Print this Article


නිදහස් චින්තනයෙන් සැබෑ වෙනසකට පූර්විකාවක්...

නිදහස් චින්තනයෙන් සැබෑ වෙනසකට පූර්විකාවක්...

ධර්මාශෝක අධිරාජයාණන්ගේ ධර්ම ප්‍රචාරක කි‍්‍රයාදාමයෙහි ප්‍රතිඵලයක් ලෙස ලොව්තුරු ශාන්තිනායක අමා මෑණි බුදු පියාණන් වහන්සේගේ උතුම් ශී‍්‍ර සද්ධර්මය රැගෙන මහා මහින්ද මහරහතන් වහන්සේ සිරිලකට වැඩම කළහ.

ලාංකිකයෝ උන්වහන්සේ අනු බුදුවරයකු සේ වන්දනා මාන කරති. මහා මහින්ද මහරහතන් වහන්සේ මිස්සක පවිව පිහිටි මහ වනයෙහි දී ලාංකිය ප්‍රමුඛ පුරවැසියා දේවානම් පියතිස්ස මහ රජතුමා මුණ ගැසිණි. බුද්ධි පරීක්ෂණයක් තුළින් රජ නැණවතකු බව වටහා ගත් උන්වහන්සේ චුල්ල හත්ථිපදෝපම සූත්‍රය රජුට දේශනා කළ සේක.

ජාණුස්සෝණි බ්‍රාහ්මණයා හා පිලෝතික පරිබ්‍රාජකයා යහළුවන් දෙදෙනෙකි. හමු වූ අවස්ථාවක දි පිළිසඳර කථා කරන විට පිලෝතික පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ මුණ ගැසී උන්වහන්සේගේ ශ්‍රාවකයකු වූ බව දක්වයි. බුදුරජාණන් වහන්සේ යනු මහා ප්‍රඥාවන්තයකු වන බවට තිබෙන සාක්ෂි කවරේදැයි ජාණුස්සෝණි විමසයි. එවිට පිලෝතික පරිබ්‍රාජක කියනුයේ බුදුරජාණන් වහන්සේ “සම්මා සම්බූද්ධ ” වන බවත් උන්වහන්සේ ගේ ශී‍්‍ර සද්ධර්ම “ ස්වාක්ඛාත” වන අතර උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා “ සුපටිපන්න” වනබවත් ඇත් පාදයක් දැක ඇතකු හඳුනා ගන්නාක් මෙන් උන්වහන්සේ හඳුනා ගත හැකි ඤාණ පාද හතරක් වන බව දක්වයි. මහා නැණවත් බ්‍රාහ්මණ පණ්ඩිතයෙක්, ක්ෂතී‍්‍රය පණ්ඩිතයෙක්, ගෘහපති පණ්ඩිතයෙක්, ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් උන්වහන්සේ ගම් නියම්ගම්වලට එන බව අසා උන්වහන්සේ හා වාද කිරීමට කරුණු, ගැටලු රාශියක් එකතු කර ගනී. දින සති මාස අවුරුදු ගණන් එකතු කළ එම ගැටුම් පොදිය ගෙන උන්වහන්සේ හා වාද කරන බවට වහසි බස් කියමින් උන්වහන්සේ හමුවීමට යයි. එසේ ගොස් පිළිසඳර කථාවක යෙදී උන්වහන්සේගේ ධර්ම කථාවට සවන් දෙයි. අනතුරුව යළි වාද කිරීමකින් තොරව උන්වහන්සේගේ ශ්‍රාවකයකු වෙයි. මේ කරුණ පදනම් කොටගෙන තමා එසේ කියන බව දක්වයි.

ජාණුස්සෝණි බ්‍රාහ්මණයා ද එහිදීම බුදුරජාණන් වහන්සේ සිටින දිසාවට වන්දනා කොට බුදුරජාණන් වහන්සේ හමුවීමට යයි. ජාණුස්සෝණි බ්‍රාහ්මණයා බුදු රජාණන් වහන්සේ හමු වී පිළිසදර කථා කොට ධර්ම කථාවට සවන් දී තමා මෙසේ පැමිණියේ පිලෝතික පරිබ්‍රාජක නිසා බවත්, ඔහු බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීමට කළ ඇත් පාදයෙහි උපමාව ද දක්වන ලදී. ඇත් පාදය පිළිබඳ එහි ඇත්තේ කෙටියෙන් බවත්, ඇත් පාදය පිළිබද පූර්ණ විස්තරයක් තමන් වහන්සේ දේශනා කරන බවත්, එයට සවන් දෙන ලෙසත් දන්වා බුදුරජාණන් වහන්සේ මේ චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කළහ.

ඇතුන් අල්වන අයෙක් ඇතුන් ඇල්වීම සඳහා මහ වනාන්තරයකට පිවිසෙයි. ඔහු විශාල ඇත්පාද තිබෙන තැන් වනයෙහි දකියි. එතැන මහ ඇතා ඇතැයි සිතා එහි මදු ගසා බලා සිටියි. එසේ වුවත් ඒ මහ ඇතා වසන තැන නොවෙයි.එසේ මහ ඇත්පාදයක් ඇති වාමනිකා නම් ඇතින්නියන් වර්ගයක් වනයෙහි වෙසෙයි. අනතුරුව ඔහු වනය මැදට ගොස් ගස්වල උස් තන්හි පිට ඇතුල්ලූ තැන් දැක එතැන මහ ඇතා ඇතැයි සිතයි. එහෙත් කැළෑවෙහි උච්චා කණෙරුකා යැයි උස ඇතින්නියන් විශේෂයක් වෙයි. අනතුරුව ඔහු විශාල ඇත්පාද ඇති උස තැන්හි පිට ඇතිල්ලු, උස තැන්වලින් අතු කොළ කඩා ගත් ස්ථාන දකියි. එතැන මහ ඇතා ඇතැයි සිතයි. එහෙත් වනයෙහි උච්චාකාලාරිකා නම් ඇතින්නියන් විශේෂයක් වෙයි. එසේනම් ඇත් පාදය හෝ ඇතුන් පිට ඇතුල්ලු තැන් හෝ ඇතුන් අතු කොළ කඩා කෑ තැන් ගැන සලකා හෝ මහ ඇතා එතැන ඇතැයි අනුමාන කළ නොහැක. මහ ඇතා දුටුව විට මේ මහ ඇතා යැයි සනිටුහන් කිරීම ඇතා හඳුනාගත හැකි නිවැරැදිම ක්‍රමවේදය වෙයි. මේ ලෝකයේ යමක් හඳුනාගත හැකි ඥාන ශක්තීන් දෙකක් වෙයි.

එනම් අනුමාන ඥානය හා ප්‍රත්‍යක්ෂ ඥානයයි. අනුමාන ඥානය යනු බාහිර යම් යම් දේ දෙස බලා අනුමාන කිරීමයි. අනුමාන කිරීම සත්‍ය නොවෙයි. අනුමාන කොට ගන්නා තීන්දු තීරණ වැරැදි තීන්දු තීරණ වෙයි. ලෝකයේ බොහෝ දෙනකුට ඇත්තේ අනුමාන ඥානයයි. ලෞකික විද්‍යාවන් තුළින් අප ලබන ඥානය සත්යෝ නොවෙයි. අනුමාන ඥානයකි. අනුමාන ඥානය විටින් විට වෙනස් වෙයි. එමෙන් ම අනුමාන ඥානය තමන්ගේ ම ඥානයක් නොවෙයි. එය අපට ලබා දෙන්නේ බාහිර ලක්ෂණ තුළින් ය. එය පැහැදිලිව ම මුළාවකි. රැවටිල්ලකි. ඒ නිසා ම එම ඥානය වහල් ඥානයකි. තවකකු කී, තව සංකේතයකින් පළ කළ අදහසකි. එය එසේම අප වැළඳ ගැනීමකි. දේශපාලන, ආර්ථික, අධ්‍යාපන , ආගමික හා සමාජ සංස්කෘතික විවිධ ක්ෂේත්‍රවල දී පවතින්නේ මෙම අනුමාන ඥනයයි. මේ නිසා බොහෝ රැවටීමට ලක් වෙයි.

ඡද්දන්ත ජාතකයේ දී හස්ථිරාජයා මැරීම සදහා ඝාතකයා යන්නේ ගුරු පාට ඇඳුමක් හැඳ තාපසයකුගේ ස්වරූපයෙනි. ඒ තාපසයකුගෙන් කිසිවකුට හානියක් නොවේ යයි අනුමානයයි. අප වුව ද මෙසේ රැවටෙයි. හොඳින් හිස රැවුල් බා, සිවුරු හැඳ පෙරවා, සෙමින් ගමන් කරන, වංචනිකයන් දකින අප ඔවුන් රහතුන් යැයි පසේ බුදුවරුන් ය. බුදුවරුන් ය යනුවෙන් අනුමාන කරයි. සුදු ඇඳුම් අඳින හැමෝම අවංක නැත. වංචනිකයෝ වෙසෙති. කෙනකුගේ රවුල, කොණ්ඩය, ඇඳුම පැළඳුම දෙස බලා ඔහු ගැන තීන්දු ගැනීම අනුමාන ඥානයයි. නමුත් එය සත්‍ය නොවෙයි.

ප්‍රත්‍යක්ෂ ඥානය යනු පිරිසිඳ ඥානයයි. එය යමක් බාහිරෙන් දැක ලබන අනුමාන ඥානයක් නොවෙයි. එය සත්‍ය වශයෙන් දකින ඥානයකි. ඒ සඳහා ඒ තුළට අප ප්‍රවේශ විය යුතුයි.

බුදුරජාණන් වහන්සේ දකින්නට නම් බුදු ගුණ හඳුනාගෙන ඒ ගුණ ජීවිතයට ඇතුලු කර ගත යුතුයි. රහසින්වත් පව් නොකිරීම, සම්මා සම්බුද්ධ ගුණය, අෂ්ට විද්‍යාවන් හා පසළොස් ආචාර ධර්ම අනුගමය, යහපත් ගමන් මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය, දමනය කළ නොහැකි පුද්ගලයින් නිරායුදව මෛතී‍්‍ර, කරුණා ගුණයෙන් දමනය කිරීම, දෙවි මිනිසුන්ට ගුරු වීම, බුද්ධ ඤාණය ලැබීම හා භාග්‍යවන්ත වීම. මෙම බුද්ධ ගුණ අප තුළ වේ නම් අප බුදුරජාණන් වහන්සේ දකියි. ධර්මය දකින්නට මුල, මැද, අග යහපත්ව දෙසූ ධර්මය අපේ ජීවන ප්‍රතිපදාවට ලබා ගත යුතුයි.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකු වන්නට නම්, උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට කළ යුතුනොකළ යුතු යැයි කියු දේ කිරීම, නොකිරීම සිදු කළ යුතුයි.

සමාජය වෙනස් කිරීමට පෙර තමා වෙනස් විය යුතුයි. ඒ වෙනස සැබෑ වෙනසක් (පඥචත ඤඪටටඥපඥදජඥ) වීමට නම් ප්‍රත්‍යක්ෂ ඥානය තිබිය යුතුයි. මිහිඳු මහරහතන් වහන්සේ ගේ මෙම ප්‍රත්‍යක්ෂ ඥානය පිළිබද දැක්ම තුළින් ලාංකීය සමාජයේ ක්‍රමවේදයේ වෙනසක් ඇතිවිණි. පන්සිල් සුරකින පරමාදර්ශී සමාජයක් බිහිවිණි.

ආත්ම පරිත්‍යාගයෙන් මිනිස්සු සීලය ආරක්ෂා කළහ. රජු ධාර්මික විය. ඔහු බෝසත්වරයකු ලෙස සැලිකීය. ආර්ථිකය ධාර්මික විය. අධ්‍යාපනය සීල, සමාධි , ප්‍රඥා ගොඩනඟන අධ්‍යාපනයක් විය. සමාජ සංස්කෘතිය ද ධර්මානුකූල විය. යහපත් සමෘද්ධියකින් යුත් සමාජයක් බිහිවිණි. වැවයි දාගැබයි - ගමයි පන්සලයි යන තේමාව යටතේ වූ සභ්‍යත්වයක් බිහිවිණි. වැව ආර්ථික සංවර්ධනයේ සංකේතය වූ අතර, දාගැබ ආධ්‍යාත්මික සංවර්ධනයේ සංකේතය විය. ගමේ නායකත්වය පන්සලයි. පන්සල තුළින් පරිපූර්ණ පුද්ගල සංවර්ධනය ගොඩනැඟිණි. ප්‍රත්‍යක්ෂ ඥානය තුළින් එවන් සුඛිත මුදිත රටක් ගොඩ නඟන්නට පෙරමුණ ගනිමු.