොකිරීමත්, අනුන්ට නොදීමත් හේතුවෙන් මසුරා යන නම භාවිත වේ. එම මසුරු සිටාණෝ තම පුතුටවත් යුතුකම් නොකළ පිය කෙනෙකි. එබැවින් පුතු රෝගාතුර වී මරණ මඤ්චකයේ සිටින කල්හි බුදුරජාණන් වහන්සේ පිහිට වූ ආකාරයත්, බුදු රුව දැකීමේ පිනෙන් දිව්‍ය ලෝකයේ ඉපදීමේ භාග්‍ය ලැබූ ආකාරයත් එම කතා පුවත තුළින් විග්‍රහ වී ඇත.

අදින්න පුබ්බක සිටාණන්ගේ මනෝභාවයන් ගෙන හැර දක්වන මට්ටකුණ්ඩලී කතා වස්තුව අද ජන සමාජයට ද ඉතා වැදගත් වේ. අපේ මනස ජීවත්ව ඉද්දී ක්‍රියා කරන ආකාරයත්, ජීවිතය පුරාවට නැඟෙන චිත්ත චෛතසිකයන්ගේ ස්වභාවයත් එයට සරිලන ආකාරයෙන් මිය ගියාට පසු සිදුවන භව ගමනයත් පිළිබඳ ධර්මසේන හිමියන් මනාව ගෙන හැර දක්වා ඇත.

යමෙක් ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් චේතනා ඇති සිතක් ඇතිව යමක් කියයි ද? කරයිද? එය අකුසල් ක්‍රියාවක් වන්නේ ය. එය හරියට ගොනා පසුපස එන කරත්ත රෝදය මෙන් විපාක ලබා දෙනු ඇත.

ඉහත ගාථා ධර්මය සම්බන්ධ වන්නේ කුසල් පැත්ත විග්‍රහ කිරීමටයි. ප්‍රසන්න සිතින් යමක් කියයි ද? කරයිද? එය කුසල ක්‍රියාවකි.

මට්ටකුණ්ඩලී නම් වූ කුඩා දරුවා කිසිදු පින්කමක් නොකළ ද, පියාගේ පවා කිසිදු සැලකිල්ලක් නොලබා සිටිය දී වුව ද බුදුරදුන් පිළිබඳ සිත පහදවා ගැනීම පමණකින් ම මිය ගොස් දිව්‍ය ලෝකයේ ඉපදීමට හේතු විය. මෙතන දී පියාගේ මනෝභාවයන් හා පුතාගේ මනෝභාවයන් දෙඅංශයකින් ක්‍රියා කළ ආකාරය පිළිබඳ විවරණය කිරීමට ධර්මසේන හිමියන් සමත් වී ඇත.

අප ජීවත් වීමේ දී අධික ලෙස ධන සම්පත් සොයා ඒවා පරිහරණයත් නොකොට, දනට පිනට දීමකුත් නොකොට දැඩි තෘෂ්ණාවෙන් මිය ගොස් එම ධන සම්පත්වලට ම ඇලුම් බැලුම් දක්වන පෙරේතයන්, භූතයන් වී ඉපදෙනු ඇත. මෙය වටහා ගැනීමට හොඳ ඤාණ ශක්තියක් තිබිය යුතු ය.

අපේ මනස ඉතා බලවත් ය. සංසාර ගමන ම ඒ ඔස්සේ ක්‍රියාත්මක වේ. එබැවින් මනස විකෘති කර ගැනීම හෝ ප්‍රසන්න කර ගැනීම තම තමා විසින් ම සිදු වන්නකි. උසස් මනසක් ලැබූ සත්ත්වයා නිරන්තරයෙන් ම සිදු කර ගත යුත්තේ මනස ප්‍රසන්න කර ගැනීමයි.

ධන සම්පත් තුළින් පොහොසතෙක් නොවුණත් ප්‍රසන්න සිතිවිලිවලින් පොහොසතෙක් වීමට පුළුවන. එය තම මනස ධනාත්මක තැනට වර්ධනය කොට ගෙන ආධ්‍යාත්මික පැත්තෙන් පොහොසත් වීමයි. අවසන් ගමන් යෑමේ දී සියලු ධන සම්පත් අත්හැර යෑමට සිදුවනු ඇත.

තමන්ට යහපත් අයුරින් ගෙන යෑම සඳහා ඇත්තේ එම ප්‍රසන්න සිතින් එක් රැස් කර ගත් ආධ්‍යාත්මික ගුණ වගාව පමණි. බුදුරජාණන් වහන්සේ සප්තාර්ය ධනය තුළින් දේශනා කොට ඇත්තේ ද එයයි.

සද්ධා, ශීල, හිරි - ඔත්තප්ප, සුත, චාග, පඤ්ඤා යන ධන හත යමකුට වර්ධනය කර ගැනීමට හැකි නම් ඔහු කිසිදා දුප්පතෙක් ලෙස සැලකීමට නොහැක. ඔහු සසර ගමනට අවශ්‍ය ධනය සම්පාදනය කර ගත් පොහොසතෙකි.

තුනුරුවන් පිළිබඳ මනා අවබෝධයකින් ඒ හරහා අපගේ සිත් ප්‍රසන්න කර ගැනීම සිදු කළ යුතුව ඇත. මට්ඨකුණ්ඩලී තම සිත පහදවාගෙන දිව්‍ය ලෝකයේ ගමන් කළේ මහ ලොකු පින්කම් කරගෙන නොවේ. ඒ මානසික ශක්ති චුති චිත්තය හා සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත් වේ.

විවිධ, විශම, පුද්ගල සමාජයක ජීවත් වන්නවුන් වශයෙන් අදම අද ම මානසික සංවර්ධනය කර ගත යුතුව ඇත. තරගකාරී ලෝකයක උමතු විලාසයෙන් දිවීම නිෂ්ඵල ක්‍රියාවකි. එය සසරට යහපත ගෙන දෙන්නක් නොවේ.

සසර ජය ගැනීමට නම් තම තමන්ගේ මනෝභාවයන් දැන හඳුනාගෙන සසර අගාධයට ඇද දමන්නා වූ ලෝභ, ද්වේශ, මෝහ ආදී අකුසල් මැඩ පවත්වාගෙන අලෝභ, අද්වේශ, අමෝහා දී කුසල් සිත් වර්ධනය කර ගත යුතු ය.

ඕනෑම කෙනකුට මානසික වර්ධනයක් ඇති කර ගැනීමටත්, පරලොව ජය ගැනීමටත් වටිනා කතා පුවතක් ලෙස මට්ඨකුණ්ඩලී කතා වස්තුව හඳුන්වා දීමට පුළුවන. ඕනෑම කෙනකුගේ ජීවිතයේ අඩු පාඩු සකස් කර ගැනීමටත්, තුනුරුවන් මුල්කොටගෙන සසර ජය ගැනීමටත් පුළුවන් ආකාරය ඉතා මැනවින් එම කතා පුවත තුළින් විග්‍රහ කර ඇත. එසේ නම් අප සෑම දෙනෙක් ම එම කතා පුවත පිළිබඳ අවධානය යොමු කොට අපේ ජීවිතය ද සාදා ගැනීමට උත්සාහවත් වෙමු.