Print this Article


මගේ සීලයේ කැළැලක් නෑ සඳටත් වඩා පිරිසුදුයි

" වස් කාලය අවසන් වුවත් රහත් භාවය තබා මාර්ග ඵලයක්වත් ලබා ගැනීමට මහාසීව තෙරුන් වහන්සේට බැරි වුණා. තුන් මසක් ම ඇඳක පිට නො හොවා දුෂ්කර කාර්යයක යෙදී භාවනා කළත් අපේක්ෂා කළ අරමුණ ඉටු කර ගන්න බැරි වුණා."

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පසු සම්බුද්ධ දේශනාව ලක්දිව පුරා පැතිර ගියා. වෙහෙර විහාර දහස් ගණනක් ඉදිවුණා. රජවරුන්ගේ, මැති ඇමැතිවරුන්ගේ, සැදැහැති දානපතියන්ගේ අනුග්‍රහයෙන් විශාල වෙහෙර විහාර ප්‍රමාණයක් ඉදිවුණා.

රුහුණු රටේ තිස්ස මහා විහාරය එවැනි එකක්. අනුරාධපුර සමයේ තිස්දහසක් භික්ෂූන් වහන්සේ මේ විහාරය ඇසුරු කළා. වැඩ සිටියා. දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය යනාදී ලෙසින් ත්‍රිපිටකය වෙන් වෙන් ව පුහුණු කළ භාණක ආචාර්ය පරපුරක් ද වැඩ සිටියා.

උන්වහන්සේගෙන් සම්බුද්ධ දේශනාව ඉගෙන ගැනීමටයි තිස්දහසක් පමණ භික්ෂූන් වහන්සේ ලක්දිව විවිධ ප්‍රදේශවලින් වැඩම කළේ.

මේ විහාරයේ වැඩ සිටියා තුන්පිටකය ම උගත් මහා තෙරනමක් මහාසීව කියලා. වැඩම කළ තිස්දහසක් භික්ෂූන් වහන්සේ විවිධ අවස්ථාවල රහත් ඵලයට පත් වුණා. ඒ තිස්දහස අතුරෙන් එක් රහතන් වහන්සේ නමක් තමන් වහන්සේ ලැබුවා වූ අර්හත් ඵලයෙහි ප්‍රීතිය වින්දා.

බොහෝ සතුටට පත් වුණා.

දවසක් ගුරුවරයා කෙරෙහි සැක උපදවා.අපගේ මහා ආචාර්යයන් වහන්සේට මා ලැබූ සතුට තිබෙන්නේ දැ,යි කල්පනා කළා. ආචාර්යයන් වහන්සේ රහත් බවට නො පැමිණි බව තහවුරු කර ගත්තා.

මෙවැනි උපායකින් තෙරුන් වහන්සේට කළකිරීම් උපදවා, රහත් නැති බව ඇඟවිය යුතු යි, සිතා දිනක් තිස්ස මහා විහාරයට වැඩම කර මහාසීව ආචාර්යයන් වහන්සේ වෙත එළැඹුණා. වත්පිළිවෙත් ඉටු කළා.

පසුව එකත්පස්ව වැඩ සිට නමස්කාර කර ..ස්වාමිනි, මට අවකාශයක් ලබා දෙන්න. මට තවත් එක් ධර්මපදයක් ඔබ වහන්සේගෙන් ඉගෙන ගැනීමට තිබෙනවා. වෙන කිසිදු ආචාර්යවරයෙක් ඒ ගැන නොදන්නා නිසා විසඳා ගැනීමට වැඩම කළේ,යි පවසා සිටියා.

එ විට ශිෂ්‍යයා අමතා ..ඇවැත්නි, බොහෝ දෙනෙක් දැන් ඉගෙනීම් කරනවා.

පෙරදාටත් වඩා ශිෂ්‍යය භික්ෂූන් වහන්සේ මෙහි වැඩම කරනවා. කාලයක් වෙන් කර ගැනීමට නම් අපහසුයි. එහෙම වුණත් කිසියම් වේලාවක වෙන්කර ගත් කාලයක් ප්‍රමාදයකින් ලැබීමට පුළුවන්. ටිකක් වැඩ ඉන්න. අවස්ථාවක් ලැබුණු වහාම මම ඔබගේ ධර්ම පදය විසඳා දීමට පැමිණෙන්නම්, යැයි පිළිතුරු දුන්නා.

ශිෂ්‍ය තෙරුන් වහන්සේත් ගුරුවරයා කෙරෙහි ඇති අපමණ ගෞරවය නිසා එය ඉවසා සිටියා. ක්‍රමයෙන් පැයෙන් පැය ගොස් දින කිහිපයක් ගත වුණා.

සුදුසු වේලාවක් ලැබුණේ නෑ. දිනක් ගුරුවරයා සමීපයට වැඩම කර ..ස්වාමිනි, මාගේ ධර්ම ගැටලුව විසඳා ගැනීමට දින ගණන් වැඩසිටියත් ඔබ වහන්සේට සුදුසු අවකාශයක් පැමිණියේ ම නෑ. ස්වාමිනි, මෙසේ අවකාශයක් නැති කළ, නුඹ වහන්සේ කරා එන මාරයාට අවසරයක් ලැබෙන්නේද? යි ප්‍රශ්න කළා.

එවිට මහාසීව තෙරුන් වහන්සේ තම ශිෂ්‍යයා ගැන කල්පනා කරන්නේ ..මොහු මා සමීපයට පැමිණියේ කිසිම ධර්ම ගැටලුවක් විසඳා ගැනීමට නම් නෙවෙයි. මට ම කලකිරීම් උපදවා යන්න,යැයි සිතුවා.

එකණෙහි ම ශිෂ්‍ය තෙරුන් වහන්සේ නැවතත් ..ස්වාමිනි, භික්ෂූන් නම් මා වැනි අයම තමයි, පවසා ආචාර්යයන් වහන්සේගේ පා නමස්කාර කර ආලෝකය විහිදුවන නිල්වන් මැණිකක් මෙන් අහසට පැන නැඟී තමන් වහන්සේ වැඩ සිටින විහාරයට ඍද්ධියෙන් ම වැඩම කළා.

මහාසිව තෙරුන් වහන්සේ ඒ මොහොතේ පටන් දැඩි කලකිරීමට පත් වුණා. මගෙන් ධර්මය උගත් ශිෂ්‍යයන් පවා දැන් රහත් බව ලබාගෙන. මම රහත් නැති බවත් ඒ අය දැනගෙන. අද ම විදර්ශනා භාවනාව පටන් ගන්න ඕනෑ. මාරයාට නම් අවකාශයක් ලබා දෙන්නේ ම නෑ, යි සිතා තීරණයකට එළැඹියා.

එදා පෙරවස් සමාදන් වන දිනයක්. බොහෝ තෙරුන් වහන්සේ වනගත සේනාසනවලට සහ ගම්දනව්වල විහාරස්ථානවලට වැඩම කරන්න පටන් ගෙන තිබුණා. මහාසීව තෙරුන්වහන්සේත් ශිෂ්‍ය හිමිවරුන් වැඩම කරන අවස්ථාවෙහි ම පාත්‍ර, සිවුරු ආදිය අරගෙන විහාරයෙන් පිටමං වුණා.

ගම් කිහිපයක් පසුකරමින් වනයක් සමීපයේ පිහිටි පර්වත විහාරයකට වැඩම කළා. අපිරිසුදු වූ ලෙනක් පිරිසුදු කර ගත්තා. අවට පරිසරයත් ඇමදීම් ආදියෙන් සකස් කර ගත්තා. භාවනා කිරීමට ආසනයක් වගේම සක්මන් කිරීමට සක්මන් මලුවකුත් හදා ගත්තා. තෙරුවන් නමස්කාර කර භාවනාව ආරම්භ කළා. රහත් නොවී මිස මගේ පිට ඇඳක නො තබමි,යි දැඩි තීරණයක් ද ගත්තා. අද රහත් වෙමි. අද රහත් වෙමි,යි කියමින්, සිතමින් භාවනා කළා.

වස් කාලය අවසන් වුවත් රහත් භාවය තබා මාර්ග ඵලයක් වත් ලබා ගැනීමට මහාසීව තෙරුන් වහන්සේට බැරි වුණා. තුන් මසක් ම ඇඳක පිට නො හොවා දුෂ්කර කාර්යයක යෙදී භාවනා කළත් අපේක්ෂා කළ අරමුණ ඉටු කර ගන්න බැරි වුණා. උත්සාහය අත්හරින්න නම් මහාසීව තෙරුන් වහන්සේ අකැමැති වුණා.

මහාපවාරණයෙන් වස් කාලය අවසන් කිරීමේ දිනයත් උදා වුණා. පූර්ණ චන්ද්‍රයා අහසේ බබළමින් පායා තිබුණා. ..හෙට දිනයේ වස් පවාරණය කරන්න තියෙන්නේ. තුන් මාසයක් ම ගත වී ගියා. කිසිම මාර්ග ඵලයක් ලබා ගැනීමට බැරිවුණා. කමක් නෑ. මට රහත් බව ලබා ගන්න බැරිවුණා තමයි. ඒත් මම උපසම්පදා වුණ දවසේ ඉදන් මේ වසරට අවුරුදු තිහක් වෙනවා. ඒ තිස් අවුරුද්ද පුරාවට ම මගේ ශීලයට කිසිම කැළැලක් සිදු වී නෑ.

මේ පායලා තියන බබළන හඳ වගේ පිරිසුදුයි. නෑ. මේ හ‍‍‍දේ හාවාගේ සලකුණක් තියන නිසා මගේ සීලය හඳටත් වඩා පිරිසුදුයි, යැයි සිතමින් බොහෝ සතුටට පත් වුණා.

ඒ මොහොතෙහි ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන තිලක්ෂණය ගැන තියුණු නුවණින් කල්පනා කළා. එයම අරමුණු වී සිවුපිළිසිඹියාපත් අර්හත් භාවයට පත් වුණා.

කොතරම් වීර්යය කළත් ඇතැම් අයට රහත් ඵලය ලබා ගැනීමට නොහැකි වෙන බවත්, එහෙත් පුරුදු කළ ගුණය හෝ සීලය අරමුණු කර අර්හත් බව ලබා ගැනීමට හැකි වන බවත් මේ කතා පුවතෙන් උගන්වනවා. එබැවින් අරමුණු සාර්ථක කර ගැනීමට වීර්යයත්, සීලයත් පුහුණු කිරීම වැදගත් වෙනවා.