Print this Article


හැම දෙන රැස්වුණා අම්බස්තලාවට

හැම දෙන රැස්වුණා අම්බස්තලාවට

පොසොන් පෝය දා පෙර සිරිලංකාවේ
එදා රජුන් මිගසෙන් පසු පස දිව්වේ
හුදු සතුටමයි මහ නිරිඳුන් ඉන් සෙව්වේ
සැණකෙළි සමරන්න මුව කැළ දිවි නැසුවේ

තිස්ස රජුන් හා සෙන් මිස්සක අරණේ
සැණකෙළි සිනා සයුරේ මොනවට ගිලුණේ
අසරණ මුව කැළගෙ ජීවිතයයි නැසුණේ
අනුබුදු බණෙනි සිරිලක දන මන දැමුණේ

දුහු හි විසිවුණා මහ ගන කැලෑවට
නැණ මල් පෑදුණා සම්බුදු බණ වෙතට
රජු පෙරටුව තබාගෙන තෙරුවන් පුදට
හැම දෙන රැස්වුණා අම්බස්තලාවට

සිරිමුවඟින් නැඟුණු සදහම් අමිල මිණී
මිහිඳු සමිඳු දෙසුවේ හද දයාවෙනි
පස් පව් නතර වුණි ධර්මය පතළ වුණි
මුළු ලෝකයේ සිරිලක දම්දීපේ වුණි

සදහම් නිසා ජන හදවත නිති හැදුණා
බුදු බණ පද නිබඳ ජන සිත තුළ රැඳුණා
ඉසි කෝ මාන උල්කටු බල ඉන් සිඳුණා
දෙව්ලෝ සිරිය සිරිලක අප හට දැනුණා

යහගුණ කියාදී මිනිසත් දම් පෙව්ව
දැයකට මඟ කිව්ව තුඟු මිස්සක පව්ව
හෙළිකොට නැවත අනුකම්පාවෙන් යුතුව
සදහම් දියෙන් ජනහද සනසනු මැනව

උතුම් මිනිස්දම් සිරිලක වල් වැදිලා
සමිඳුන් කියා දුන් බණ අමතක වීලා
පස්පව් නිසා සුන්දර රට වැනසීලා
ලක්විල සුදිලේවා සදහම් මල් පිපිලා