Print this Article


කස්සක ලෙනෙහි වැඩ විසූ අරියමිත්ත තෙරුන් වහන්සේගේ කතාව

කස්සක ලෙනෙහි වැඩ විසූ අරියමිත්ත තෙරුන් වහන්සේගේ කතාව

පුරාණ ලංකාදීපයේ වැඩ සිටියා අරියමිත්ත කියලා මහතෙර නමක්. කස්සක නම් පර්වතයේ එනමින් ම හැඳින් වූ ලෙනක තමයි වැඩ සිටියේ. පිණ්ඩපාතයට වැඩම කළේ අසල තිබුණු ගමට. ශ්‍රද්ධාවෙන් පිරුණු එක් මවක් සහ දියණියක් ඒ ගමේ සිටියා. පියාගේ වියෝව නිසා පවුලේ ජීවන බර ගෙන යන්න සිදු වුණේ මවට. දියණියට කුලී වැඩක් කිරීමට තරම් වයසක් පිරී තිබුණේ නෑ. බොහෝ ම අමාරුවෙන් ජීවත් වුණත් දන්දීම නම් අතහැරියේ ම නෑ.

තමන්ටත්, දියණියටත් ආහාර නැති වුණත් පිණ්ඩපාතයේ වැඩම කරන තෙරුන් වහන්සේට දන් දෙන්න වේලාව ගණිමින් බලා සිටියා.

තෙරුන් වහන්සේ දිනපතා පිණ්ඩපාතයේ වැඩියේ මේ නිවසට. තෙරුන් වහන්සේ පිණ්ඩපාතය අරගෙන නැවතත් පර්වත ලෙනට වැඩම කිරීම තමයි සිරිත. දවසක් තෙරුන් වහන්සේ වේලාසනින් වැඩම කර නිවස ඉදිරිපිට වැඩ සිටියා.

උපාසිකාව දවසේ කුලී වැඩට යාමට සූදානම් වෙමින් උදේ ආහාරයට කැඳ පිළියෙල කරමිනුයි සිටියේ. තෙරුන් වහන්සේ දැක නිවසට වැඩමවා උන්වහන්සේට ආසන පනවා දී කැඳ ආහාරය පිළිගැන්වූවා. නැවතත් මුළුතැන් ගෙට ගියා. දියණිය අමතා ..පුතේ දවල් කෑමට පලා කොළ දමා හැදූ මේ හුණු සහලේ ඇඹුල් කැඳ මම අරගෙන යන්නම්.

මාපුත් අරියමිත්ත තෙරුන් වහන්සේට දවල් දානය පිළියෙළ කරලා දෙන්න ඕන. මං මැස්ස උඩ තියල තියනවා කැඩුණු වළඳක්. එහි පරණ හාල් ටිකක් ඇති. කිරිත්, හදිස්සියකට ගන්න තියපු ගිතෙලුත්, පැණිත් එතැන ම තියෙනවා. ඒවා අරගෙන බතක් උයලා පිළිගන්වන්න. ඉතිරිවුණොත් ඔයත් ඒවගෙන් ම දවල් වේල පිරිමහගන්න. මම එනකොට අද ගොඩක් රෑවෙයි. අද ටිකක් ඈත වැඩක් තමයි ලැබී තියෙන්නේ,යි පවසා සියලු කටයුතු සැලසුම් කර කැඳ ටිකක් බී තෙරුන් වහන්සේ වැඳ නික්ම යන්න සූදානම් වුණා.

තෙරුන් වහන්සේට මවගේත්, දියණියගේත් කතාබහ කන වැකුණා. ..මහ උපාසිකාව රාත්‍රියේ ඉතිරිවුණු බත් ටිකක් ආහාරයට ගෙන, දවල් කෑමට ඇඹුල් කැඳ ටිකක් අරගෙන යන්නයි මේ සූදානම. බොහෝම අමාරුවෙන් ජීවත් වන බව අදයි හොඳින්ම දැනගත්තේ. මෙතෙක් දවසක් කිසිදු අඩුවක් නැතිව වගෙයි දන් දුන්නේ.

දුක සේ ජීවත් වන මේ දෙන්නා මට දන් දීලා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මම මහෝපාසිකාවගේ පුතෙක් නෙවෙයි. සහෝදරයෙක් හෝ ඥාතියෙක්වත් නෙවෙයි. අසවල්වැසියෙක් හෝ යහළුවෙක්වත් නෙවෙයි. කුඹුරු, වතු පිටි වගා කර ගැනීමට හෝ ගෙවල් දොරවල් පිරිසුදු කර ගැනීමට හෝ අන් කටයුත්තක් සිදු කර ගැනීමට හෝ කිසිදු අපේක්ෂාවක් නෑ.

දිව්‍ය, මනුෂ්‍ය, නිවන්, ත්‍රිවිධ සම්පත් අපේක්ෂාවෙන් ම යි මට මේ දන් දෙන්නේ. මම තවමත් පෘථග්ජනයි. රාග, ද්වේෂ ආදී කෙලෙස් තවමත් තියනවා. කිසිදු මාර්ගඵලයක් ලබා ගෙන නෑ.

අවුරුදු ගණන් උත්සාහ කළත් බැරිවුණා. දුක සේ මේ දෙදෙනා මට දන් දුන්නා. මාර්ගඵල නැතිව තවත් නම් මේ පිරිසගෙන් දන් පිළිගන්නට බෑ ,යි කල්පනා කළා.

පසුම්බියෙන් ඉවතට ගෙන මේසය උඩ තබා තිබුණු පාත්‍රය නැවතත් වහා ම පසුම්බියට දාගත්තා. ..වසර ගණනක් දුක සේ දන් දෙන, අධික ශ්‍රද්ධා සම්පන්න මව්තුමියටත්, දියණියටත් ත්‍රිවිධ සම්පත් ලබා දී මිස නැවතත් මේ නිවසට පිණ්ඩපාතයේ නම් එන්නේ නෑ,යි අධිෂ්ඨාන කරගෙන සිවුර සකසාගෙන කස්සක ලෙනට ම වැඩම කළා. බොහෝ වේලාවක් පයින් ම ගමන් කළා.

කුටියට වැඩම කරන විට ශරීරය දහදියෙන් තෙත් වී තිබුණා. ඒ සිවුර වැලෙහි එල්ලා ශරීරය පිරිසුදු කරගෙන, පාත්‍රය ඇඳ යටින් තබා, භාවනා ආසනයට පැන නැඟී ..මම රහත් වී මිස යළිත් මේ ආසනයෙන් නැඟිටින්නේ නෑ. ඇඳ යට තැබූ පාත්‍රය රහත් වී මිස ගන්නේ නෑ. නිරාහාර ව මිය ගියත් රහත්ඵලය නො ලබා නැඟිටින්නේ නෑ, යි නැවතත් සිත දැඩි කර ගෙන භාවනාවට එළැඹුණා.

බලවත් ස්නේහයක්, කරුණාවක්, අනුකම්පාවක් මහෝපාසිකාව සහ ඇයගේ දියණිය කෙරෙහි ඉපදී තිබුණා. එයම භාවනා කමටහන් ලෙස ගත් තෙරුන් වහන්සේ භාවනාව ආරම්භ කළා.

පැවිද්ද ලබා බොහෝ කලක් භාවනා කරමින් විධිමත් පුහුණුවක් ලබා තිබුණු නිසා පෙරබත් කිසෙහි ම ඒ කියන්නේ උදේ වරුවෙහි දී ම තෙරුන් වහන්සේට උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලබා ගන්න භාග්‍ය උදා වුණා.

තෙරුන් වහන්සේගේ භාවනා කටයුතුත්, ආරක්ෂාවත් තහවුරු කරමින් ලෙන සමීපයේ වැඩ සිටි වෘක්ෂ දේවතාවා අර්හත්ඵලයට පත් තෙරුන් වහන්සේ දැක ..ශ්‍රේෂ්ඨ පුරුෂයාණෙනි, උතුම් පුරුෂයාණෙනි, ඔබ වහන්සේට නමස්කාර වේවා. කෙලෙස් ප්‍රහීණ කළ ඔබ වහන්සේ දැන් දන් පිළිගැනීමට සුදුස්සෙක්. ස්වාමිනි පිඬු පිණිස හැසිරෙන ඔබ වහන්සේ වැනි රහත් උතුමන් වහන්සේට දන් දී මහලු මවත්, දියණියත් දුකින් මිදෙනු ඒකාන්තයි.

ස්වාමීනි, ඔවුන්ට අනුකම්පා කළ මැනව,යි ප්‍රීතියෙන් සාධු කාර දෙමින් ආරාධනා කළා. තෙරුන් වහන්සේත් එය අසා තවමත් පෙරවරු සමය දැයි ලෙනෙන් පිටතට පැමිණ හිරු එළියත්, හිරු බැස යන ආකාරයත් බලා තවමත් පෙරවරු සමයැයි නිශ්චය කර ශ්‍රද්ධාවත් මහෝපාසිකාවටත්, දියණියටත් අනුග්‍රහ පිණිස ඒ නිවසට ම වැඩම කළා.

දියණිය මවගෙන් ලැබුණු උපදෙස් අනුව ගිතෙල් සහ පැණි යොදා සැකසූ කිරිබත් හැලිය තබාගෙන තෙරුන්වහන්සේ වඩින තෙක් පෙර මඟ බලමින් දොරකඩට ම වී බලා සිටියා. උදෑසන කාලය අවසන් වේගෙන යමින් තිබුණා.

ඇය බොහෝ සිත්තැවුල් ඇති කර ගත්තා. තෙරුන් වහන්සේ නැවතත් නො වඩින්නේදැයි සිතමින්. එහෙත් අරියමිත්ත තෙරුන් වහන්සේ දුටු විගසම බොහෝ සතුටට පත් වුණා. උන්වහන්සේගේ දෙපා නමැද පාත්‍රය අතට ගෙන එය කිරිබත්වලින් පුරවා පිළිගන්වා නැවතත් නමස්කාර කළා, උන්වහන්සේත් ..නැඟණිය, ඔබත්, ඔබගේ මවත් දෙදෙනා ම සුවපත් වේවා, නිදුකින් වෙසේවා,යි ආශිර්වාද කර වැඩම කළා.

උදේ වැඩම කළ අවස්ථාවේ දුටු රූපයට වඩා අරියමිත්ත තෙරුන් වහන්සේගේ රූප ශෝභාව බබළමින් තිබුණා. පිරිසුදු ඡවි වර්ණයත්, ප්‍රසන්න ඉන්ද්‍රියනුත් දුටුවා. ඇයට මහත් සතුටක් දැනුණා. මව ගෙදර එන තෙක් නො ඉවසිල්ලෙන් සිටි ඇය පෙරමඟ බලමින් සිට මව පැමිණි විගස ම මිදුලට දුවගෙන ගොස් .

මෑණියනි, ඔබගේ පුත් අරියමිත්ත තෙරුන් වහන්සේගේ රූප ශෝභාව වෙනදාටත් වඩා වැඩියෙන් බබළමින් තිබුණා.

වෙනදාටත් වඩා උන්වහන්සේගේ ඉඳුරන් හරිම සංවරයි. ප්‍රසන්නයි. බලන්න ආශා උපදවනවා,යි උන්වහන්සේගේ විශේෂතා සියල්ල ම කියා සිටියා. අරියමිත්ත තෙරුන් වහන්සේ අර්හත්ඵලයට පැමිණි බව මව එයින් ම අවබෝධ කර ගත්තා. ..මා පුතු සම්බුද්ධ ශාසනයේ කටයුතු මුදුන් පමුණුවා ගත්තා,යි දියණිය අමතා සතුට ප්‍රකාශ කළා යි යන රසවත් කතා පුවතක් මජ්ක්‍ධිම නිකාය අටුවාවේත්, සතිපට්ඨාන විභංගයෙත් සඳහන් වෙනවා.

කොපමණ දුප්පත් වුවත්, දන් දිය යුතු බවත්, දන් පිළිගැනීමේ දී භික්ෂුව දායකයාගේ දෙලොව යහපත පිණිස සහ සම්බුදු සසුනේ පරම ශාන්තිය ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු ය යන්නත් මේ කතා පුවතින් පෙන්වා දෙනවා.

දායකයාත්, භික්ෂුවත් තමන්ගේ කටයුතු සිදු කරන්නේ නම්, ඔවුන් බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්නෝ වෙනවා. එයින් දෙපිරිසට ම අපමණ ප්‍රීතියක් ලබා ගැනීමටත්, ගුණදහමින් පොහොසත් සමාජයක් තවත්වා ගැනීමටත් හැකි වෙනවා.