Print this Article


පහන් සිතක කවි

සඳරැ සඳරැස් වැටිලා දෙව්රම් වෙහෙරට


පුංචි කුමාරියො පුංචි කුමාරයො වටකරගෙන පුන්සඳ වාගේ
හිනැහෙන ලස්සන දුටුවම කවුරුත් දෙපයක් එතැනින් යළි නෑගේ
පින උතුරන්නට නිවන් දකින්නට පොඩි වුණමුත් සිත ඇත මාගේ
එක බණ පදයක් අහන්න ආසයි සිත සතුටින් මාගේ

සඳ රැස් වැටිලා දෙව්රම් වෙහෙරට මලුව පුරා මල් වැහි වැහැලා
එක එක මල්පෙති උඩට නැඟී ගෙන මී මැස්සන් ඇත එහි පිරිලා
පිනක් නොමැතිමුත් අපට අහන්නට උන්ටත් පුුරුදුයි බණ අහලා
දම්සක් දෙසුමක් අපට දෙසන්නකො පුදදෙමි තුන් සිවුරක් මහලා

පින්කෙත උතුරා ගලා හැලෙද්දී කරුණා දහරින් නැහැවෙනවා
කියන කියන බණ පදයක් ගානේ මා සිත තුළ මල් පිබි දෙනවා
තණ්හා ආසා මෝහයෙ ගිනිදැල් එක මොහොතින් නිවි නිවි යනවා
පෙර පින් මදි බව මට වැටහෙනවා සසුනෙහි පැවිදිව මෙහෙණක් වෙනවා


පුවත්පත

 

 

 

බෝපත් සිලිසිලි නාදෙන් පවසයි බුදු ගුණ
විහාරයෙන් අපට ඇසෙයි සම්බුදු බුදු බණ
ලොවම එළිය කරන මැණික් පහනක් විලසින
“බුදුසරණ” පුවත්පත වඩවයි ගුණ නැණ


සසරින් මිදී

රහතුන්ගේ මන
වීතරාගී වින
ධර්මය දෙසූ දන
එය වෙයි උතුම් පින

මුනිඳුට මල් පහන් පිදූ
සැම වෙත පින් වේ ය සිදු
රහතුන් ඒ කෙලෙස් සිඳූ
ඝොර සසරින් ඔවුහු මිදූ


හිමි පා පියුම් වඳිනෙමි මම සැදැහැයෙනි

තිසරණ සරණ ගෙන දහමට අනුව යමින්
අසරණ සරණයට නිරතුරු පුරුදු වෙමින්
හිස මත තිබෙන ඉසිකෝමන් ඉවත ලමින්
සසරෙහි ගමන කෙටි කර ගෙන ලබමු නිවන්

කවියෙන් කියන බුදුගුණ ගී අසා බැතින්
වරදින් පවින් නිරතුරුව ම ඉවත යමින්
දැහැමෙන් සෙමෙන් කරමින් දිවි ගමන යෙහෙන්
සසරින් මිදෙන හැටි සොයමු ද වෙහෙස වෙමින්


පොසොන් සඳ

දහසක් පිරිස සහ රජුටත් එක ලෙසට
සැනසුම ලැබුණි තෙරුවන් සරණින් සැමට
රහසක් නැතුව ලද ඒ පොහොයෙ නමට
අහසේ පොසොන් සඳ පායා එයි හැඩට

යහ භාෂාව සිරිතට විරිතට අනුව
වහ වහ දනන් ගුණ ගරුකව දැහැමි කොට
මහ සෑ පිළිම හෙළ බොදු සිත් පුබුදු වට
කහවත විකුම් පෑවේ දින පොසොන් සිට

සම මෙත වඩා හැම සත දුක කරන නිමී
අම මහ නිවන් මඟ පහදා හැඳින ගමී
එම මඟ දෙසුව හද කරුණා ගුණෙන් තෙමී
නමදිමි පොසොන් දා අනුබුදු මිහිඳු හිමී


පින් සිතක්

නිමක් නැති ගමන යන
අතර මඟ තවම එන
පැමිණ විගසින හැරෙන
කඳුළු කැට තුළ දැවෙන

පින් සිතක් නැති මිනිසා....

වෙනස කොතැන ද
නතර වන්නට
සොයන්නෙ ද මිනිසා
ආශා සිත් ගෙන
බැඳී හඬනා
සසරෙ මේ මිනිසා

කඳුළු නිමකර
සැනසුමක් වෙත
මඟක් ඇත සසරේ
උතුම් ගතියෙන්
දහම් මඟ යන
මලක් සේ මිනිසා

සසරෙ බැඳෙනා
මුළාවෙන් මිදි
ලෝභ සිත් බිඳ දා
උතුම් නිවනේ
සුවය විඳිනා
පින් සිතක් ඇති මිනිසා


දුවේ පුතේ

දහමින් දැකිය හැක බුදුහිමි දුවේ පුතේ
අපි හැසිරෙමු දහම් මඟ හිත දිවා රැයේ
සසර බිය දැනෙයි බෙහෙවින් සිතට මගේ
පින්කම් කරමු ළඟ නැතුවත් අතේ සතේ

වියපත් ජීවිතේ ගත වීරිය බිඳුණ
හැකි වේ ජය ගන්න කළ විට මන දමන
කරුණා පිරුණු සිසිලෙන් අප හද තෙමන
මඟ යා යුතුයි සම්බුදු හිමි දෙසු නිවන


නමදිමු බුදුහිමි

අතරක් නැතිව දුක් විඳිනා දිවි කතරේ
සයුරක් ලෙසින් සැරි සරනා බව අඳුරේ
තව දුක් විඳිනු කුමට ද මඟ ඇත අතරේ
දහමක් දෙසු හිමි ගුණ දසතම පැතිරේ

ඉපදී රුකක් මුල බුදු වී රුකක් මුල
ලැබ දී දස දහස් සතහට නිවන් පල
කර දී නිමා හතළිස් පස් වසක් තුළ
සමු දී පිරිනිවිනි මාහිමි රුකක් මුල

ඇතිවන සියලු දේ නැතිවී යන අයුරු
නියත සැබෑ දහමක් පෙන්වා මියුරූ
තෙත් වුණ හදින් මෙත් කරුණා ගුණ පැතිරූ
බැතියෙන තිලෝ ගුරු හිමි නමදිමු මහරූ


දුබල සිතට

කිරි සුවඳ දැනෙනවා
රාගයෙන් වැහෙනවා
ලෝ දහම නසනවා
සසර දුර රැඳෙනවා
සදා සැනසුම වැසෙනවා


හෙළ දන හදවත සියපත් පිපුණා

පිපී නිවන් මල් අඹ රුක් අරණේ
නිවුනි දනන් සිත් මේ හෙළ දෙරණේ
මෙත් ගුණ ගැබ්බර මේඝ වළාවෙන්
වට මහ තෙරුවන් ගුණ වරුසාවෙන්

ගලා සතර අත වට මහ දිය කඳ
ගියා මුළා මළ සේදී මුහුදට
එකමුතු බැමි බැඳ මෙත් මුතු රැස් කොට
වැපිරුණි ගුණදම් සිත් කෙත හැඩ කොට

අහස උසට බැති සිත පැන නැඟුණා
ලොව්තුරු ගුණ කඳ සෙල් මත මැවුනා
කලා ශිල්ප දිවි මඟ හැඩ කෙරුණා
හෙළ දන හදවත සියපත් පිපුණා