Print this Article


යුගාන්ධකාරය දුරුකරවමින් පායා ආ රන් හිරුමඬල බුදුරජාණන් වහන්සේ

කල්ප ගණනක් පුරාවට සංසාරය නැමැති නුබකුස වසා පැතිර ගිය මෝහය නම් වූ යුගාන්ධකාරය දුරුකරවමින් පායා ආ රන් හිරුමඬල මහා ගෞතම බුදුරජාණෝ ය.

ඒ සිරිමත් සිදුහත් භගවතාණෝ පැහැබර වෙසක් සඳේ සිහිලසින් මිහිලිය සිහිල් වන පින්බර දිනෙක මෙත් කරුණා සලිලයෙන් දනමන නිවාලමින් මිහිමත පහළ වූහ.

දසලක්ෂයක් ලෝධා සලිත කරවමින් අසමසම සම්බුදු පදවිය ලැබූහ. පුරා පන්සාළිස් වසරක් සිදුකොට වදාළ පස් බුදුකිස නිමවා අපමණ සත්වගක් දුකින් මුදවා සංසාර සරණියෙන් සමුගත් සේක.

එදින අදින් සහස්‍ර දෙකහමාරකට පෙර උදා වූ වෙසක් පුන් පොහෝ දිනයකි. ජලතල සහිත මුළු පොළෝ කුස පස් පියුමින් වැසී ගියේ ය. ගස් වැල් තුරු ගොමු මලින් භරිත විය. මල් වියනකින් අහස් කුස වැසෙද්දී තරු රාශි පිරිවැරූ හිරු - සඳු වඩාත් සිහිල් වී එකවිට මුදුන් විය. පරසතු මදාරා දිවමල් බිම හෙළමින් සාධු නාද නංවන දෙව් බඹුන්ගෙන් හා දිව්‍යමය පසඟතුරු ඝෝෂාවෙන් ගගනෝදරය ඇළලී ගියේ ය. සියොත් බමර සමුළුවක් වූ සුපුෂ්පිත ලුම්බිණි සාල වනපෙත දිව්‍යමය සුගන්ධයකින් යුතු මන්ද මාරුතයකින් සාන්තව සලිත විය.

දෙව්ලියන් පිරිවැරූ දෙවඟනක් නදුන් උයනට පිවිසෙන්නාක් විලසින් උත්තම රූ සොභා ඇති මායාව උයන් සිරි විඳිමින් සල් තුරු අතරින් වැඩම කොට එක් සුවිසල් සල් ගසක් මුල නතර වූවා ය. බෝසත් පුතු මිහිමත සිරිපා පිහිටුවීමට සැරසෙන බව මායාවට දැනී ගියේ ය. වටතිර ඇද පිළිසන් වූ දේවිය වෙත අරහත්තක බ්‍රහ්මරාජවරු සතර දෙනෙක් පැමිණ රන් දැලක් සතර කොනින් අල්ලා සිටියහ. ධර්ම කථිකයකු ධර්මාසනයෙන් බසින්නාක් මෙන් බෝසත් පුතු සිරිපා දිගුකොට රන් දැලට වැඩම කළහ. අනතුරුව සතරවරම් දෙවිරජුන්ගේ මංගල සම්මත අඳුන් දිවි සමට වැඩි බෝසත් කුමරු ඉන් ඉක්බිතිව රාජකීයයන් විසින් දුකූල වස්ත්‍රයෙන් පිළිගන්නා ලදී. අවසානයේ සිරිපා පොඩි මිහිමත පිහිට වූ මොහොතේ බොල් පොළොව පලා නැඟී රත්පියුම් සමූහයෙහි සිරිපා පිහිටවූහ.

දසදිගින් නැගෙන සාධු නාද හා පසඟතුරු නාදයට මුහු වූ තුති ගී ගැයෙන විට දසදිශා ලෝකනය කළ බෝසතාණෝ උතුරු දිශාවට සත්පද වීතිහාරයකින් වැඩම කළහ. මිහිකත ගුගුරා රාව ප්‍රතිරාව නැංවීය. දකුණු ශ්‍රී හස්තය අහසට ඔසවා මොළකැටි සිරිමුවමඬල විවර කළ බෝසත් පුතු “මම ලොවට අග්‍ර වෙමි” ආදී සිංහ නාදයක් නැංවූහ.

එදා පටන් පුරා වර්ෂ තිස්පහක් ගෙවී ගිය පසු නැවතත් වෙසක් සොමි සඳමඬල උදාවන අසිරිමත් දිනය උදාවිය. පුරා විසිනව වසරක් ගෙවූ රාජ සුකුමාල ජීවිතය, අතහැර දැමූ සිද්ධාර්ථයන් වහන්සේ තපෝවනයට වැඩම කළහ. හඬන - වැළපෙන ලෝකයට අස්වැසිලිදායක විමුක්ති මාවත සොයනු වස් පුරා සය වසක් ආත්ම ක්ලමථනයෙන් යුතුව අනුගමනය කළ, ඇසෙන විටත් බිය ගෙන දෙන අතිශය දුෂ්කර තපෝ ක්‍රමයන් හැර දමා මධ්‍යම ප්‍රතිපදා මාවතට අවතීර්ණ වූහ.

“මෙම හේතුව ඇති කල්හි මෙම ඵලය වේ - මෙම හේතුව නොමැති කල්හි මෙම ඵලය නොවේ” යන හේතුඵල විමර්ශන ඤාණ ගවේෂණයෙන් යුතු සබුද්ධික චින්තනය මඟින් සත්‍යාවබෝධයෙහි මාවත විවර විය. යහපත් දැක්ම හා ආත්ම පාරිශුද්ධියත්, යහපත් වචන සහ ක්‍රියාවන්ගෙන් පිරිසුදු දිවිපැවැත්මත් ඇතිව පව් තවන වීර්යය හා සිහියෙන් යුක්තව ලබන යහපත් චිත්තේකාග්‍රතාව වෙත යොමු වූ මහා බෝසතාණෝ නේරඤ්ජරා ගඟබඩ වූ අස්සත්ථ බෝධි මණ්ඩලය වෙත වැඩම කළහ. සුජාතා සිටු කුමරිය පිදු ක්ෂීරපායාසය වළඳා සොත්ථිය බමුණාගෙන් ලද කුසතණ අතුරා විදුරසුන්හි වැඩහිඳ පස්මරුන් පරයා අසමසම සම්බුදු පදවිය ලැබූ සේක්, වෙසක් දිනෙක සංසාර චක්‍රයේ අර සිඳලමින් විද්‍යා විමුක්තිය සාක්ෂාත් කළහ. එනම් ලොව අසමසම බුදු පදවිය ලදහ.

සත්ත්වයන්ගේ නෙතු තෙත් කළ කඳුළ වෙනුවට හසරැල්ලත්, ක්‍රෝධ - කෝප - ආවේග - පීඩාවන් වෙනුවට මෛත්‍රිය - කරුණාව - ඉවසීම හා අතහැරීමත් මත පදනම් වූ නිෂ්කාමී අකාමුක ජීවිතයත් මායාව හා මුළාව වෙනුවට අව්‍යාජත්වයෙන් සුන්දර වූ හුදෙකලාවත් භජනය කළ ඒ මුනිරජහු සදහම් අම මිහිරෙන් කැලතුණ, සත්‍යාවබෝධයෙන් රසගැන්වුණ ශාන්ති මාවත ලෝ සතුන් උදෙසා නොමසුරුව විවර කළහ.

ඉසිපතන මිගදාය නැමති ආමන්ත්‍රණ භූමියේ දී දෙවිමිනිස් ප්‍රජාව වෙත විවර වූ සදහම් අමා දොරින් ගැලූ ඒ ශාන්ති ධාරාව හදවතින් හදවත, යුගයෙන් යුගයට, මිහිරට මිහිරක් ම විය. සිසිලට සිසිලක් ම විය. රාග විරාගයට, මද නිම්මදනයනට, පිපාස විනයනයට අමා ඔසුවක් ම විය.

පස්වග තාපසවරුන් ඇතුලු දහඅට කෝටියක් දෙව්බඹ ප්‍රජාවක් විශුද්ධ වූ විමුක්තියෙහි පිහිටුවා විවර කළ ප්‍රතිසෝතගාමී ක්ෂේම නිම්නයෙන් අසරණ දෙවි මිනිසුන්ගේ හද මැදුරු වෙත අමා වතුරක් ගලා ගියේ ය.

කුලය, පරම්පරාව, වත්පෝසත්කම, සමාජ තත්ත්වය වැනි ලෞකික සාධක නොසලකා පෙර කළ පින් ඇති බව සලකා දම් දෙසූ ඒ මුනිරජුන් පුරා සතළිස් පස් අවුරුද්දක් මිහිමත වැඩ සිටි සේක. අවම වශයෙන් කෝටි ලක්ෂයක්වත් සක්වලට පැතිර යන සම්බුද්ධ රාජ්‍යය පිහිටුවා මිනිස් නොමිනිස් අපමණ පිරිසක් සසර සයුරෙන් ගොඩ කරවූහ.

රජමැදුරට මෙන්ම දුගී පැලටත් සමසිතින් වැඩම කළ මහා ගෞතම මුනිරජුන්ගේ පිහිට ලැබූ කප්පින, පුක්කුසාති, පච්චය, බිම්සර, කොසොල් ආදී රජ දරුවෝ ද, සෝණදණ්ඩ, අම්බරට්ඨ, කූටදත්ත ආදී බ්‍රාහ්මණවරු ද, අනාථපිණ්ඩික, චිත්ත ආදී ගෘහපති වරු ද, යශෝධරා, ප්‍රජාපති, විශාකා, ඛේමා, උප්පලවණ්ණා ආදී කුමාරිකාවෝ ද, සක්ක, සුප්පබුද්ධ, පටාචාරා, සුනීත, සෝපාක ආදී අසරණයෝ ද, අංගුලිමාල, අජාතසත්තු ආදී සාහසිකයෝ ද, කන්ථක, ධනපාල, පාරිල්‍යෙයක, නන්දෝපනන්ද ආදී තීර්ශ්චානයෝ ද, ආලවක, සුචිරෝම, බරරෝම යක්ෂයෝ ද, ආදරණීය හදවත් ඇති, ප්‍රේමණීය මෘදු මොළොක් ළය මඬුලු ඇතියන් බවට පත්වූහ.

පන්සාළිස් වසරක සදහම් චාරිකාව නිමවා මහා ගෞතම දම් රජාණෝ වෙසක් දිනෙක සවස් භාගයෙහි කුසිනාරාවේ උපවත්තන සාල වනය වෙත වැඩම කළහ. අසිරිමත් පාරමී ගමනක අවසාන නිශායම උදාවිය. මල හිරු බැස ගියේ ය. මළානික වෙසක් සඳ උදා විය. සරාහින්ගේ නෙතු අගින් වෑහෙන කඳුලු ධාරාවන්ගෙන් නෙතු සඟල රක්ත විය. විරාගීන්ගේ හදවතෙහි දහම් සංවේගය පහළ විය. අනන්ත දෙවිබඹහු ශෝ ගී ප්‍රකාශ කළහ.

“මහණෙනි, අවසන් වතාවට නුඹ අමතමි. හටගත් සියල්ල නැසෙන සුලු ය. අප්‍රමාදී ව කුසල් දහම් සම්පාදනය කොට නිවන් දකින්න” යන අවසන් බුදු වදන නිකුත් විය. අභිනීල නෙතු පියාගත් ඒ දම්රජුන්ගේ කාරුණික හදමඬල සදහට ම නතර විය. පහන් සිලක් නිවුණ සේ පිරිනිවන් වැඩ සැනසුණහ.

ඒ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසීය තිස් හයකට පසු අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළහ. ඒ අදවන් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනෙක ය. සිරි ලක්දිව ධර්ම රාජ්‍යයක් බවට පරිවර්තනය වූයේ ඒ උතුම් මහින්දාගමනයත් සමඟ ය.