Print this Article


අවබෝධයෙන් පිවිසිය යුතු ආර්ය මාවත

අවබෝධයෙන් පිවිසිය යුතු ආර්ය මාවත

අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටිය කාලයේ ජානුස්සෝණි කියලා බ්‍රාහ්මණයෙක් සිටියා. මේ ජානුස්සෝණි බමුණාට මුණ ගැහුණා පිලෝතික කියන පරිබ්‍රාජකයා.

එතැන දී මේ දෙන්නා සතුටු සාමීචියේ කතා කළා. “පින්වත් පිලෝතික පරිබ්‍රාජකය, ඔබ මේ මධ්‍යාහ්න වේලාවේ කොහේ ඉඳලද එන්නේ.” ‘මම බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා එන ගමන්” “ පරිබ්‍රාජකය, ශ්‍රමණ භවත් ගෞතමයන් පාණ්ඩිත්‍යය කෙනෙක්ද?” පින්වත් බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ නුවණ ගැන මම කොහොම දැනගන්න ද? හැබැයි යම්කිසි කෙනෙක් උන්වහන්සේගේ නුවණ ගැන දැන ගන්නවා නම් ඒ තැනැත්තාත් ඒ වගේම නුවණ ඇති කෙනෙක් වෙන්ට ඕනෑ”

එවිට ජානුස්සෝණි අහනවා ඔබ“ශ්‍රමණ භවත් ගෞතමයන්ට බොහොම ප්‍රශංසා කරනවා. හේතුව කුමක්ද?” කියා

පිලෝතික මෙසේ කිව්වා. “ඒ බුදුරජාණන් වහන්සේට මම කොහොම ප්‍රශංසා කරන්න ද? මම ඒ සඳහා කොයි ආකාරයෙන් සමර්ථයෙක් වෙන්න ද? දෙවි මිනිසුන් සහිත සියලු ලෝකවාසීන්ට උතුම් වූ උන්වහන්සේ සර්වලෝක ප්‍රශස්ත යි. ඒවගේම අනන්ත ගුණ මහිමයෙන් යුක්ත යි.

පින්වත් ජානුස්සෝණි බ්‍රාහ්මණය, ඇතුන් වාසය කරන වනාන්තරයක හැසිරෙන කෙනෙක් දිග, පළල ඇත් පාදයක සටහනක් දැකලා මේ පියවර සටහන අයිති හස්තියා මහා හස්තියෙක් ය කියා දැන ගන්නවා ද? අන්න ඒ වගේ මමත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ පවතින කාරණා හතරක් දැන ගත්තා. ඒ අනුව මම තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මයන් තමන්ගේ ම ඥාණයෙන් අවබෝධ කළ බව, තමන් වහන්සේ ම නුවණින් ප්‍රත්‍යක්ෂ කරපු බව.

එසේ පරිබ්‍රාජකයා බුදු ගුණ වර්නා කරන කොට ජානුස්සෝණි බමුණා පී‍්‍රතියෙන් අතිශයින් ප්‍රබෝධවත් වුණා. තමන් එතෙක් වාඩිවෙලා හිටපු රථයෙන් බැස්සා. උතුරු සලුව සකස් කර පොරවා ගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දෙව්රම් විහාරය දෙසට හැරී ඇදිලි බැඳ නමස්කාර කළා. පී‍්‍රති වාක්‍ය පළ කළා.

එක දවසක් මේ ජානුස්සෝණි බමුණා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දෙව්රම් විහාරයට ගොස් වන්දනා කොට පිලෝතික පරිබ්‍රාජකයාත්, තමන් අතර වූ සාකච්ඡාව කියා හිටියා. ඒ වේලාවේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“බ්‍රාහ්මණය ,හස්ති ශිල්පය ඉතාමත් හොඳට දන්න දක්ෂ වූ ඇතුන් හික්මවන්නෙක් ඇතුන් වාසය කරන වනාන්තරයකට යනවා. ඒ අවස්ථාවේ දී දික්වූ ද, පළල්වූ ද, ඇත් පියවරයක් දකිනවා. ඒ ඇත් පාද සටහන දැක ඒ දක්ෂ ඇතුන් හික්මවන්නා මේ ඇත් පියවර මහා ඇතකුගේ කියා. නිගමනයකට, තීරණයකට පැමිණෙන්නේ නෑ. එයට හේතුව මේකයි. වනාන්තරයේ ඉන්නවා. ඊට වඩා විශාල පාද තියෙන වාමනීකා කියන ඇතින්නියන් කොටසක්.

ඊළඟට බ්‍රාහ්මණය, නියම විශාල හස්තියා ගැන දැනගන්න, ඔහු පියවර බල බලා තවත් ඉදිරියට යනවා මෙහෙම යන දක්ෂ ඇතුන් හික්මවන්නාට හමුවනවා උච්චාකාලාරික කියන හස්තියා. තවත් ඉදිරියට යන විට හමුවනවා උස ගස්වල ඇඟ මැදපු අතුවලට දළ වලින් ඇන තිබෙන සළකුණු. මේ මහා අතෙකු කළ සළකුණක් ය කියා සිතනවා.

පිලෝතික පරිබ්බ්‍රාජක බුදුරජාණන් වහන්සේ තුළ පිහිටි ඔහු හඳුනාගත් ඥාන පද සතර පමණි, ජානුස්සෝණි බ්‍රාහ්මණයා හට පැවසුවේ.

පිලෝතික පරිබ්බ්‍රාජක පැවසු ඇත් පියවර උපමාව අසම්පූර්ණ බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ එය සම්පූර්ණ කොට ජානුස්සෝණි බ්‍රාහ්මණයාට දේශනා කළ සේක. චතුපාරිශුද්ධ ශීලය පිරීම, නීවරණ ප්‍රාහණය. ධ්‍යාන අභිඥා උපදවා ගැනීම, පුබ්බේනිවාසානුස්සති, චුතූපපාත ,ආසවක්ඛය ඥාන ලැබීම, චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම අරහත් භාවයට පැමිණීම, යන ලෝකෝත්තර ආර්ය මාර්ගයෙහි එක් එක් පියවර බුදුරජාණන් වහන්සේ විසින් සවිස්තරව දේශනා කරන ලදී. මෙම තත්ත්වයට පත් උත්තමයා හඳුනා ගැනීම පරිපූර්ණ නිෂ්ඨාව ලෙස අවසාන වශයෙන් ප්‍රකට කරන ලදී.

ඒ වගේම බ්‍රාහ්මණය, ඒ ශ්‍රමණ තෙම ආර්ය සීලක්ඛන්ධයෙන් යුක්ත යි. තමාගේ ජීවිතය නිවැරැදි ප්‍රතිපත්තියෙන් යුතුව ගෙන යන නිසා නිවරද්‍ය වූ සැපයක් අනුභව කරනවා. චක්ඛු, සොත, ඝාන, ජිව්හා , කාය කියන පංච ඉන්ද්‍රියයන් සංවර කරගෙන ඒ ඉන්ද්‍රියයන්ට ගොදුරුවන, රූප ශබ්ද, ගන්ධ , රස, ස්පර්ශ කියන අරමුණුවලට ලොල් නොවී නිරාමිස සැපයක් විඳිනවා.

බුදුරජාණන් වහන්සේ තවදුරටත් ඒ භික්ෂුවගේ සම්‍යග් ප්‍රතිපදාවන් ගැන බමුණාට ප්‍රකාශ කර වදාරනවා. බ්‍රාහ්මණය, ඒ භික්ෂුව යාම් ඊම්, ඉඳීම්, සිටීම් ආදී ඒ ඒ ඉරියව් වලදී සිහියෙන් යුක්තව නුවණින් යුක්තව ක්‍රියා කරනවා. සීල විසුද්ධිය ඇති කර ගන්නවා. ජන සම්බාධයෙන් හෙවත් ජනයා ගැවසීමෙන් තොර විවේක සේනාසනයක් ම යි. ඒ භික්ෂුව සොයා ගන්නේ. එසේ වාසය කරන්නා වූ මේ ශ්‍රමණ තෙමේ උපන්නා වූ කෙලෙස් දුරු කරල සිත පිරිසුදු කරගන්න උත්සාහ ගන්නවා.

බ්‍රාහ්මණය, මාගේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති පිළිගත් ඒ භික්ෂුව කෙලෙස් දුරු කර ගන්නේ මේ විදියට යි. කියා බුදුහාමුදුරුවො විස්තර කර වදාළා. චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව.

එය ඇසීමෙන් පසු දේවානම්පියතිස්ස රජතුමන් ප්‍රමුඛ, පිරිසට ගමන් කළ යුතු ආර්ය මාර්ගය කුමක් ද? එම මාර්ගයෙහි ගමන් කරන නියම ශ්‍රමණ ජීවිතය කෙබඳු විය යුතු ද යනු මැනවින් වටහා ගැනීමට හැකිවිය. මෙම ධර්ම දේශනාව අවසානයේ රජතුමන් ප්‍රමුඛ සතළිස් දහසක් පිරිස තිසරණ සරණ ගිය උපාසක පිරිසක් බවට පත් වුණා.