Print this Article


සාඩම්බර අතීතයේ පාඩම් වර්තමානයට ප්‍රායෝගික කර ගනිම

සාඩම්බර අතීතයේ පාඩම් වර්තමානයට ප්‍රායෝගික කර ගනිමු

මහින්දාගමනය මෙරට ඉතිහාසයෙහි සුවිශේෂී සන්ධිස්ථානයකි. ලාංකික සමාජය තුළ ආගමික, සාමාජික, ආර්ථික හා සංස්කෘතික වශයෙන් සිදු වූ වෙනස අවිවාදාත්මක ය.

ගසට පොත්තත්, පොත්තට ගසත් මෙන් සිංහල ජාතිය හා බුදුදහම එකට වෙළාගත් අයුරු ඉතිහාසය තුළින් දැකගත හැකි ය. මේ ආකාරයෙන් ශ්‍රී ලංකා ජනතාව තම අනන්‍යතාව ලොවට පෙන්නුම් කළ අදීන ජාතියක් බවට පත්විය.

මිහිඳු හිමියෝ ශ්‍රී ලාංකික ජනතාවගේ ඇවැතුම් පැවැතුම් හා සිත් සතන් නිවැරැදි ව හඳුනාගෙන ධර්ම දේශනා කළ උත්තමයෙකි. උන්වහන්සේ දේශනා කළ ධර්මය අනුගමනය කිරීම ශ්‍රී ලාංකිකයන්ට දුෂ්කර කාර්යයක් නොවීය.

ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් කිරීමට වඩා උන්වහන්සේගේ අවධානය යොමු වූයේ මිනිසාගේ දෛනික ජීවිතය හැඩගැස්වීමටයි.

අකුසල් පැත්තෙන් ඉවත්කර කුසල් පැත්තට යොමුකරලීමත්, ඒ තුළින් අන්‍යයන්ට හිරිහැරයක්, කරදරයක් නොවන ආකාරයට තම ජීවිතය නිවැරැදි මගකට යොමුකර සැනසිලිදායක. සුවදායක ප්‍රජාවක් බිහිකරලීමත් තමන්වහන්සේ දේශිත, ධර්මයෙහි අරමුණ විය.

රටක් නිවැරැදි මඟට යොමුකරලීමට නම් ඒ රටේ පාලකයා ආදර්ශ සම්පන්න විය යුතු ය.

මිහිඳු හිමියන් මුලින්ම කළේ රටේ පාලකයා නිවැරැදි පුද්ගලයකු බවට පත්කරලීමට අවශ්‍ය මඟ පෙන්වා දීමයි. එනම් පන්සිල් සුරකින පාලකයකු රට තුළ ඇතිකර ලීමයි.

යක්ෂ, නාග වශයෙන් මෙරට පැවැති ගෝත්‍ර බේද මිහිඳු හිමියන්ගේ ආගමනයත් සමඟ වෙන්වී සමඟි සම්පන්න සමාජයකට මඟ පෑදිණි.

දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව වැනි වටිනා උතුම් ගුණධර්මයන් තුළින් සමාජය තුළ තිබිය යුතු සමානාත්මතාවය තවතවත් වර්ධනය වූ අතර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණයන් ක්‍රියාත්මක කිරීම තුළින් ගැටුම්වලින් තොරව අන්‍යෝන්‍ය පි‍්‍රයශීලි සබඳතාව ගොඩනංවන සමාජයක් ඇතිවූ බව පෙන්වා දෙන්නට පුළුවන.

මිහිඳු හිමියන් වැඩම වීමෙන් සිදුවූ උදාරම මෙහෙය නම් මිනිසාගේ පිබිදීමේ සිට රාත්‍රී නින්දට යන තෙක් මුළු දවසම බෞද්ධ දින චරියාවකට අනුව සැකසෙමින් තමන් ගැන මෙන් ම අනුන් ගැනත් සිතන සහනශීලි දිනයක් ගත කිරීමට මඟ පාදා දීමයි.

උපතේ සිට මරණය දක්වා වූ සෑම කාර්යයක දී ම බුදුදහම පදනම් වූ සමාජයක අඩිතාලම වැටුණේ මහින්දාගමනයත් සමඟ ය. ගමත්, පන්සලත් වැවත්, දාගැබත් මෙරට ප්‍රෞඪත්වයේ සංකේතයන් ය.

මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජුට දුන් උපදෙස් අතර “මහරජ, ඔබ මේ පොළොවේ අයිතිකරුවා නොව ආරක්ෂකයා ය.” යන්න යි. හැම පැතිකඩකින් ම රට ආරක්ෂා කිරීම මෙයින් අදහස් කරයි. මිනිසා හා සත්වයා. ආරක්ෂා කරන අතර, රටේ සම්පත් ද ආරක්ෂා කළ යුතු ය. මේ උතුම් පාඨය අපේ සියලු ක්‍රියාකාරකම් හි දී සිහිතබා ගත යුත්තකි.

හිංසාවකින් තොරව ජීවත් විය යුතුය යන්න මහින්දා ගමනයත් සමඟම අපට ලැබුණු මූලිකම පාඩමකි.

හිංසාකාරී ක්‍රියාකාරිත්වයෙන් වෙන් ව අවිහිංසා සිතිවිලි හා හැඟීම් කුඩා කල සිට ම අපේ ළමා ලෝකයට ප්‍රවිෂ්ට කිරීම ගැන වැඩිහිටි ඔබ සැම විශේෂයෙන් සැලකිලිමත්වීම යුග අවශ්‍යතාවයක් වනු ඇත.

මේවායේ ඇති දුර්විපාක වේදනාත්මක ප්‍රතිඵල ගැන සිතා මෙවැනි හිංසක ක්‍රියාකාරකම් වලින් ඉවත්වීමට සිතයි නම් එය එක්තරා අතකින් මිහිඳු හිමියන් වෙත පුදකරන සුවිශේෂී ගෞරවයක් ලෙස අපි දකිමු.

අනුරාධපුරය, මිහින්තලය ආදී පෞරාණික ස්ථාන නැරඹීමට යන බොහෝ දෙනා එය විනෝද චාරිකාවක ලෙස යොදාගෙන ඇති බව පෙනේ.

මත්පැන් පානය කරමින්, විවිධ සංගීත භාණ්ඩ වාදනය කරමින්, කාමුක හැඟීම් අවුස්සන ගීත ගායනා කරමින් සිදුවන අශෝභන, අසංවර ගමන් විලාසය මිහිඳු හිමියන් මහත් කැපවීමෙන් අප වෙත ලබා දුන්, ඒ ශ්‍රේෂ්ඨ දායාදයට අවමානයක් කරනවානේ දැයි සිතිය යුතු ය.

අප අතින් සිදුවන වැරැදි අවබෝධ කරගෙන ඒවායින් දුරස් වීමට අධිෂ්ඨාන කරගත යුතු ය. මිහිඳු හිමියන් ලබා දුන් පණිවිඩය අපගේ සිතුම් පැතුම් හා ක්‍රියාකාරකම් තුළ නොමැතිනම් මිහිඳු හිමි සැමරීමේ ඇති ප්‍රතිඵලය කුමක් ද?

මිහිඳු හිමියන් ලක්දිවට වැඩමවීමෙන් පසුව අප රට තුළ සිදුවූ ගෘහ නිර්මාණ ශිල්පය හා කලා කෘති ගැන ද අප කල්පනා කළ යුතු ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීමේ දී පැමිණි අටලොස් කුලයක ශිල්පීන් නිසා මෙරට කැටයම්, මූර්ති, චිත්‍ර. ගෘහ නිර්මාණය, වාරිකර්මාන්ත ආදි විවිධ ක්ෂේත්‍රවල ශිල්පීය දැනුම වර්ධනය වූ අයුරු දැක ගන්නට පුළුවන.

හැඩි දැඩි කළු ගලෙන් කරුණාව, දයාව, මූර්තිමත් කරන බුද්ධ ප්‍රතිමා මෙන්ම, සියුම් කැටයමෙන් අලංකෘත බෞද්ධ දර්ශනය ප්‍රකට කරන සඳකඩපහණ, කලානිර්මාණවලින් ඔපවත් වූ පොකුණුවැනි නිර්මාණ ද බිහිවිය.

මහා සමුද්‍ර වැනි විශාල වැව්, ඇල දොල, ගංගා මේ සියල්ල ශ්‍රී ලාංකිකයාගේ ශක්තිමත් දෑතින් නිර්මාණය වූ ඒවාය. එදා ඉදිකරනු ලැබූ චෛත්‍යයන් ද, ලෝවාමහා ප්‍රාසාදය වැනි විශිෂ්ට නිර්මාණයන් ද සීගිරි සිතුවම් වැනි නිර්මාණයන් ද අපට මහත් ආඩම්බරයකි.

බොහෝ රටවල ඒ රටේ අනන්‍යතාව සුරකිමින් නිර්මාණ කටයුතු කරන බව දැකගත හැකියි. නමුත් අපේ රටේ ගෘහ නිර්මාණ ශීල්පීන් කී දෙනෙක් ඒ පැරැණි අද්විතීය නිර්මාණවලින් ආදර්ශයක් ලබා ගන්නවා ද? මේ ගැනත් සිතිය යුතුව ඇත.

කෘෂිකර්මාන්තය දෙස බැලුවත් ඊට අදාළ වාරිකර්මාන්ත දෙස බැලුවත් දියුණු මට්ටමකට මේවා පත්ව ඇත්තේ මහින්දාගමනයෙන් පසුව ය.

උට්ඨාන වීර්යයෙන් යුක්තව ඉර උදාවීමට පෙරම කුඹුරට බසින ගොවියා ඇළ – දොළ, ගංගා වැව් අමුණු ආශි‍්‍රතව කටයුතු කළ නිසාම රට ආහාරයෙන් ස්වයංපෝෂිත විය. එදා සිටියේ දහඩිය වගුරවමින් වැඩකරන ජනතාවකි. අද බොහෝ දෙනා කම්මැලිය. අලස ය. නිකරුණේ කාලය කා දමති.

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ දඹදිවින් වැඩම කළ බෝධි වෘක්ෂය තුළින් මෙරටට මොනතරම් මෙහෙයක් ඉටුවී ඇත්ද? වෘක්ෂ වන්දනාවට හුරු පුරුදු වූ ශී‍්‍ර ලාංකිකයා ඉතා ඉක්මණින් බෝධිය වටා එක් රොක් වූහ.

අනුරාධපුර පුණ්‍ය භූමිය මුල් කර ගෙන එදා සිදුකළ සියලු නිර්මාණ පරිසරය සංරක්ෂණය වන අයුරින් සිදුකළ බව ඉතා පැහැදිලිය. මිහිඳු මාහිමියන් සිහිපත් කිරීම යනු එදා සාඩම්බර අතීතය දෙස නැවැත හැරී බැලීම ලෙස අපි දකිමු.