Print this Article


සොරකමට දුන් අපූරු දඬුවම

සොරකමට දුන් අපූරු දඬුවම

සිංහල දිවයිනේ මහා තළාක නම් විහාරයක් විය. ධර්මධර, විනයධර අභය නම් ඇති මහ තෙරනමක් එහි වාසය කළහ. උන්වහන්සේ ගමේ පන්සල අත්හැර භාවනාවට සඳහා වන ලැහැබකට ගොස් කුඩා පන්සලක් ද හදාගත්තා.

මහා කැලෑවක හුදකලාව භාවනාවේ යෙදුණු නිසා ‘අරණ්‍යක මහා අභය තෙරුන් වහන්සේ’ යැයි නොබෝ කලකින් ම ප්‍රසිද්ධ වුණා. එක් උපාසකයෙක් දවසක් උන්වහන්සේ හමුවී බණ අසා පැහැදී අවසර ඉල්ලාගෙන අවුරුදු දොළහක් සිවුපසයෙන් උපස්ථාන කළා. තෙරුන් වහන්සේගේ ප්‍රයෝජනයට කලින් කලට වස්ත්‍ර ද පූජා කළා.

උපාසකගේ නිවස සමීපයේ ම ජීවත් වුණු ‘හරන්තික’ නම් පුද්ගලයෙක් රාති‍්‍රයේ ආරාමයට ගොස් ඒ සිවුරු සොරකම් කරන්න පුරුදු වුණා. තෙරුන් වහන්සේ හැමදාම එකම සිවුර පරිහරණය කළා.

උපාසකයාත් වෙන වර්ෂවල වගේ ම තෙරුන් වහන්සේගේ පරණ සිවුරු දැක සිවුරක් මසාගන්න වස්ත්‍රයක් පූජා කළා ‘මම හැම වර්ෂයක ම මුන්වහන්සේට සිවුරු සකසා ගන්න බොහෝ වස්ත්‍ර දුන්නා. ඒත් අලුත් සිවුරක් සකසාගෙන පොරවන්නේ නෑ. හැමදාම පරණ සිවුරම තමයි. හැම තැනින්ම පලුදු වෙලා. දිරා ගිහිල්ලා.

එහෙම තියෙද්දිත් ඇයි අලුත් සිවුරක් හදා ගන්නේ නැත්තේ. අවුරුදු දොළහක් තිස්සේ ම මම සිවුරු මහගන්න රෙදි දුන්නා. ඒත් එකම අවුරුද්දක්වත් අලුත් සිවුරක් පොරවනවා මම දැකලා නෑ. මේ වතාවේ නම් කල්පනාකාරීව හොයල බලන්න ඕන. පූජා කරන රෙදිවලට මොකද වෙන්නේ කියලා”යි කල්පනා කරන්න පටන් ගත්තා.

සිවුරු රෙදි පූජා කළ දවසේ තෙරුන් වහන්සේ වැඳ ‘’ස්වාමිනි, වතාවත් සියල්ල අවසන් කළා. හෙට පාන්දරින් දානයත් අරගෙන එන්නම්’ යැයි පවසා තෙරුන් වහන්සේට වැඳ ආරාමයෙන් නික්මුණා. අසල වන ලැහැබක සැඟවී පූජා කළ රෙදිවලට කුමක් සිදුවන්නේ දැයි පරීක්ෂා කරමින් සිටියා. රාති‍්‍රය උදාවෙමින් තිබුණා.

කිසිදු කෙනෙක් පැමිණියේ නෑ. තෙරුන් වහන්සේ වස්ත්‍රය බලන්නේවත් නැතිව භාවනා කරමික් කාලය ගත කළා. උපාසකයාටත් බොහෝම වෙහෙසයි දැන්. ඒත් සොරෙක් හෝ මේ වස්ත්‍රය ගෙනයන කවුරුන් හෝ කෙනෙක් සිටීද? නැත්නම් එයට සිදුවන්නේ කුමක්දැයි කල්පනා කරමින් සිටින විට හරන්තික පැමිණ තෙරුන් වහන්සේගේ ප්‍රමාදයක් බලා සිට වහාම කුටියට පිවිසුණා. වස්ත්‍රය අරගෙන සැඟවෙමින් සෙමෙන් සෙමෙන් යන්න පටන් ගත්තා.

උපාසකයාට දැන් පුදුම කේන්තියක්. ඔහු සොරා පසුපස එළවා ගොස් බෙල්ලෙන් අල්ලාගෙන ‘ඒයි පාපියා, මෙතෙක් කල් මම තෙරුන් වහන්සේට දුන් වස්ත්‍ර ගත්තේ තොප නොවේද’යි කියමින් පහර දුන්නා. සොරාත් ‘ඔව් මම තමයි’ කියමින් වරද පිළිගත්තා.

සොරාට අත්පාවලින් පහර දී දුර්වල කොට අත තිබුණු වස්ත්‍රයෙන් ම අත්පා බැඳ දමා අමුසොහොනට ගෙන ගොස් මළ මිණියක් උඩුකුරු කොට මුදා ගත නොහැකි ලෙස ඔහුගේ පිටේ තබා බැඳ දැමුවා.

අනතුරුව ඔහු නිවසට ගොස් නා පිරිසුදුවීම මැදට ගිහින් ‘මම කියන මේ පණිවිඩය හැමෝම අහන්න. අද රාත්‍රී කාලයේ එක් අමනුෂ්‍යයෙක් එනවා.

ඌ තොප හැමෝට ම විනාශය ගෙන එනවා. ඌ දුටුවහොත් සනීප කළ නොහැකි තරම් බියට පත් වෙනවා. ඔහුට පුළුවන් ඕනෑම පුද්ගලයකුගේ හඬක් අරගෙන කථා කරන්න. ඒ නිසා දොර-ජනෙල් හොඳින් වසා තබා ගන්න. කවර නමකින් කතා කළත්, කුමන නෑදෑකමක් ප්‍රකාශ කළත් දොරවල් අරින්න එපා. සමහර විට මම ඔයාගේ අසවල් යහළුවා, තාත්තා, පුතා, සහෝදරයා යැයි කියමින් දොර විවෘත කර ගන්න උත්සාහ ගනීවි. ඒ එකකටවත් රැවටෙන්න එපා.

කිසිම වචනයක් කතා කරන්න යන්න එපා”යි හඬගා කියමින් ගම පුරා ඇවිද ගියා. ගම් වැසියෝ ඒ කතාව අසා බියට පත් වුණා. වෙනදාටත් වැඩියෙන් දොර ජනෙල් ශක්තිමත්ව වසා දමා නින්දට ගියා. රාති‍්‍රය ක්‍රමයෙන් උදා වුණා.

මළමිණිය මුදවා ගැනීමට සොරා උත්සාහ කළා. එහෙත් ලිහා ගැනීමට බැරි තැන බිරිඳගේ සහායෙන් එය මුදවා ගන්න පුළුවන් යැයි සිතා නිවසට ගොඩවී බිරිඳ අමතා ‘මම හරන්තික දොර අරින්න’යි පැවසුවත් දොර ඇරියේ නෑ. පුතාටත්, දුවටත් කතා කළා. ඒත් දොර ඇරියේ ම නෑ. කිසිම ශබ්දයක් නෑ. ඔහු මහත් සේ දුකට පත් වුණා. දෙවැනියට අම්මලාගේ ගෙදරට ගියා ‘අම්මේ මම හරන්තික දොර අරින්න. හදිස්සියකට ආවේ”යි

කියා සිටියා. ඒත් දොර ඇරියේ නෑ. තාත්තාටත් කතා කළා. උදව්වක් ලැබුණේ නෑ. සහෝදර සහෝදරියන්ගේ නිවෙස්වලට ගොස් කතා කළා. ඒත් දොර ඇරියේ නෑ. යහළුවන්ගේ, නෑයන්ගේ ගෙවල්වලටත් ගියා. ඔහුට කවුරුවත් පිහිට වුණේ නෑ. වචනයක්වත් කතා කළේ නෑ.

අවසානයේ ආරාමයේ වැඩ සිටින තෙරුන් වහන්සේ වෙත ගිහින් ‘’ස්වාමිනි, මම හරන්තික කියලා කෙනෙක්. මට පිහිට වෙන්න පුළුවන්ද? ඔබ වහන්සේට දොර අරින්න පුළුවන්ද? මම බොහොම අසරණ කෙනෙක්’ යැයි කියා සිටියා.

තෙරුන් වහන්සේ ඒ වදන් අසා සිට ‘මේ රාතී‍්‍ර යාමයේ කවුරුන්ද මේ. පිහිටක් බලාපොරොත්තුවෙන් ම පැමිණියා වගෙයි. ඔහුගේ හඬෙහි තිබෙන්නේත් වෙහෙසට පත්වුණු බවක්” යැයි කල්පනා කරමින් දොර විවර කර එළියට පැමිණියා. ලාම්පු එළියෙන් ඔහුගේ ස්වභාවයත්, පිටේ බැඳ ඇති මළ මිණියත් දුටුවා.

සොරා හඩා වැටෙමින් සියලුම පුවත් දන්වා ‘ස්වාමීනි, මම ඔබ වහන්සේගේ උපස්ථායකයා වෙන්නම්. දාසයා වෙන්නම්. සේවකයා වෙන්නම්. මේ මිණිය මුදවා මා සුවපත් කරන්න’යි ඉල්ලා සිටියා.

තෙරුන් වහන්සේ ඔහු දැක මහත් කම්පාවට පත් වුණා. අනතුරුව මහත් වූ කරුණාවෙන් මිණිය පිටෙන් ඉවත් කර ඈතට ගෙන ගොස් දැමුවා. ඔහුගේ වෙහෙස දුරුවීමට උණුපැන් සකසා ඇඟ සෝදා ගැනීමට පහසුකම් සැපයුවා.

ශරීරය පුරා තුවාල සිදු වී තිබුණා. ඒවාට කැලෑ බෙහෙත් සහ තෙල් ආදිය සකසාගෙන ආලේප කරන්න පටන් ගත්තා. රාති‍්‍රය ක්‍රමයෙන් පහවෙමින් සූර්යාලෝකය උදාවෙන්න පටන්ගෙන තිබුණා.

උපාසක අමුසොහොනට ගොස් බැලුවා. හරන්තික එහි හිටියේ නෑ. ඔහුගේ ගෙදරට ගිහින් බැලුවා එහිත් හිටියේ නෑ. මෙසේ ගමේ ම ඇවිද ගියා. එහෙත් ඔහු ගැන කිසිදු ආරංචියක් ලැබුණේ නෑ. ‘’හරන්තික ගමේ කිසිම තැනක නෑ. ඔහු පන්සලේ නැත්නම් මහ වනයේ මැරිල ඇති.

මිනී මස් කෑමට එන වන සතුන් ඔහු මරා දමා ඇති.’යි සිතමින් හරන්තික පන්සලේ සිටී දැයි බන්න පන්සලට ගියා.

ඔහු යන විට තෙරුන් වහන්සේ හරන්තිකගේ තුවාලවලට බෙහෙත් බැඳ, පිටේ ඇති පහර දුන් තැන්වල තෙල් ගල්වා පිරිමදිමින් සිටියා. ඒ දැක තෙරුන් වහන්සේ අමතා ‘ස්වාමිනි, සොරා නම් දුරු කළ යුතු පුද්ගලයෙක්. ඌ මේ මගේ යහළුවා, මේ මට උපකාර කළ කෙනා යැයි සිහි නොකරන කෙනෙක්. කළ උපකාර අමතක කරන කෙනෙක්. සොරා කටින් එකක් කියනවා. ශරීරයෙන් තව එකක් කරනවා. ඉඩ ලැබුණු ගමන් සොරකම් කරනවා. මව්පියනුත්, සහෝදර සහෝදරියනුත්, නෑදෑයිනුත්, යහළු යෙහෙළියනුත් සොරකම් කරන්නා පන්නා දමනවා. සොරා සමඟ ඇසුරක් පවත්වන්න බෑ.

‘ස්වාමිනි, ඒ නිසා මේ හොරාට උදව් කරන්න එපා. මොහු පන්සලෙන් පන්නා දමන්න’යැයි පවසා සිටියා. උපාසකයාගේ කතාවට සවන් දුන් අරණ්‍යක මහා අභය තෙරුන් වහන්සේ ‘උපාසකය, යම් බල්ලෙක් තමන්ගේ පාදය සපා කෑවා යැයි, ඒ පුද්ගලයා ඒ බල්ලාගේ පාද සපා කන්නේ නෑ.

ඒ වගේ සත්පුරුෂයෝ වරදක් කළ පුද්ගලයාට ද්වේෂ කරන්නේ නෑ. මෛතී‍්‍රය ඇති පුද්ගලයා අසත්පුරුෂයාට මෛතී‍්‍රය නො කරනවා නම් ඔහු මෛත්‍රිය කරන්නේ කාටද? හරන්තික කළ පාපී කි‍්‍රයාවට දැන් ඔහුට විපාකය ලැබී අවසානයි. තවත් ඔහුට බැන වදින්න එපා.

ඔබ ඔහුට දඬුුවමක් පැනවූවා. එය හොදටම ඇති. ‘පින්වත් උපාසකය, දැන් ඔබ යන්න’ යැයි කියා සිටියා. කිහිප දවසකින් හරන්තික ශරීර ශක්තියෙන් වැඩී ගියා. සුවපත් වුණා.

තෙරුන් වහන්සේ වෙත එළඹ ‘ස්වාමිනි, නැවතත් මට ගිහි ගෙයි වාසය කිරීමට ඇල්මක් නෑ. මා පැවිදි කරන්න’ යැයි ඉල්ලා සිටියා. තෙරුන් වහන්සේත් ඔහුට මහණකමත්, උපසම්පදාවත් ක්‍රමයෙන් ලබා දුන්නා. වත්පිළිවෙත්වල හොඳින් නිරත වුණා. වීර්යය උපදවා භාවනා වැඩුවා. අවසානයේ අර්හත්භාවය ලබා හරන්තික තෙරුන් යැයි ප්‍රසිද්ධ වුණා. මේ කතා පුවතින් පෙන්වා දෙන්නේ වස්තු සම්පත් කෙරෙහි ඇල්ම දුකට පත්කරවන බවයි.

ජීවත්වීම විශාල දුකක් බවත්, නැවත උපතක් නො ලබන අයුරින් සසර නිමා කර ගැනීමට කුසලයෙහි යෙදීම පණ්ඩිතයන්ගේ ලක්ෂණයක් බවත් පෙන්වා දෙනවා. නොදැනුවත්කමින් වැරැදි කළත්, වැරැද්ද අවබෝධ කරගත් විට තමාටත්, සමාජයටත්, ලෝකයටත් ඔහුගෙන් සිදුවන සේවය ඉතා විශාලයි. ප්‍රමාණය කළ නොහැකියි.