Print this Article


විජිතපුර බලකොටුවේ තර කරන්න

දුටුගැමුණු මහ රජතුමා 70 කොටස:

විජිතපුර බලකොටුවේ තර කරන්න

“අපි දහවල් ආහාරයට විජිතපුරයට යනවාද? නැතිනම් කසාතොට යුද කඳවුරෙන් ආහාරය ගෙන දිගටම අනුරාධපුරයට යනවාද?”

“මහ සෙනෙවිතුමනි, මගේ සිත තුළ තවම තිබෙන්නේ පරාජිත හැඟීමක්. ඔවුන් මට හිංසා පීඩා නොකළත්, මා වෙනුවෙන් වන්දි ලබා ගැනීම මට ඉවසුම් දෙන්නේ නැහැ. ඒ නිසා විජිතපුර රැඳෙන්නට මගේ කැමැත්තක් නැහැ. අපි කසාතොටදී දහවල් ආහාරය ගනිමු. ඉන්පසු දිගටම අනුරාධපුරයට යමු.”

ඉර බැස ගොස් පැය දෙකකට පමණ පසු මහ සෙනෙවිවරුන් දෙදෙනා අනුරාධපුරයට පැමිණියහ. මද විවේකයක් සඳහා මිත්‍ර මහ සෙනෙවිගේ තානායමට ළඟා වූහ. ඒ සමගම දීඝාභය ද පැමිණියේ ය.

“රජ මාලිගයට පැමිණ එතැනින් යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවට ගියා. ආපසු යන ගමන් සිරිනාග ගැන සොයා බලන්නට සිතුණා. ඒ නිසා යි මෙතැනට පැමිණියේ.

“අද රාජ සභාවට පැමිණීමටයි බලාපොරොත්තුවෙන් හිටියේ. ඒත් සිරිනාගගේ ගමන් වෙහෙස නිසා එය හෙටට කල් දැම්මා.

“ගනුදෙනුවලට කාලය ගත වුණා. තුණ්ඩිලගේ සිද්ධිය ගැන ඛඤ්ඡදේවට අපේ රජයේ කනගාටුව පළ කළා. දහවල් ආහාරය කසාතොට දී අරගෙන දිගටම මෙහි පැමිණියා.”

කතාබස් කරමින් ආලින්දයට පැමිණි ඔවුන් දුටුවේ මිත්‍ර මහ සෙනෙවිගේ අස්රියෙන් එන සෙනෙවි බිරිඳ ය. අස්රියෙන් බැස ගත් ඇය වෙත ගිය සිරිනාග වැඳ නමස්කාර කර ඇය කැටුව ආවා ය.

දීඝාභය, දීඝජන්තු මහ සෙනෙවිවරු දෙදෙනා ඉතා ගෞරවයෙන් ඇයට ප්‍රතිචාර දැක්වූහ.

“පුතාගේ ප්‍රමාදය ගැන බියට පත් අම්මා පුතා එන මගට ම ආවා” දීඝාභය සිනාසෙමින් කීවේ ය.

ඇත්ත මග බලාගෙනමයි හිටියේ. ඒ අතරතුර පරවියකු හසුන්පතක් ගෙනාවා. සිරිනාග මෙහි ඇතැයි සිතූ නිසා එයත් රැගෙන මෙහි ආවා.”

“හසුන් පතක්? පරවියකුගෙන් ලැබුණු මේ හදිසි පණිවිඩය කුමක්ද? මෙය මාගමින් එවූ හදිසි තල්පතක් විය යුතුයි. සිරිනාග තමාටම කියා ගත්තේ ය.

රෙදි කඩක එතූ හසුන්පත අතට ගත් සිරිනාග පරිස්සමෙන් ඉටිරෙදි කැබැල්ල ලිහා තල්පතක් අතට ගත්තේ ය. මහ සෙනෙවිවරු දෙදෙනා බලා සිටියේ මහත් කුහුලකිනි. තල්පත කියවා බැලූ සිරිනාග එය දීඝාභයට දුන්නේ ය. “කියවන්න මහ සෙනෙවි තුමනි”

“දුටුගැමුණු බළ හමුදා ගමන් ඇරැඹුවා. ප්‍රධාන මාර්ගවලින් නොපැමිණ රහස් අතුරු මාර්ගවලින් ඇවිත්, සියලු තොටමුණු මඟහැර මහවැලි ගඟින් එතෙර වන්නට තීරණය කළා.”

“ගැමුණු රජතුමාගේ සේනාව ලක්ෂයකට වඩා නැහැ. බාහිර රාජ්‍යවලින් කිසිදු සහයක් ලැබී නැහැ.”

දීඝාභය තල්පත කියවාගෙන ගියේ සිහිකල්පනාවකින් තොරව ය. ඔහු වික්ෂිප්තව සිටියේ ය. දීඝජන්තු හොඳින් ඇහුම්කන් දීගෙන සිටියේ ය.

“මේ රහස් තල්පතේ කරුණු පිළිබඳ අපේ විශේෂ අවධානය යොමු කළ යුතුයි. අපේ සංවිධාන සැලසුම් තරමක් වෙනස් කරන්නට සිදුවේවි. විජිතපුර බලකොටුවට හදිසි පහර දීමක් වෙන්නට පුළුවන්” දීඝජන්තු කීවේ ය.

“කුමන අවස්ථාවක හෝ කුමන දිශාවකින් ඇවිත් පහර දුන්නත් ඔවුන් පළවා හරින්නට අපට පුළුවන්. එකම සතුරු සෙබලකුටවත් විජිතපුර බලකොටුවට ඇතුළු වන්නට අප ඉඩ දෙන්නේ නැහැ.” දීඝාභයගේ පිළිතුරු විය.

“දීඝාභය අනුරාධපුර ආරක්ෂාව රැදෙන්නේ විජිතපුර බළකොටුවෙන්. ඒ නිසා අද සිටම එහි ආරක්ෂාව දැඩි කළ යුතුයි.

“කලබල විය යුතු නැහැ. ඔය පිරිසට මෙහි එන්නට තවත් මාසයක් හෝ දෙකක් ගතවේවි. මෙගොඩ ඉවුරේ සැක සහිත ස්ථානවල සේනාව රඳවමු.

“සිරිනාග අපි අදම රජතුමා හමුවන්නට ඕනෑ. හෙට රාජ සභාවෙන් පසු යුද්ධ මණ්ඩලය කැඳවමු. රජතුමා හමුවීමේ අවස්ථාවට දීඝාභයත් පැමිණිය යුතුයි.”

“බැහැ, අද යුද සරඹ සන්දර්ශනයක් යෙදී තිබෙනවා, ඒ නිසා ඉර බැස යන්නට කලින් මම කඳවුරේ ඉන්නට ඕනේ. හෙට රාජ සභාවට ඉදිරිපත් කරන කරුණු සැලසුම් කර ගන්නටත් තිබෙනවා.”

“හොඳයි, එහෙනම් අපි විසිර යමු. හවස පහට අපි රජතුමා හමුවෙමු.” සිරිනාග තමන්ගේ ගමන් විස්තර හා මාගම විස්තර කෙටියෙන් බෝධිනාගට හෙළි කළේ ය.

“පියාණෙනි, ඉතාම විමසිලිමත්ව සිටින්න. පිටතින් මෙන්ම නුවරින් එය අය ගැනත්, සම්මන්ත්‍රණ ශාලාවට එක්රැස් වී කරන කතාබහ ගැනත් සැලකිලිමත් වෙන්න. මගේ අශ්වයා මෙහි තබා යනවා. ඔහුට හොඳින් සාත්තු කරන්න. සවස සෙනෙවි මැදුරට ගෙන එන්න. මම මෑණියන් සමඟ වෙනත් අස්රියකින් යනවා.

සමන්තී මෑණියන් සමඟ මැදුරට පැමිණි සිරිනාග මදක් සැතපිණි. ඉන් පසු මුහුණ කට සෝදාගෙන ගමනට සූදානම් විය.

“මෑණියනි, මම දැන් ජයනාථ මහ සිටු මැදුරට යනවා. ඉන්පසු රජ මාලිගයට ගොස් අඩ හෝරාවක් පමණ එහි රැඳෙනවා. ඉන්පසු ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගෙදර එනවා.”

බෝධිනාග විසින් ගෙන එන ලද අසු පිටට නැඟි සිරිනාග විනාඩි කිහිපයක් ඇතුළත මහ සිටු මැඳුරට ළඟා විය. මහ සිටුතුමාත්, සිටු දේවියත්, දියණියත් ආලින්දයට වී බලා සිටිනු දුටු සිරිනාගට හැඟුණේ ඔවුන් තමාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින බව ය.

එන්න සිරිනාග, ඔබ ප්‍රමාද වූයේ ඇයි? අපි මග බලා සිටියේ දිවා ආහාරයත් සූදානම් කරගෙන” සිටු දේවිය කීවාය.

මෑණියනි, කසාතොට දී ප්‍රමාද වුණා. චරපුරුෂයන් එකසිය පනස් දෙනකුගේ අනන්‍යතාව තහවුරු කර ගනිමින් භාර ගන්නට පැය තුනකටත් වඩා වැඩි කාලයක් ගත වුණා. ඒ සෝදිසිය ඉතාමත් හොඳයි. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගනිමින් අපේ චරපුරුෂයන් කිහිප දෙනෙකුත් ඇතුළු කරගන්නට ඉඩ ලැබුණා.”

“සිරිනාග, මාගමින් ආවේ කවදා ද? අද හිමිදිරියටත් කලින් පිටත් වුණා. දාඨාසේන තවත් අසරුවන් දස දෙනෙක් සමගින් මා රැකවල් කරගෙන ආවා” යි කියමින් සිරිනාග සිනාසුණේ ය.

සිරිනාගට මරණ දඬුවම පනවා ඇති බව ආරංචි වුණාම අප බොහෝ භයට පත් වුණා. නමුත් අප සැබෑම තොරතුරු දැන ගත්තේ මහනෙලගෙන්.

“ඔව් පියාණෙනි, මෙහි එන්නට කලින් මට මහනෙල හමුවුණා. මෙහි සියලු තොරතුරු ඔහුගෙන් දැන ගත්තා” යි කීවේ ය.

“අමිතාටත් යුද බිමට යන්නට ඕනෑ වෙලා” සිටු දේවිය කීවා ය.

“දුටු ගැමුණු රජතුමා පරාජය කරන්නට ද?”

“නෑ, දිනවන්නට”

“නැඟණියනි, අපේ අරමුණු විවෘතව කතා කිරීමට තවම අවස්ථාව උදා වී නැහැ. ඒ නිසා පරිස්සමින්; ඉදිරියේ දී අවදානම තවත් වැඩිවේවි. දුටුගැමුණු රජතුමා දැන් මාගමින්, කතරගමටත්, කතරගමින් ගුත්තාහල කඳවුරටත් ඇවිත්. අප කළ යුතු දේ බොහෝයි.

සිටු මන්දිරයේ සියල්ලන්ගේ ම මුහුණුවල ඇති වූයේ මහත් සතුටකි. “යුදබිමට කාන්තා හමුදා කණ්ඩායම් කිහිපයක්ම එනවා. පෙරමුණේ ම එන්නේ විහාර මහා දේවීන් වහන්සේ” යි කියමින් අමිතා සිනාසුණා ය. ඔව්, ඒ එක්කම සීවලී, සමන්තා මහිලා යන කුමරියන් තිදෙනාත් එනවා.

සමන්තා අශ්ව ශිල්පයට දක්ෂයි. අවි හරඹත් පුළුවන්. කඩුව, හෙල්ල, දුන්න ආයුධ පරිහරණයේත් සමත්කම් දක්වනවා. ඇය වඩාත් කැමති දුර්ගම සංග්‍රාම පුහුණුවට” සිටු දේවිය කීවා ය.

“කතාබහ කරන්නට බොහෝ දේ තිබෙනවා. සිරිනාග හෙට වේලාසනින් එන්න. රාත්‍රී භෝජනයත් අරගෙන යන්න පුළුවන්.”

සිරිනාග යන්නට සමු ගත්තේ ය.