Print this Article


සැට වයස් සපුරන මයිලගස්තැන්නේ ධම්මපාල නාහිමි

සැට වයස් සපුරන මයිලගස්තැන්නේ ධම්මපාල නාහිමි

බිබිල උයන්තොට බෞද්ධ මධ්‍යස්ථානාධිපති, විශ්‍රාමලත් ගුරු උපදේශක, සියම් මහා නිකායේ ඌව පාර්ශ්වයේ වෙල්ලස්ස දිසාවේ උපප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති මයිලගස්තැන්නේ ධම්මපාල නාහිමිපාණන් වහන්සේගේ සැට වන ජන්ම දිනය මැයි මස 16 වැනි දිනට යෙදී තිබුණි.

වර්ෂ 1962 මැයි මස 16 වන දින මයිලගස්තැන්නේ ගොඩහේන පරපුරේ ඩබ්ලිව්. එම්. හීංබණ්ඩා මැතිතුමාට සහ ආර්. එම්. ලොකුමැණිකා මහත්මියගේ පුත් රුවනක ලෙසින් උපත ලද ධම්මපාල නාහිමිපාණන් වහන්සේ පුස්සැල්ලාව ශ්‍රී ගුණරත්න මුදලින්දාරාමාධිපති, තේරප්පහුවේ සුදස්සි මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයකු වශයෙන් පැවිදි බිමට පත් වූහ.

ගුරු හිමියන්ගේ පා සෙවණෙහි මූලික බණ දහම් හදාරා බදුල්ල විද්‍යොත්තංස පිරුවන, ගාල්ල යටගල රාජමහා විහාරස්ථ හෙට්ඨාචල පිරුවන සහ ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතන පිරුවන ඇසුරෙන් පාරිවේණික අධ්‍යාපනය සම්පූර්ණ කොට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලබා ගත් ධම්මපාල හිමියන් මේ අතර කාලයේ නිසි වයස් සපිරීමෙන් තිඹිරියේ ජිනරතන මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1985 වර්ෂයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

1990 වර්ෂයේ දී බිබිල කොටුවේගංගොඩ කනිටු විදුහලේ සිංහල ගුරුවරයකු ලෙස රජයේ පාසල් ගුරු සේවයට එක් වූ ධර්මපාල හිමියන් බකිණිගහවෙල කනිටු විදුහල, මැදගම ජාතික පාසල යන විද්‍යාස්ථානවල ආචාර්යයන් වහන්සේ නමක වශයෙන් ක්‍රියාකොට බිබිල අධ්‍යාපන කලාපයේ මැදගම කොට්ඨාසයේ බුද්ධ ධර්මය විෂය පිළිබඳ ගුරු උපදේශකවරයෙකු වශයෙන් පත්වීම් ලබා තිස් වසරක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූහ.

ආචාර්යයන් වහන්සේලා අපවත් වීමෙන් පසු මුදලින්දාරාම විහාරස්ථානයේ ආධිපත්‍යයට පත්ව ඒ වන විට මූලික පහසුකමක් වත් නිසි ලෙස නොපැවති විහාරස්ථානය බෞද්ධ මධ්‍යස්ථානය ලෙස නම් කරවා සකලාංග පරිපූර්ණත්වයට පත් කරන ලදහ. විහාරස්ථානයේ විහාරාංග තනවන අතර ම දහම් පාසල, පෙර පාසල ආදිය ආරම්භ කිරීමත්, විහාරස්ථානයට අනුබද්ධ සමිති සමාගම්, ප්‍රදේශයේ ශාසනාරක්ෂක මණ්ඩල, භික්ෂු සංගම් ආදියෙහි කටයුතු සඳහා ද ක්‍රියාකාරීව දායක වූහ.

දඹදිව සිද්ධස්ථාන වන්දනා කිරීමට 2015 වර්ෂයේ දී සම්බන්ධ වූ නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී ලංකා ජනරජයේ අධිකරණ අමාත්‍යාංශය මගින් සාමවිනිසුරු පදවියක් පිරිනමා තිබේ. සියම් මහ නිකායේ ඌව පාර්ශ්වයේ මහා නායක ස්වාමින්ද්‍රවර ප්‍රමුඛ කාරක මහා සංඝසභාව මගින් 2019 වර්ෂයේ දී වෙල්ලස්ස දිසාවේ උපප්‍රධාන සංඝනායක පදවිය පුද දෙන ලදී.

උපතින් සැටවිය සපුරන මයිලගස්තැන්නේ ධම්මපාල නාහිමිපාණන් වහන්සේ හට අශිර්වාද පළ කරනු පිණිස විහාරස්ථ දිනකර ධර්ම විද්‍යාලයේ සංවිධායකත්වයෙන් කාව්‍යමය ධර්ම දේශනාවක් පැවත්වීමට කටයුතු සම්පාදනය කොට තිබුණි. අතිගරු මයිලගස්තැන්නේ ධම්මපාල නාහිමිපාණන් වහන්සේහට විංශත් ශත වර්ෂාධික කාලයක් ලෝක ශාසන සංග්‍රහය පිණිස ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධිසාධනය වේවා'යි ආශිර්වාද කොට සිටිමු