Print this Article


සම්බුදු සසුනට වෙසෙස් මෙහෙවරක් කළ වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධි නාහිමි

සම්බුදු සසුනට වෙසෙස් මෙහෙවරක් කළ වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධි නාහිමි

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී, බූවැලිකඩ ශ්‍රී වර්ධනාරාමය, යටිනුවර ඉළුක්වත්ත ශ්‍රී ලංකා බුද්ධගයා මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති, මහනුවර මල්වතු මහාවිහාරයීය ශ්‍රී සංඝරාජ පිරුවනේ විශ්‍රාමලත් පරිවේණාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධි නාහිමිපාණන් වහන්සේ මැයි මස 14 වැනි දින අපවත් වී වදාළ සේක.

යටිනුවර කඳු පළාත වල්ගොව්වාගොඩ ගම්පතිව සිටි දුනුවිල මුදියන්සේලාගේ කළුබණ්ඩාර නිළමේතුමන්ගේ සහ මාරසිංහ මුදියන්සේලාගේ පහළගෙදර බිසෝමැණිකේ මැතිණියගේ පුත් රුවනක වශයෙන් වර්ෂ 1941 සැප්තැම්බර් මස 17 වැනි දින ටිකිරි බණ්ඩා නමින් උපත ලැබූහ.

වයඹ පළාතේ සත්කෝරළයේ සම්භාවනීය තිස්සව රාජමහා විහාර සඟ පරපුරට අයත් බිහල්පොල දේවරක්ෂිත නාහිමි, මාබෝපිටියේ මේධංකර නාහිමි වැනි සම්භාවනීය නාහිමිවරුන්ගේ ශිෂ්‍ය වූ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී යටිගම්මන විමලඤාණ නාහිමිපාණන් වහන්සේ සහ මෙයියාගොඩ- ඉළුක්වත්ත උභය විහාරාධිපති වල්ගොව්වාගොඩ ජිනරතන මාහිමිපාණන් වහන්සේ වෙතින් 1956 පෙබරවාරි මස 16 වන දින වල්ගොව්වාගොඩ මෙයියාගොඩ පුරාණ විහාරයේ දී පැවිදි බිමට පත්වූහ. විසි වයස් සපිරීමෙන් 1961 වර්ෂයේ දී වල්ගොව්වාගොඩ ජිනරතන මාහිමි, අනුරාධපුර ඉසුරුමුණි රාජමහා විහාරාධිපති ඉසුරුමුණියේ සංඝරක්ඛිත නාහිමි සහ අමෙරිකාවේ

නිව්යෝක් බෞද්ධ විහාරවාසී හිග්ගොඩ ඛේමානන්ද නාහිමියන් ආචාර්ය කොට ගනිමින් මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලැබූහ.

මහනුවර සංඝරාජ පිරුවන, හැරමිටිගල ශාස්ත්‍රාලංකාර පිරුවන, මාලිගාකන්දේ විද්‍යොදය පිරුවන වැනි සුපතළ පාරිවේණස්ථානයන් ඇසුරින් අධ්‍යාපනය ලබා විද්‍යොදය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව ත්‍යාග සහිතව ශාස්ත්‍රවේදී උපාධිය සමත් වූහ. ඉන්දියාවේ බරණැස විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන කටයුතු සිදු කොට පරිවේණාචාර්යයන් වහන්සේ නමක වශයෙන් ඇරඹූ අධ්‍යාපන සේවය නිමා කරන ලද්දේ රත්තේපිටිය සිද්ධාර්ථ පිරුවනෙහි සහ මහනුවර සංඝරාජ පිරුවනෙහි පරිවේණාධිපති වශයෙනි.

අතිපූජ්‍ය සිරිමල්වත්තේ ආනන්ද මහ නාහිමියන් විසින් මල්වතු පාර්ශ්වයේ කාරක සංඝසභික පදවියක් සඳහා වල්ගොව්වාගොඩ විමලබුද්ධි නාහිමියන් ව පත් කරන ලදින් එතැන් සිට මල්වතු මහා විහාරය හා සම්බන්ධ භාරධූර වගකීම් සමුදායක් හොබවන අතර 2008 වසරේ ශ්‍රී දළදා වහන්සේ උදෙසා තේවා කටයුතු සිදු කිරීමට ද භාග්‍යය ලැබීය.

මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී ධුරය හොබවන ලද ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේ 2005 වර්ෂයේ අනුනායක පදවියට පත් වීමෙන් පුරප්පාඩු වූ තත් ලේඛකාධිකාරී පදවිය අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සංඝසභාව මඟින් වල්ගොව්වාගොඩ විමලබුද්ධි නාහිමිපාණන් වහන්සේ වෙත භාර කරන ලදී.

මල්වතු විහාරයේ පෝයමලු ආරාමය ආශ්‍රිතව වල්ගොව්වාගොඩ පන්සල ඉදිකිරීම සහ තමන් වහන්සේගේ ආධිපත්‍යයෙන් පවතින විහාරස්ථාන සංවර්ධනය කිරීම වෙනුවෙන් නාහිමිපාණන් වහන්සේ ගන්නා ලද මෙහෙවර සුවිශේෂී වෙයි. මල්වතු මහා විහාරයේ වැඩ සිටි වයෝවෘද්ධතම නාහිමිපාණන් වහන්සේ වූයේ ද ලේඛකාධිකාරී නාහිමිපාණන් වහන්සේ ය.

2008 වසරේ සිට ගිලන්ව වැඩ සිටි නාහිමිපාණන් වහන්සේ හැකි අයුරින් ශාසනික කටයුතු සඳහා දායකත්වය ලබා දුන් අතර ලේඛකාධිකාරී පදවියේ කටයුතු නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ සුමංගල නාහිමියන් විසින් සිදු කරනු ලැබූහ. අපවත් වී වදාළ වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධි නාහිමිපාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිමු