Print this Article


ගත සිත පුබුදන පින් වැඩෙන පින්කම්

ගත සිත පුබුදන පින් වැඩෙන පින්කම්

මිනිස් වර්ගයා පමණක් නොව ලොව සෑම ජීවයක ම ප්‍රාණ වායුව රැඳී ඇත්තේ ගහකොළ, ඇළ, දොළ, ගංගා, හිරු සඳු එළිය හා බැඳුණු ස්වභාවික පරිසර පද්ධතිය තුළ ය. එය පරම සත්‍යයකි. ගහකොළ, ජලය සුරැකෙන පරිදි ගස්වැල් සිටුවීම, වැව් අමුණු ළිං සැකසීම නිතර පින් වැඩෙන පින්කම් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පරිසරය හා ජීවීන් අතර ඇති අත්‍යන්තයෙන් බැඳී පවත්නා මේ සබඳතාව මැනවින් වටහාගෙන ය.

මන්ද මිනිසා ද සොබා දහම ම වන බැවිනි. හින්දු ජනයා වසර හයදහසකට වඩා ඉපැරැණි සෘග්වේදයේ සඳහන් ගීතිකාව මන්ත්‍රයක් ලෙස අද ද භාවිත කරති. එහි අදහස වන්නේ ‘ස්වභාව ධර්මය නැමති මහා දේවයෙනි ඔබ සදා ප්‍රාඥය, සදා ආශිර්වාදාත්මක ය. අපි ඔබේ ප්‍රභා මහිමය සම්භාවනා කරමු. උත්තරීත්වය කරා අප යන මේ ගමනේ දී අපට මඟ පෙන්වනු මැනවි. සත්‍යය හා අසත්‍යය වෙන්කර හඳුනා ගැනීමට අපට හැකි වේවා.

මේ ගීතිකාව මනුෂ්‍යයා හා මුළු සොබාදහම හා විශ්ව බලය අතර පවතින පවිත්‍ර සබඳතාව මොනවට කියා පාන්නේ ය.

දූවිල්ලෙන් වූ නුඹ දූවිල්ලට ම යන්නෙහි ය. යනුවෙන් බයිබලයේ සඳහන් පාඨයෙන් ද විශද වන්නේ මිනිසා ස්වභාව ධර්මයේ ම එක් විශිෂ්ට නිර්මාණයක් පමණක් බවයි. මේ කරුණුවලින් සොබාදහම අගයන මිනිසා අතර පැවතිය යුතු යහපත් වූ බැඳීම කෙතරම් විය යුතු ද යන්න අපට මනාව විශද කරයි.

පිරිසුදු වාතය හා ජලය ස්වභාව ධර්මයෙන් අප ලද විශිෂ්ට ම දායාදයන් වේ. මිනිසාට ඔක්සිජන් වාතය නොමැතිව ජීවත්විය හැකි වන්නේ මිනිත්තු හතක් වැනි කාලයක් වන අතර, පිරිසුදු පානීය ජලය නොමැතිව ජීවත් විය හැක්කේ දින හතක් පමණක් වන බැවිනි.

කෙනකුගේ ජීවිතයට වැදගත් ම වන දේ කුමක් දැයි ඇසුවහොත් එක් එක්කෙනා විවිධ වූ පිළිතුරු සපයයි. එහෙත් අමතක නොකළ යුතු ම අපේ ජීවිතයට වැදගත් ම දේ වන්නේ ආශ්වාස ප්‍රශ්වාසයට ඇවැසි අම්ලකර වාතය යි, යන්න දන්නේ කීයෙන් කී දෙනෙක් ද? ඒතරමට ම වත්මන් අතිධාවනකාරී අස්වාභාවික කෘත්‍රිම මිනිසා ස්වභාව ධර්මයෙන් ඈත් වී ඇත.

වාතයට හැඩයක්, පාටක්, හෝ සුගන්ධයක් නැත. නමුත් එය අපිට ජීවය සපයයි. මිනිසා ඇතුළු සමස්ත ජීවී පද්ධතියට ම ප්‍රාණ වායුව සපයා දෙන නිෂ්පාදනාගාරය වන්නේ ගහ කොළ බව නිතර සම්මා සතිය තබාගත යුතු ය. අතීත මිනිසා දැන හෝ නොදැන කළ වෘක්ෂ වන්දනාව මෝඩ අමනෝඥ ක්‍රියාවක් සේ බැහැර කළ නූතන මිනිසා කිසිම හිතක් පපුවක් නොමැති ව කරන වන විනාශය විශ්වයේ ජීවීන්ගේ පැවැත්මට සුවිශාල තර්ජනයක් සිදුකර ඇත. ඔක්සිජන් නිෂ්පාදනාගාර විනාශ කරමින් අනාගත දරු පරපුරට ප්‍රාණඝාතය උරුම කර ඇත. මේ තත්ත්වය වෙනස් කිරීමට මුළු ලෝක ප්‍රජාවම නැඟී සිටිය යුතු කාලය එළඹ ඇත. මනුෂ්‍යයා තුළ ජීවීන්ගේ පැවැත්මට සුවිශාල මෙහෙවරක් ඉටුකරන ඊළඟ සාධකය වන්නේ ජලය යි. ලෝකයේ හතරෙන් තුනක් ජලයෙන් පිරී පවතී. එහෙත් පානයට යෝග්‍ය ජලය ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. මනුෂ්‍ය ශරීරයේ ද තුනෙන් දෙකක් ජලයෙන් පිරී පවතී. ජලය අපගේ ජීවයේ පැවැත්මට කෙතරම් අවියෝජනීය ලෙස බද්ධව පවතී ද යන්න ඉන් මනාව විශද වේ.

ස්වභාවධර්මය කෙතරම් ආශ්චර්යය ද? පෙර අපර දෙදිග සරල හා ශාස්ත්‍රීය සංගීත ස්වර නාද රටා නිර්මාණය වී ඇත්තේ ද ස්වභාව ධර්මයේ නියාමයන්ට අනුව ය. කුරුල්ලන්ගේ නාද, සතුන්ගේ විවිධ හඬ, ඇළ දොලෙහි හඬ, ගල්මත, කොළමත පතිතවන වැහි බිඳුවලින් නැඟෙන නද, අහසේ ගිගුරුමෙන් ආදී ස්වභාව ධර්මයේ නාද තුළින් කෘත්‍රිමව නිර්මාණය කරගත් ඒ සංගීත ස්වරවලට වඩා ස්වභාව ධර්මයේ නිසල වන වදුලක නාද රටා අසන ඔබට කෙතරම් චමත්කාර ආස්වාදනීය බවක් විඳගත හැකි ද, ඒ සඳහා ඇවැසි පරිසර පද්ධති ලෝකයාට දායක කරන්නට අප කැප විය යුතු ය.

නූතන මිනිසා සිය ආහාර රටා නිර්මාණය කරගෙන ඇත්තේ ස්වභාවික ආහාරවලට වඩා කෘත්‍රීම කෙටි ආහාරයන් ය. හිපොක්‍රටිස් සඳහන් කර ඇත්තේ ස්වභාව ධර්මයේ නිර්මිත ස්වභාවික ආහාර ඔබට ගත හැකි හොඳම ඖෂධය බවයි. ඊට අමතරව ස්වභාව ධර්මයේ හිමි හිරු එළිය, සඳ එළිය හා කළුවරත් විඳගත යුතු ය.

සරල සංයම අභ්‍යාස, යෝග අභ්‍යාස ප්‍රාණයාම අභ්‍යාස හා භාවනා මඟින් කරනු ලබන්නේ ස්වසන ක්‍රියාවලිය නිවැරැදි කිරීම යි. එහෙත් දියුණු යැයි කියන නූතන බොහෝ ජාතීන් සිය ස්වස්න ක්‍රියාවලිය පිළිබඳ නිවැරැදිව අවබෝධයක් නොමැති සේ ක්‍රියා කරයි.

සියටැල් ප්‍රකාශකර ඇත්තේ සුදු මිනිසා තමා ආශ්වාස ප්‍රශ්වාස කරන, වාතය පිළිබඳව නොදන්නකු බවත් මියැදෙමින් සිටින අයවලුන් මෙන් ඔවුන් සුළඟේ සුවඳ නොදන්නා බවත් ය. මේ සියලු කරුණු තුළින් අප අවබෝධ කර ගත යුතු දේ වන්නේ ස්වභාව ධර්මයට අප ඒකාත්මික විය යුතු යන්න යි. ස්වභාව ධර්මය හා බද්ධ වී සිටිය යුතුය යන්න යි.

ඒ වෙනුවෙන් දැනුම ලබාදීම, පරිසර පද්ධති නිර්මාණය කිරීම, පරිසරය විඳගැනීමේ අවස්ථා සුලභ කිරීමට, අප කැපවිය යුතු ය. ඒ සඳහා ඇපකැප වීම සුවිසල් පින්කමකි. ලෝකයාට කරන උපකාරයකි. එය අගනා බුද්ධ පූජාවකි.