Print this Article


පහන් සිතක

සැනසුම

සසරේ අප දිව එනවා
සසරේ අප දිව යනවා


සිරුරේ දැවටෙන සළුපිළි සැඟවුණු
හිමි වත අරගෙන සිත මෙහි එනවා
අඬනා කඳුළැලි කඩා හැලෙනවා
ලේ කිරි කර මව් සෙනෙහෙ ගලනවා

සසරේ අප දිව එනවා
සසරේ අප දිව යනවා

නම් ගම් පළඳා රසින් වැඩෙනවා
නෑ සිය මිතුරන් ගමනට එනවා
ඉඳුරන් එහෙ මෙහෙ දුව පැන යනවා
සැප දුක් සංකා නිති දනවනවා
දම් රස ගඟුලේ නැහැවී යනවා
සිත පහදාගෙන නිති සැනසෙනවා
කැරකෙන ලෝ දම ගමන හදනවා

සසරේ අප දිව එනවා
සසරේ අප දිව යනවා

දිනයක් ඇවිදින් එබී බලනවා
අතහැර යන්නට දුකක් දැනෙනවා
තණ්හා ආශා පොදි සිහි වෙනවා
පව් මලු හිස මත බරට දැනෙනවා
කළ කම් පල දී හඬා වැටෙනවා

සසරේ අප දිව එනවා
සසරේ අප දිව යනවා

දිලිසෙන සළුපිළි ලෙහා දමනවා
සැමගේ ඇඳුමින් හැඩ වැඩ වෙනවා
නිහඬ ව සයනෙක වැතිර නිදනවා
දිරනා කයකට ගරු සරු දෙනවා
නොදැනෙන තව දන කඳුළු සලනවා
නැවතුම නොපෙනෙන ගමනක යන
එන යන ගමනේ නිති පැටලී යන
නැවතුම සොයනා ගමනක යන දන
නිවනේ දොර ඇර සැනසුම ලබමින

සසරේ අප දිව එනවා
සසරේ අප දිව යනවා


පෙර රජ දවස

පිළිගෙන දෙසුව දම් රජ නිහඬව තුටින
දුරු කොට පවිටු දුසිරිත් නිති සිත දවන
මතකයෙ රඳන්නට හිමි ලක වැඩි ගමන
කළ දෑ අනන්තයි පෑ තිස් රජු බැතින

සමගිය මෙසිරිලක දහමින් ඔපවූව
මහ වැව් අමුණු නිම නැත රට ඉදිවූව
නිම වුණ කලා නිමැවුම් විස්මිත වූව
පවතියි සදා ලක් මව නිති සැරසූව


පිළිවෙත

ලෝ වැසි සැම සම්බුදු මඟ වෙතට ම නිති ඇදෙන දාට
“අත්තානං උපමං කත්වා” සම්බුදු හිමි දෙසූ දහම
සිහි කරනා අය වේ නම් සිහිපත් වන දිවා රෑට
හිංසා ලොව දුරුව යතොත් යළි රිදුමක් වේ ද කාට

පියා මව දුව පුතා හෝ නොවන සසරෙහිදි යමෙක්
ලොව නැත වෙන මඟක් දහම තුළින් කෙරෙන පසක්
තණ්හා දුරුකර ලබමින දුකෙන් මිදෙන මඟක්
අන් සතකුගෙ මස් කෑමෙන් නහන්නෙ ඇයි තව පණක්

විවරණයකි වත්මන තුළ සමාජයේ අද පවතින
නමට බොදුනු වුව පල කිම පිළිවෙත මත අය නොරදන
එලොව මෙලොව ජය ගන්නට මැද පිළිවෙත් අනුගමනින
ජීවත් වනු මැන මිනිසුනි අට බැරි නම් පහ රැකගෙන


දිනෙක හිනැහෙමු

පන්සල පල්ලියට කෝවිලකට යවලා
ගුණ දම් හුරු කරමු ලොව ඇති තතු දැකලා
සුපිපුණු මල් විලස හොඳ දරුවන් හදලා
ලෝකය නැවත පුබුදමු හෙට ගැන හිතලා

ඉසිකෝ මාන සිඳ බිඳ ඉවතට දමලා
කරුණා සුවඳ ගුණ දම් මල් දම් ගොතලා
හමුවන සියලු දෙනගෙ ම සතුටින් ගෙල ලා
හිනැහෙමු දිනක අපි දිනු බව සිහි කරලා


සඳ එළිය

රටා මවයි
බෝ මලුව සිසාරා
උවැසියෝ සාධු නද දෙයි
සන්සුන් හඩින්
මුමුණමින් බුදුගුණ ගී
සිලි සිලිය නඟයි මඳ සුළඟ
සිතේ සැනසුම සොයන
නිසසල මිනිස් කැළ
ඇත මලුව
කෙරවල නෙතු පියාගෙන


අමා දහම් රස බෙදා

දහම් අමා රස බෙදා
අනුබුදු හිමි වැඩි එදා
සෑගිරියේ කඳු මුදුනින්
බුදු රැස් කඳ විහිදුණා

දුනු හී සැම බිම තබා
හිමි පා මුල දණ ඔබා
තිස්ස නිරිඳු වැඳ වැටුණේ
සදහම් අම රස ලබා

අඹ පැනය ද විසඳුවා
රජු නැණ බල සැසඳුවා
මිහිඳු හිමිට රජ මැදුරට
වඩිනා ලෙස අයැදුවා


පොසොන් සිතිවිලි

දම්සෝ නිරිඳුන් එදා
රජසිරි සසුනට පුදා
දුවයි පුතයි පැවිදි කළේ
දහමට අදරින්

දෙව් පෑතිස් රජ වුණා
මිතුදම ඔපවත් වුණා
දම්සෝ රජු ඇරයුමෙන්
මිහිඳු සමිඳු පැමිණුනා

තිස්සය හඬ පැතිරුණා
රජු දහමට පැහැදුණා
රට වැසියන් සියලු දෙනා
බුදු සිරිතෙන් හැඩ වුණා

දහම් රසය වපුරලා
හැම හදවත් තෙත් කළා
සඟමිත් තෙරණිය මෙහි වැඩ
මෙහෙණි සසුන ඇති කළා


සුවය

රාග සිතින් සිත
දවනු මිසක වෙද
සිසිලස කිසිදා සිතට දැනී
බුර බුරා නඟිනා
අග්නි ජාලයකි
දැවි දැවී සිත ගිනියම් කරනා
දැවෙනු නොදී සිත
දමනය කළ දා
අමා දමේ රස ගඟුලෙ ගිලී
සැනහෙනු නිසැක ය
මොක් මඟ සුවසේ
සිසිල රැඳී


ධනය

(ලෝකෝපකාරය ඇසුරිනි)

මසුරු අය සතු ධන
පත්කළොත් වෙත යහ දන
වැඩක් ම ය සිදුවන
සමාජයෙ හැම අත ම පැතිරෙන

දුක් නොම විඳ ලැබෙන
සම්පත් ඉතා අඩුවෙන
කෙනකු නසමින් එන
ධනය පිළිකුල් කරති නැණ දන

අධමින් ලබන ධන
පවතිනු නොමැත වැඩි දින
දැහැමෙන් ධන සොයන
විටෙක එය සම්පතකි සුව දෙන

තමුන්ටත් නොම ගෙන
අනුන්ටත් කිසි නොබෙදන
වස්තුව රඳන දන
කුඹුරෙ පඹයන් ලෙසයි හිටවෙන