Print this Article


තැනට සුදුසු නුවණ වේ නම් ...

තැනට සුදුසු නුවණ වේ නම් ...

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දවස රජගහනුවර අභිවාතක නම් ඉතා බිහිසුණු බෝවන රෝගයක් පැතිරී ගියේ ය. එම රෝගය කෙමෙන් පැතිරී යන අතර සිටු මැඳුරට ද රෝගය බෝවුණි. සිටු බිරිඳ හා සිටුතුමා රෝගයට ගොදුරු විය. දිනක් රෝගයෙන් දරුණු ලෙස පීඩා විදින සිටුතුමා තම පුතු කැඳවා “පුත අප දෙදෙනා මේ රෝගයෙන් දරුණු ලෙස පෙළෙමු. ඒ නිසා පුත ඔබ අප හැර දමා සිටු නිවසින් පිටව යන ලෙස දැන්වීය.

ඈත ප්‍රදේශයකට ගොස් බොහෝ කල් ගෙවා පැමිණ, අසුවල්, අසුවල් තැන් හී නිදන් කළ හතළිස් කෙළක් පමණ ධනය ඇත. ඒවා රැගෙන තම ජීවිතය යහපතින් රැක ගන්නා ලෙස පුතුට පැවසීය.

සිටු පියාගේත්, මවගේත් එම වදන් ඇසූ පුතුගේ හදවත දැඩි සොවින් පෙළුණි. ඒ රෝගයට ගොදුරුව ඉතා අසරණ වූ තම මව්පියන් හැර දමා යෑමට සිදුවන නිසා ය. කෙසේ වූව ද රෝග බියෙන් බේරීම හොඳ යැයි සිතූ පුතු සිටු මැදුරින් නික්ම ගොස් දුක සේ තම ජිවිතය රැක ගත්තේ ය. ඒ දරුණු රෝගයෙන් සිටුතුමා ද, බිරිඳ ද මරණයට පත් විය.

එදා මවගේත් - පියාගේත් කීමට අවනත ව සිටු මැඳුරින් නික්ම ගිය පුතු රජගහ නුවර සිටු මැඳුරට පැමිණියේ දොළොස් වසරකට පසුව ය. දොළොස් වසරක් ගෙවුණු තැන පුතුගේ දේහ ලක්ෂණ වෙනස් විය. දැලි රැවුල වැඩිණි. සිටු පුතු කිසිවකුටත් හැඳීන ගත නො හැකි විය. එදා සිටු මැඳුරින් නික්ම යෑමට පෙර තම පියා පැවසූ ධනය ඇති තැන් පරික්ෂා කොට බැලීය. ඒ පැවසූ තැන් හි ධනය එලෙසින් ම නොනැසී ඇති බව දැක

“මා හඳුනන හා මා තතු දන්නා කිසිවෙක් මේ නුවර නැත“. ඒ නිසා මා වැනි බෙලහීනයකු මේ ධනය ඉදිරියට ගැනීම සැනසීමට නො ව මාගේ වැනසීමට කරුණු වේ යැයි නුවණින් විමසීය.

එසේ නුවණින් විමසා, උපායෙන් රජගහනුවර විසීම සඳහා දිළිඳු වෙස් ගත්තේ ය. තම දිවි රැක ගැනීම සඳහා ඒ නුවර ම රැකියාවක යෙදුණේ ය. ඒ නුවර වීදියෙහි වැඩෙහි යෙදෙන කම්කරුවන් අලුයම නින්දෙන් ඇහැරවීමේ රැකියාවයි. හිරු උදාවීමට පෙරාතුව අවදි ව මුරගා ඇවිද කම්කරුවන් අවදි කිරීම, කුලී වැඩ කරන්නවුන්ට බැළමෙහෙවර කරන යන අර්ථ ගන්වමින් “ඝෝෂක“ නමින් ඔහුව හැඳීන්වීය.

බිම්සර මහරජු කට හඬ පිළිබඳ ඉතා දැනුම ඇත්තෙකි. අලුයම අවදිව සිටි රජුට කීප දිනක් ම ඒ හඬ ඇසී, ඒ නම් මහා ධනවතෙක් යැයි තේරුම් ගෙන ඔහු කැඳවා විමසීමක් කළේ ය. උඩඟුව විසීමෙන් මිදුණු ඒ ඝෝසකයන් තුළ ඇඳුමෙන් දිළිඳුකම ද, පැවැත්මෙන් නිවට ගතිය ද පැවැතියේ ය. උපායෙන් ඇති කරගත් ඒ පැවතුම් සිය දිවිය හා පියාගෙන් උරුම වූ ධනය රැකුමට හේතු විය. ඝෝෂකගේ සැබෑ තොරතුරු දැනගත් බිම්සර රජතුමා “ඝෝෂකයන්“ වෙත සිටු තනතුර පිරිනැමී ය. ඔහු බුදුරජාණන් වහන්සේ වෙත කැඳවාගෙන ගොස් කරුණු පැවසීය.

උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්මකාරි නො
යඤ්ඤතස්ස ච ධම්ම ජිවිනො

අප්පමත්තස්ස යසො‘හිවඩ්ඪති නොපසුබට, අලස නැති, නැඟී සිටින වීර්යයෙන් සිත- කය- දෙක හික්මවා ගනිමින්, වෙහෙසී කටයුතු කරන, එළඹ සිටි සිහි ඇති, කය - වචනය - සිත තිදොරින් ම පිරිසුදු දේ ම කරන්නා වූ, හික්මුණු කය හා වචන ඇති, ඉතා දැහැමි දිවි පැවැත්ම ඇති, නො පමා තැනැත්තා ගේ යසස වැඩෙන්නේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

තම මව්පියන්ගෙන් ලැබුණු යමක් වේ ද නිසියාකාරයෙන් එය කළමනාකරණය කර ගත යුතු ය. ධනය තිබූ පමණින් එය විනාශ වන අයුරින් කටයුතු නොකළ යුතු ය. වර්තමානයේ ජීවත්වන තරුණ දරුවන්ට මෙය කදිම පාඩමකි. තම මව්පියන් විසින් රැස් කරන යම් වූව ද වත්කමක් වේ ද, එය විනාශ වන අයුරින් කටයුතු නො කළ යුතු ය. ඒ වගේ ම තමන්ගේ ධන සම්පත් බල පුළුවන්කාරකමින් උඩඟු නොවිය යුතු ය. සිත, කය, වචනය නම් වූ තිදොරින් ම හික්මුණු, පිරිසුදු ක්‍රියා ම කරන තැනැත්තෙක් විය යුතු ය. එවිට නිතැතින් ම තමන්ගේ යසස වැඩෙන්නේ ය.