Print this Article


මිහිඳු මාහිමි දෙසා වදහළ උතුම් සදහම් දේශන

මිහිඳු මාහිමි දෙසා වදහළ උතුම් සදහම් දේශනා

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම වීම ලංකාදීපයෙහි ආර්ථික, සමාජික, සාමයික සෑම ක්ෂේත්‍රයක් තුළම සුවිශාල පෙරළියක් ඇතිකළ උදාර දූත මෙහෙවරකි. උන්වහන්සේගේ වැඩමවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ශත වර්ෂ විසිතුනකට ආසන්න කාලයක් නිර්මල බුදුදහමත් ඒ හා බැඳුණු බෞද්ධ සංස්කෘතික ලක්ෂණත් මේ දක්වා ම ස්ථාපිතව පවතින්නේ ය.

චූලහත්ථිපදෝපම සූත්‍රය

මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම් පියතිස්ස මහරජතුමාගෙන් ප්‍රශ්න කිහිපයක් අසා ඒවාට රජතුමා ලබා දුන් පිළිතුරුවලින් එතුමා ප්‍රඥාවන්තයකු බවත්, බුදුදහම වැනි උතුම් ගැඹුරු දහමක් තේරුම් ගැනීමට තරම් නුවණක් ඇති බවත් දැන ගත්හ. පසුව එම අවස්ථාවේ දී ම රජතුමා ඇතුලු විශාල පිරිසකට චූලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව දේශනා කළහ.

එය තෙරුවන්ගේ අගය, භික්ෂුවකගේ උතුම් පැවත්ම, සීලය, සමාධිය හා ප්‍රඥාව උපදවා ගන්නා අන්දම, චතුස්සත්‍යාවබෝධය ලබා ගැනීම, අරිහත්වය දක්වාම යන ගමන් මඟ විස්තර කෙරෙන අපූර්ව සූත්‍ර දේශනාවකි. එය අසා රජතුමා ඇතුලු විශාල පිරිසක් බුදු දහම වැළඳ ගත්හ. පංචසීලය සමාදන් කිරීම, එහි ඇති වටිනාකම පිළිබඳව කියැවෙන සූත්‍රයක් වශයෙන් ද මෙම චූලහත්ථිපදෝපම සූත්‍රය පෙන්වා දිය හැකි ය.

හොඳ බෞද්ධයකු වන්නේ කෙසේද? තෙරුවන් සරණ යාමෙන් බෞද්ධයකු වන අයුරු, පාපයෙන් වැළකී ක්‍රමයෙන් නිවන කරා යන ගමන් මඟ මෙහි මැනවින් පෙන්වා දෙයි.

අලි ඇතුන්ගෙන් ගහන, රටේ පරිසරය පිළිබඳ මනා අවබෝධයකින්, ඇතුන්ගේ පා සටහන් උපමා කර ගෙන මිනිසුන්ට දහම වටහා ගත හැකි අයුරින් විමුක්තිය ලබා ගන්නා අයුරු විග්‍රහ කරයි.

විමාන වත්ථු හා පේත වත්ථු දේශනාව

පළමු දවසේ මිහිඳු හිමියන් අම්බස්ථල පර්වතයේ ම වාසය කළහ. පසුවදා රජතුමාගේ ආරාධනයෙන් අනුරපුරයට වැඩමවා රජමාළිගාවේ දී දන් පිළිගැන්වූහ. උන්වහන්සේ රජමාලිගාවේ සිටි කාන්තාවන් ඇතුලු බොහෝ දෙනකුට විමාන වත්ථුව හා පේත වත්ථුව මුල් කරගෙන ධර්ම දේශනා කළහ.

පින්කම් කිරීමෙන් ලැබෙන සැප විපාක විමාන වත්ථුවෙනුත්, පව්කම් කිරීමෙන් ලැබෙන දුක් විපාක පේත වත්ථුවෙන් පැහැදිලි කරයි.

පින් පව්, හොඳ නරක, කර්මය හා කර්ම විපාකය කියා දීමෙන් පෘතග්ජන මිනිසා පාපයට බියක් ඇති කර ගනියි, පින්කම්වල යෙදවීමට, හොඳ දේ කිරීමෙන් ලැබෙන හොඳ විපාක පෙන්වා දීමෙන් පුද්ගලයා පවින් වළක්වාගෙන හොඳ දේ කිරීමට පුරුදු කළ හැකි ය.

විමාන වත්ථුවෙහි පින්කම් කළවුන් ඒ ඒ දිව්‍ය විමානවල විඳින සැප සම්පත් පෙන්වා දෙයි. දිව්‍ය විමානවල වර්ණනා මෙහි සඳහන් වේ. පේත වත්ථුවේ කථා වත්ථු පණස් එකක් සඳහන් වේ. මළගිය ඥාතීන් උදෙසා පින් අනුමෝදන් කරවීම ද මෙහි ඉගැන්වෙයි. තමා විසින් සිදු කළ පාපයේ ස්වභාවයට අනුව මිනිසුන් මිය ගොස් ප්‍රේත ලෝකවල විඳින දුක් පෙන්වා දෙයි.

සච්ච සංයුක්තය

උන් වහන්සේ එම ධර්ම දේශනාවන්ගේ අවසානයට සංයුක්ත නිකායේ එන චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන සච්ච සංයුක්තය ද දේශනා කර චතුරාර්ය සත්‍යය ද දේශනා කළහ.

නරක දේ කිරීමෙන්, පාපකාරීව ජීවත්වීමේ ප්‍රතිඵලය වන්නේ දුගතියෙහි ඉපදීමයි. පින් කිරීමෙන් සසර සැපවත් කර ගැනීමටත් සුගතියෙහි ඉපදීමටත්, දිව්‍ය ලෝකවල සැප සම්පත් ලබා ගැනීමටත් හැකි වේ. පින් පව් දෙකම සසර දික් කිරීමටත් සසර පැවැත්මටත් හේතුවෙයි. එම නිසා උන් වහන්සේ මෙම විමාන වත්ථු පේත වත්ථු දේශනා අවසන් කළේ සච්ච සංයුක්තයේ චතුරාර්ය සත්‍යය පිළිබඳ දේශනා පැවැත්වීමෙන් ය. එයින් නිවන පාදක වේ. එම සූත්‍රාවසානයේ දී බොහෝ දෙනා ධර්මාවබෝධය ලබා ගත් බව සඳහන් කර ඇත.

සමචිත්ත පරියාය සූත්‍රය

අදටත් භික්ෂුන් වහන්සේ නමක් ධර්ම දේශනාවට පළමුව දේවතාරාධනාවක් සිදු කරනු ලබයි. එවැනි දේවතාරාධනාවකින් දෙවියන්ට ආරාධනා කොට විශාල දේවතා සමූහයක් මැද විශාල පිරිසකට සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව උන් වහන්සේ විසින් සිදු කළහ. මෙය අංගුත්තර නිකායට අයිති සූත්‍ර දේශනාවකි.

මෙම සූත්‍රයෙහි මුල් කොටස සැරියුත් හිමියන් විසින් ද, අග කොටස බුදුරජාණන් වහන්සේ විසින් ද දේශනා කළහ. භික්ෂුවකගේ සිල්වත් බව හා ධම්ම අනුධම්ම පටිපදාව මෙම සූත්‍රයෙන් උගන්වයි.

භික්ෂුව අල්ප මාත්‍ර වූ වරදෙහි භය දක්නා සුලු කෙනෙක් වෙති. සීලයෙන් යුක්ත වූ පුද්ගලයා ක්‍රමයෙන් රාග ද්වේශ සහ මෝහවලින් හටගත් සංයෝජන ධර්ම ප්‍රහාණය කර ගනියි. මෙම සූත්‍ර දේශනාව අවසානයේ දෙවි මිනිසුන් බොහෝ දෙනෙක් මාර්ගඵල කෙළවර නිවන් අවබෝධ කර ගත් බව විස්තර වෙයි.

දේවදූත සූත්‍රය

මහින්දාගමනය සිදු වී හතරවන දිනයේ දී රජතුමාගේ මඟුල් ඇත්හල පිරිසිදු කරවා එහිදී මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන දේවදූත සූත්‍රය උන්වහන්සේ විසින් දේශනා කළහ. නිරාදුක් පිළිබඳව සිහිපත් කොට මිනිසුන් එයින් මුදවාගෙන කුසලයෙහි පිහිටුවා නිවන් මඟ පෙන්වා දීම මෙම සූත්‍ර දේශනාව තුළින් පෙන්වා දී ඇත.

යම රජතුමා විසින් මිනිස් ලොවට වරින් වර එවන දේවදූතයන් පිළිබඳ අවබෝධයක් ලබා දී නිරයෙහි උපදින සත්වයන් මහා නිරයෙහි ඉපදී විඳින දුක් එකින් එක මෙහි විස්තර කරයි. ලෝක පාලක යම රජු අකුසල කරන්නවුන්ට දෙන දඩුවම් ඉතාමත් භයානක අයුරින් මෙහි දේශනා කර ඇත. අනිත්‍ය, දුක්ඛ, අනත්ත යන ධර්මතාවන්වල යෙදී අකුසලයෙන් වැළකී කුසලය තුළින් සංසාර විමුක්තිය පෙන්වා දීම මෙම සූත්‍ර දේශනාවෙන් ප්‍රකට කරයි.

බාල පණ්ඩිත සූත්‍රය

උන්වහන්සේ මුල් දින කිහිපය තුළ දේශනා කළ හත්වන සූත්‍ර දේශනාව වන්නේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන බාල පණ්ඩිත සූත්‍රයයි. මහමෙවුනාවේ නන්දන වන උයනේ විශාල පිරිසක් මධ්‍යයේ මෙම ධර්ම දේශනාව සිදු කළහ. මෙම සූත්‍ර දේශනාවෙන් අවිද්‍යාවෙන් මුලාවට පත් වූ පුද්ගලයා බොහෝ අකුසල කර්මයන් සිදු කර ගෙන සසර ගමනේ දුක් විඳින අයුරුත්, ඤාණවන්ත පුද්ගලයා හෙවත් සත්පුරුෂ පණ්ඩිත පුද්ගලයා ප්‍රඥාවෙන් කටයුතු කොට පාපයෙන් වැළකී අප්‍රමාදී ව කුසල කර්මයෙහි යෙදී මෙලොව පරලොව ජයගන්නා අයුරුත් පෙන්වා දෙයි. මෙම බාල පණ්ඩිත සූත්‍ර දේශනාව ශ්‍රවණය කොට බොහෝ දෙනා ධර්මාවබෝධය ලබා ගත් බවත් සඳහන් වෙයි.

අනමතග්ග සංයුක්තය

ඊළඟට උන්වහන්සේ දේශනා කළේ අනමතග්ග සංයුක්තය යි. බියකරු සසර ගමන දිනිය යුත්තේ කෙසේදැයි මෙම සූත්‍ර දේශනාවන් තුළින් අවධාරණය කොට ඇත.සියලු දිනීම් පරදවා සසර ගමන දිනීම ශේෂ්ඨ බව උගන්වන සූත්‍ර කිහිපයක් ම මෙම අනමතග්ග සංයුක්තයට ඇතුළත් වේ. අනමතග්ග සංයුක්තය සංයුක්ත නිකායට අයිති කොටසකි.

පුද්ගලයා ඉපදෙමින් මැරෙමින් පැමිණි වාර ගණන ගණන් කළ නොහැකි බවත්, අති දීර්ඝ සසර ගමනකට නෑකම් කියන පිරිසක් බවත් මෙම වග්ගයෙන් කියැවෙයි. ජීවිතය පිළිබඳ ගැඹුරක් නොදත් සත්වයන් සහ පුද්ගලයන් සසර මැරෙමින් උපදිමින් කාලය විනාශ කර දමන අයුරු පැහැදිලි කරයි. මෙම සූත්‍ර විස්සෙන් ම මනුස්ස ආත්මයක් ලබා ගැනීමේ අතිදුෂ්කර බවත්, බුද්ධ ශාසනයේ පිහිට ලබා ගත හැකි මොහොතක ඉපිදී සිටියදී චතුරාර්ය සත්‍යය ධර්ම අවබෝධය සදහා උත්සාහවන්ත විය යුතු බවත් මෙහි අවධාරණය කරයි. මෙම සූත්‍ර දේශනාව අසා දහසක් දෙනා මාර්ග ඵල ලබාගත් බව සඳහන් වෙයි.

අග්ගික්ඛන්ධෝපම සූත්‍රය

අනතුරුව මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කරනු ලැබුවේ අග්ගික්ඛන්ධෝපම සූත්‍ර දේශනාවයි. පිරිසිදු සිල්වත් පැවිදි ජීවිතයක අගය මෙම සූත්‍ර දේශනාවෙන් පෙන්වා දෙයි. මෙම සූත්‍ර දේශනාව ද අංගුත්තර නිකායේ සුත්ත නිපාතයේ සඳහන් වෙයි.

මහා ගිනි කන්දක් උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට පෙන්වා දී ඇත්තේ පංච කාමයන්හි ඇලී ගැලී ජීවත් වීමෙන් එය අපාය ගාමී වීමට හේතුවක් වන බවයි. පස්කම් සැප වැළඳ ගැනීමත්, ලැව් ගින්නේ පිළිස්සීමත් යන දෙකින් වඩාත් බලවත් වනුයේ පස්කම් සැප සේවනය බවත්, ලැව් ගින්නෙන් පිළිස්සී මිය යාම ඊට වඩා සැපවත් වන බවයි.

ප්‍රත්‍ය වේක්ෂාවකින් තොරව සිව්පසය පරිභෝජනය කිරීමෙන් නිම කළ නොහැකි අකුසල රැස් වන බවත් මෙහිදී පෙන්වා දුන්හ. බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනාව දේශනා කිරීමෙන් අනතුරුව බොහෝ භික්ෂූන් වහන්සේ සිවුරු අතහැර ගිය බවත්, පසුව අසුරු සැනක් පමණවත් අන් අයට මෛත්‍රිය කොට සිව්පසය පරිභෝග කරන ලෙස උන්වහන්සේ පෙන්වා දුන්හ.

ආසිවිසෝපම සූත්‍රය

අනතුරුව මිහිඳු මහ රහතන් වහන්සේ නන්දන වන උද්‍යානයේ දී ආසිවිසෝපම සූත්‍ර දේශනාව දේශනා කළහ. මෙම සූතය ද සංයුක්ත නිකායේ මාතුගාම සංයුක්තයට අයිති සූත්‍රයකි. උපමා මඟින් පඤ්චස්ඛන්ධයේ අනිත්‍ය පෙන්වා දෙමින් බුදුදහමේ එන වැදගත් ධර්ම කරුණු විවිධ උපමාවන් ගෙන පෙන්වා දෙමින් කරන ලද පැහැදිලි කිරීම් මෙම සූත්‍ර දේශනාවෙන් සිදුකර ඇත.

කාෂ්ඨමුඛ, ප්‍රතිමුඛ, අග්ගිමුඛ සහ ශස්ත්‍රමුඛ නම් විෂඝෝර සර්පයින් හතර දෙනෙක් තම ශරීරය වෙළාගෙන සිටියි. ඔවුන්ගෙන් එකෙක් හෝ දෂ්ඨ කළොත් මරණය හෝ ඒ හා සමාන මහත් වූ විනාශයක් ම වන්නේ ය. පඨවි, ආපෝ තේජෝ සහ වායෝ යන ධර්ම නයින් හතර දෙනා බවත්, ඔවුන් පෝෂණය කිරීම මහත් අපහසු බවත් එයින් එකක් හෝ කිපීමක් සිදුවුවහොත් එය වේදනාවක් වන අයුරු පෙන්වා දී ඇත.

ඛජ්ජනීය සූත්‍රය

මිහිඳු මහරහතන් වහන්සේ නන්දන වන උයනෙහි දී අනතුරුව දේශනා කොට වදාළේ ඛජ්ජනීය සූත්‍රයයි. සත්ත්වයා, පුද්ගලයා සකස් වී ඇති පංච උපාදානස්ඛන්ධයෙහි යථා ස්වරූපය පිළිබඳ මනා විග්‍රහයක් මෙම සූත්‍ර දේශනාවෙන් පෙන්වා දෙයි. මෙම සූත්‍රය ද සංයුක්ත නිකායේ ඛජ්ජනීය වර්ගයට අයත් දේශනාවකි. රූප. වේදනා සංඥා, සංඛාර සහ විඤ්ඤාණ යන උපාදානස්ඛන්ධ සහ ඒවායෙහි යථාර්ථය පිළිබඳ විවරණයක් මෙම දේශනාවෙන් පෙන්වා දෙයි.

අනිච්ච, දුක්‍ඛ. අනාත්ම බව මෙනෙහි කිරීම ජීවිතයේ යථාවබෝධය සඳහා හේතු වෙයි. පංච උපාදානස්ඛන්ධය පිළිබඳව මනසින් ප්‍රත්‍යවේක්‍ෂා සහගතව සිතීමෙන් ජීවිතය පිළිබඳ ව යථාවබෝධය ලබා ගන්නා අයුරු පෙන්වා දෙන සූත්‍ර ධර්මයකි. යමෙක් මෙලොව සත්‍යාවබෝධය කළේ නම් ඒ හැම දෙනාම පංච උපාදානය පිළිබඳ නුවණින් සලකා බලා සියලු සංස්කාර ධර්මයන්ගේ අනියත බව පසක් කර ගත්හ.

ගෝමය පිණ්ඩූපම සූත්‍රය

පංච උපාදානස්ඛන්ධය ගොම පිඩුවක් සේ දැක ඒවායෙහි මම ය මාගේ ය යැයි කරගත හැකි අන්තභාවයෙන් ගත හැකි කිසිවක් නොමැති බව දැන දැක පසක් කර ගැනීමට උපකාර වන මහඟු සූත්‍ර ධර්මයකි මෙය. මිහිඳු මහරහතන් වහන්සේ හයවන දිනයේ දී නන්දන වන උයනේ දී මෙම ගෝමය පිණ්ඩුපම සූත්‍ර දේශනාව දේශනා කළහ. මෙම සූත්‍ර ධර්මය ද සංයුක්ත නිකායේ පුෂ්ප වග්ගයේ අන්තර්ගත වූවකි. පංච උපාදානස්ඛන්ධය ගොම පිඩකට උපමා කරගෙන දේශනා කළ දේශනාව ගෝමය පිණ්ඩූපම වශයෙන් නම් කර ඇත.

ගොමපිඬුව පිළිකුල් දෙයක් සේ දැක පංච උපාදානස්ඛන්ධය ද මම ය මාගේ ය කර නොගෙන ආර්ය මාර්ගය තුළ ගමන් කරන අයුරු මෙයින් පෙන්වා දී ඇත.

ධම්මචක්කපවත්තන සූත්‍රය

මිහිඳු මහරහතන් වහන්සේ මහමෙවුනාවේ නන්දන වන උයනේ දී සත් වැනි දින මෙම සූත්‍ර දේශනාව දේශනා කළහ. බුදුසසුනේ ඉර හඳ සේ පවතින්නේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවයි. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දී අන්ත අතහැර මධ්‍යම ප්‍රතිපදාව තුළ කටයුතු කිරීමෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත හැකි බව ප්‍රකට කරන බුදුරජාණන් වහන්සේ විසින් බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග තවුසන්ට දේශනා කරන ලද පළමු ධර්ම දේශනාවයි දම්සක් පැවතුම් සූත්‍රය.

මහා අප්පමාද සූත්‍රය

මිහිඳු මහරහතන් වහන්සේ දින විසි හයකට පසුව ඇසළ මස තෙළෙස්වක දිනයෙහි දේවානම්පියතිස්ස මහරජතුමා ඇතුලු පිරිසට මෙම සූත්‍ර දේශනාව සිදු කළහ. අංගුත්තර නිකායේ දසක නිපාතයට අඩංගු සූත්‍ර දේශනාවකි. අපා, දෙපා, චතුෂ්පා, බහුපා යන කකුල් නොමැති , පා දෙකේ , සතර පා ඇති, බොහෝ පාද ඇති අය අතුරෙන් බුදුරජාණන් වහන්සේ ම ශේෂ්ඨ බව පෙන්වමින් යම් කුසලයක් ඇත්නම් ඒ හැම කුසලයකට ම අප්‍රමාදය මුල්වන බව මෙහි දී පෙන්වා දෙයි.

වස්සූපනායිකක්ඛන්ධකය

මිහිඳු මහරහතන් වහන්සේ ඇසළ පුර පසළොස්වක වන දිනට පසු දින මිස්සක පව්වේ වස් වාසය කළහ. දේවානම් පියතිස්ස මහරජතුමාට තමන් වහන්සේ ඇතුලු මහා සංඝයා වහන්සේ මිස්සක පව්වට වැඩම කළේ වස් වැසීමට බව ප්‍රකාශ කළහ.

එතැන දී මහරජතුමා ඇතුලු පිරිසට මෙම වස්සූපනායක ධර්ම දේශනාව දේශනා කළහ.

මෙම දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂුවට වැසි කාලයේ දී වස් විසීමට අනුදැන වදාළ බවත්, එම වස් එළඹීම සිදුකරන අයුරුත්, ඒ හා සම්බන්ධ විනය ප්‍රඤ්ඤප්ති මෙම ඛන්ධකයට ඇතුළත් වෙයි.

මෙම වස්සූපනායිකක්ඛන්ධයකය විනය පිටකයේ මහාවග්ගපාලියේ සඳහන් වන ඛන්ධක දහයෙන් තුන්වන ඛන්ධකය වස්සූපනායිකක්ඛන්ධකයයි.

මෙම ධර්මය ශ්‍රවණය කළ දේවානම් පියතිස්ස මහරජතුමාගේ බෑනා වූ මහා අරිට්ට ඇමතිවරයා පනස්පස් දෙනකුගෙන් යුක්ත පිරිසක් සමඟ පැවිදිවී අරහත් භාවයට පත් වූ බව සඳහන් වේ. භික්ෂූන් වහන්සේගේ විනය හා සම්බන්ධ ප්‍රඤ්ඤප්තින්ගෙන් මෙම ධර්ම විස්තරය සම්පූර්ණ වේ.

සසුනේ අනාගත චිරස්ථිතිය සඳහා ධර්මයෙන් අංග සම්පූර්ණ, නොසැලෙන, ශක්තිමත්, පදනමක් දමා ඇති ආකාරය මිහිඳු හිමි ධර්ම දේශනා දෙස බලන කළ පසක් කරගත හැකි ය.

ලංකාදීපය තුළ සම්බුද්ධ ශාසනයත්, තදනුබද්ධ හර පද්ධතීන් සහ බෞද්ධ සංස්කෘතියත් ඒකාබද්ධව වසර දහස් ගණනක් පුරා මේ දක්වා ම පවතින්නේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් සිදු කරන ලද දූරදර්ශී වැඩ පිළිවෙළ නිසා බව පෙන්වා දිය හැකි ය.