Print this Article


පින් පව් ගැන නොසිතා වැඩ කරනවා නම් ආදීනව විඳින්නටත් සූදානම් වන්න

පින් පව් ගැන නොසිතා වැඩ කරනවා නම් ආදීනව විඳින්නටත් සූදානම් වන්න

යම් කෙනකුට ප්‍රිය වස්තු යම් ප්‍රමාණයක් වේ ද ඒ හා සමානව ම දුක් ඇතිවන බව ය. යම් කෙනකුට ප්‍රිය වස්තුවක් නැද්ද ඔහුට දුකක් ද නැත.

තමා විසින් ම කරන ලද, තමා කෙරෙන් ම, උපන් තමා තුළින් ම හට ගැනුණු පව ඒ අනුවණ පුද්ගලයා විපතට, දුකට පමුණුවන බව තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

සැවැත් නුවර මහාකාල නම් උපාසකයෙක් විසීය. ඒ උපාසක තෙමේ සෝවාන් ය. ඔහු මසකට දින අටක් පෙහෙවස් සමාදන් විය. නිරතුරුව ම දහම් ඇසුමෙහි ද භාවනා කිරීමෙහි ද යෙදුණේ ය. රාත්‍රියෙහි විහාරයට ගොස් බණ අසා අලුයම් කාලයෙහි මුහුණ කට සෝදා පිරිසුදු වීම සඳහා විහාරය අසල පොකුණට පැමිණෙයි.

ඒ ආකාරයෙන් දිනක් මහාකාල උපාසකතුමා පොකුණට පැමිණෙන විට එදින ම රාත්‍රියෙහි ධනවත් පුද්ගලයකුගේ නිවසක් සොරුන් බිඳ නොයෙක් ධනය පැහැර ගෙන යමින් සිටියහ. යම් හඬක් ඇසී ගෙහිමියෝ පිබිද පරික්ෂා කොට බැලූහ. සොරු පසුපස ලුහු බඳීන්නට වූහ. සොරු තමන් පැහැරගත් බඩු ද රැගෙන පැන ගියහ. එක් සොරෙක් විහාරයට යන මඟ ඔස්සේ දිව ගොස්, පොකුණ අසල කැලයේ සොරාගත් බඩු දමා සැඟවිණි. අලුයම් කාලයේ පොකුණට පැමිණි මහාකාල උපාසක මේ කිසිවක් නොදනී.

සොරු කණ්ඩායම පැන ගිය මඟ ලුහුබැඳ පැමිණි ගෙහිමියෝ, රාත්‍රි බණ අසා උදෑසන පොකුණෙන් මුහුණ සෝදමින් පිරිසුදු වන මහාකාල උපාසකත්, තමන් සතු බඩු භාණ්ඩත් දැක කිපුණහ. “රාත්‍රියෙහි ගෙවල් බිඳ බඩු ගෙනැවිත් දමා තමා සොරෙක් නොවන බව හඟවන්නට විහාර පොකුණෙහි සිටින්නේ දැයි විමසමින් උපාසක අල්ලා ගත්හ. කිසිවක් නො විමසා, පරික්ෂා නොකොට මහාකාල උපාසකව තලා, මරා දමා තම බඩුත් රැගෙන ගෙහිමියෝ ඉවත ගියහ.

උදෑසන කාලයේ විහාරයේ වත් පිළිවෙත් සිදු කොට පැන් ගෙන ඒමට පැමිණි ස්වාමීන් වහන්සේ නමක් පොකුණේ පසෙක මරා දමා සිටි උපාසක දැක දුකට, කම්පාවට පත්ව ඒ බව බුදුරජාණන් වහන්සේට සැළ කළේ ය.

අත්තනාව කතං පාපං
අත්තඡං අත්ත සම්හවං
අභිමත්ථති දුම්මේධං
වජිරං වසම්මයං මණිං

තමා විසින් ම කළා වූ, තමා කෙරෙන් ම උපන්නා වූ, තමාගෙන් ම හට ගත්තා වූ අකුසලය ගලින් උපන් මැණික, දියමන්ති මෙන් අනුවණයා බෙහෙවින් මඬනේ ය.

බුදුරජාණන් වහන්සේ ඒ උපාසකට පෙර කළ පව් පල දුන් ආකාරය වදාළහ.

මහාකාල උපාසක පෙර අත් බවයෙහි කම් සුව සෙවීමෙහි ඇලී රූපවත් වූ තරුණ කාන්තාවක් කෙරෙහි ලොල් වී ඒ කාන්තාවගේ හිමියා මරණයට පත් කළේ ය. එම පාපයෙන් ඒ පුද්ගලයා අපායෙහි පැසෙන්නට විය. අපායෙහි දුක්වින්දත් ඒ පාප කර්මය නො ගෙවුණ හෙයින් ඉපදෙන අත් බව සියයක ම මේ ආකාරයෙන් මරණයට පත්වන බව පැහැදිලි කළ සේක.

තමා විසින් ම කරන ලද, තමා කෙරෙන් ම, උපන් තමා තුළින් ම හට ගැනුණු පව ඒ අනුවණ පුද්ගලයා විපතට, දුකට පමුණුවන බව තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

අප ජීවත්වන සමාජයේ බොහෝ සේ මේ ආකාර වූ සිද්ධීන් දක්නට ලැබේ. පෘතග්ජන සමාජයේ මෙවැනි පාපකර්ම සිදු කරන පුද්ගලයන් තමන්ට අපාගත වී ගෙවන්න සිදුවන පාප කර්මය කෙතරම් බලවත් ද කියා නොසිතන්නේ ය. දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලබා ඇති මෙම අවස්ථාවෙහි එමඟින් ලැබිය හැකි උතුම්ම ඵලය වන දහම් ඇස පාදාගෙන සසර දුකින් මිදීම සඳහා සතර සම්‍යක් ප්‍රධාන වීර්ය පවත්වාගත යුතු බවට නිතර මෙනෙහි කරන්න. පස් පව් දස අකුසල්වලින් මිදෙන්නට යැයි මොනතරම් පැවසුව ද වැඩි පිරිසක් ඒ ගැන නොසිතන්නේ කුමක් නිසා ද? එයට හේතුව නම් දුර්ලභව ලබා ඇති මිනිස් ජීවිතයේ වටිනාකම අවබෝධ කර නො ගැනීමයි. ජීවිතයේ සැබෑව තේරුම් ගන්නට නිතර උත්සාහ කරන්න.

බුදුරජාණන් වහන්සේ ඛුද්දක නිකායේ උදාන පාලියෙහි දී දේශනා කොට වදාළේ යම් කෙනකුට ප්‍රිය වස්තු යම් ප්‍රමාණයක් වේ ද ඒ හා සමානව ම දුක් ඇතිවන බව ය. යම් කෙනකුට ප්‍රිය වස්තුවක් නැද්ද ඔහුට දුකක් ද නැත.