Print this Article


මිස්සක පව්වෙන් ගලා ගිය අමා සදහම් ගඟුල

මිස්සක පව්වෙන් ගලා ගිය අමා සදහම් ගඟුල

දඹදිව බින්දුසාර රජ පුත්, අශෝක, කුමාර අවධියේ පටන්ම රණශූරයෙකි. ස්වකීය යෞවන කාලයේ ම තක්සලා නුවර හටගත් කැරැල්ලක් කුමාරයෝ සාර්ථකව මැඩලූහ. කුමරු යුද්ධයෙහි පෑ බුහුටි බව දැක ප්‍රසාදයට පත් පිය රජතුමා විසින් අශෝක කුමාරයෝ උදේනි නුවර යුවරාජ පදවියට පත්කරනු ලැබූහ.

බින්දුසාර රජතුමාගේ ඇවෑමෙන් රජකම පිණිස ස්වකීය සහෝදරයන් හා සටනට වැදී අශෝක යුවරාජ තෙමේ සොහොයුරන් මරා රජ පදවියට පත් වූයේ ය. ඉක්බිතිවැ තම පිය රජතුමා සහ මුත්තණු චන්ද්‍රගුප්ත අනුව ගිය අශෝක නරේන්ද්‍රයාණෝ බලය පා අසල රාජ්‍යයන් තම රාජ්‍යයට ඈඳා ගත්හ.

රජුගේ මේ චණ්ඩ ගති සොබා නිසාත්, සිහසුන සඳහා සොහොයුරන් මැරූ නිසාත් භාරතීය ජනයා අතර හෙතෙම චණ්ඩාශෝක නම් විය. රජතුමා කාලිංග රට සිය අණසක යටතට ගැනීමට කළ කාලිංග යුද්ධය ඉතාම බිහිසුණු වූවකි. මහා ජන සංහාරයේ දහස් සංඛ්‍යාත මළකඳන් ද, පොළොව තෙත් කළ රුධිර ගංගාව ද, අත්පා සිඳීමෙන් අසරණ වූවෝ ද දැක අශෝක හද සන්තානය සන්තාපයෙන් බරවැ සැලුණේ ය. පශ්චාත්තාපව හුන් මහ රජතුමාගේ කැළඹුණු මනසට සන්සුන් ගමනින් මහ මඟ වඩින නිග්‍රෝධ සාමණේර දසුන මහා ශාන්තියක් ගෙන දුන්නේ ය. චිත්ත ප්‍රසාදයට පත් නිරිඳාණෝ රාජපුරුෂයකු අත පණිවුඩ යවා සාමණේරයන් වහන්සේ රජ මැඳුරට වැඩමවා, සුදුසු තැන වඩා හිඳුවා, දන්පැන් පිළිගන්වා උන්වහන්සේ හා පිළිසඳර කථාවේ යෙදුණාහ.

රජුට දහම් මඟ කියාදීමට මේ සුදුසු ම අවස්ථාව බව දත් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ රජ සිත දහම් මඟට යොමුකළ සේක. අනූපමේය මහා ශාසනික මෙහෙයක් ලෝසතහට අත්කරදීමට අවැසි සන්තානගත පරිවර්තනයේ මූලබීජ අශෝක හද සන්තානයේ රෝපණය කළෝ වයසින් කුඩා වූ, ආධ්‍යාත්මයෙන් වෘද්ධ වූ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ය.

උන්වහන්සේගේ දැමුණු ඉඳුරන්ගෙන් යුතුවූ පිය දසුන ද, පිය තෙපුළ ද, චණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් කළේ ය. ශාසනමාමක මහා උපාසකයකු බිහිකළේ ය.

“මහ රජතුමනි, සැබෑ ජය නම් රාජ්‍යයන් ජයගැනීම නොව ස්ව සන්තානය ජය ගැනීම ය. නුමුළා සිතින් ධර්මයේ අප්‍රමාදි වීමය. එවැන්නෝ නොමියෙති. යනුවෙන් තථාගත සම්බුදු වදන සාමණේරයන් වහන්සේ මහ රජතුමාට සිහි ගැන්වූහ.

සදහම් මඟ තබා සදහම් මඟ යමින් රටම ලේ විලක් කළ රුදුරු යුද්ධයෙහි, මනුෂ්‍ය ඝාතනයෙහි නිසරු බව පසක් කරගත් මහ නිරිඳාණෝ දිග්විජය හැරදා ධර්මවිජය පිළිවෙතෙහි යුහුසුළු වූහ. ජෛන ආගමිකයකු වූ එතුමා තිසරණයෙහි පිහිටා පන්සිල් සමාදන් වැ බෞද්ධ උපාසකයකු වූයේ ය. තුනුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති කරගත් මෙතුමාණෝ ශ්‍රී සද්ධර්මය මැනවින් ප්‍රගුණ කළහ.

“සියලු රටවැසියෝ මාගේ දරුවෝ ය. මගේම දරුවන් කෙරෙහි මෙන් ඒ සැමගේ මෙලොවෙහි මෙන්ම එලොවෙහි ද යහපත සැලසීමට මම කැමැත්තෙමි.”

“මුළු ලොවට හිත වැඩ සැලසීම මට අයත් කටයුත්ත කොට සලකමි. ලොවට හිත වැඩ කිරීමට වඩා වටිනා අන් යුතුකමක් නැති බැවිනි.”

යනුවෙන් කළ ප්‍රකාශ තුළින් මහ රජතුමා බුදුදහමින් ලැබූ ආලෝකය මනාව පිළිබිඹු වෙයි. අශෝක අධිරාජයාගේ සන්තාන පරිවර්තනය මහා ධර්ම සංගායනාවකින් ශාසන ශුද්ධියකට ද, ලෝතලය සිසාරා සදහම් හඬ පතුරාලීමේ උත්කෘෂ්ට ධර්ම ප්‍රචාරක ව්‍යාපෘතියකට ද, අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකිරීමට ද වශයෙන් මහා ශාසනික අභිවෘද්ධියකට හේතුභූත විය. දම්සෝ මහ නිරිඳුන්ගේ රාජානුග්‍රහයෙන් මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ ප්‍රධාන දහසක් රහතන් වහන්සේගේ සහභාගිත්වයෙන් පැළලුප්නුවර අශෝකරාමයේ දී සිදු කළ තුන්වැනි ධර්ම සංගීතිය, ලාභ සත්කාර අරමුණින් ම සසුනේ පැවිදි වූවත් වළකාලීමට ද සසුනේ චිර පැවැත්ම ට ද, ශ්‍රී සද්ධර්මය ලොව දස දෙස ප්‍රචළිත කිරීමට ද මහෝපකාරි විය.

අශෝක මහරජතුමාගේ ධර්ම ප්‍රචාරක සේවාවේ මහඟු ප්‍රතිඵලයකි, ලක්දිව බුදුසමය පිහිටුවීම. සිරිලකට සපැමිණි ධර්මදූත පිරිසේ මූලිකත්වය දැරූවෝ ධර්මාශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ ය. ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, තෙරවරුන්ගෙන් ද, සුමන සාමණේරයන් වහන්සේගෙන් සහ භණ්ඩුක උපාසකගෙන් ධර්මදූත කණ්ඩායම සමන්විත විය.

මිස්සක පව්වට වැඩමවා සිටි මිහිඳු මහරහතන් වහන්සේ තිස්ස රජු අමතා

“සමණාමයං මහා රාජ – ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා”

“මහරජතුමනි, අපි ධර්මරාජ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පාවෙන් දඹදිව සිට පැමිණියෙමු” යනුවෙන් තමන් වහන්සේ ප්‍රමුඛ පිරිස රජතුමාට හඳුන්වා දුන්හ. ඉක්බිතිව පිළිසඳර කථා නිමවා සුප්‍රකට අඹ පැනය, ඥාති පැනය, ආදියෙන් රජුගේ නැණ විමසා බුද්ධිය දැන ප්‍රසාදයට පත් මිහිඳු මහ රහතන් වහන්සේ චුල්ලහත්ථි පදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. තම අත රැඳි දුනු හී ඉවතලූ මහ රජාණෝ ද, හතළිස් දහසක පිරිවර ද, තිසරණයෙහි පිහිටා පංචශීලය සමාදන් වැ උපාසකයෝ වූහ.

එදා සිරිලක් දීපයට පෑයු පොසොන් සඳින් ලක්දිව සත්වගට ආලෝකය උදාවිය. ඉන් සම්මා ආජීවයෙන් සිරිලක් ජන දිවිය සැරසිණි. පංචශීලයෙන් සුසිල්වත්වැ සමාජ හිතකාමි ධාර්මික දිවිපෙවෙතකින් ජීවිතය රැක ගැනීමට හෙළයෝ පුරුදු වූහ. ලෝකයා නසන ආයුධ වෙළඳාමෙන් ඔවුහු වැළකුණහ. මිනිස්කමට නිගාදෙන වහල් වෙළෙඳාම ඔවුහු පිටු දැක්කාහ. මෙත් සුතුරෙන් ආභාෂය ලත් හෙළ බොදු ජනයා එනිනෙකා හා දයාවෙන් බැඳුණාහ. කරුණා මෛත්‍රි සිතිවිල්ලෙන් එකිනෙකාට උපකාරවත්ව දිවිගෙවූහ. සතාසීපාවට ද කරුණාවෙන් සැලකූහ.

මස් පිණිස සත්ත්ව වෙළෙඳාම ඔවුහු පිළිකුල් කළහ. ප්‍රඥාව හීන කරන, සිහිය මොට කරන මත්වන දෑ විකිණීමට ද ප්‍රාණියකු නසන වස විෂ වෙළෙඳාම ද අත්හළ හෙළයෝ සම්මා ආජීවයෙන් දැහැමි ජීවනෝපායෙන් යුතු වූහ.

ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් යුතුව කල්‍යාණ මිත්‍රත්වයෙන් එකිනෙකා සමඟි දමින් බැඳුණහ.

ගිහිපැවිදි උතුමනට එදා හෙළයෝ අත්‍යාදර ගෞරව පෙරදැරිව වැඳුම් පිදුම් කළහ. පවුලට, සමාජයට කළ යුතු යුතුකම් යනාදිය මැනවින් ඉටුකිරීමට ද, ධාර්මික සරල සුන්දර දිවිපෙවෙතකට ද සිඟාලෝවාද, මංගල, වසල, ව්‍යග්ඝපජ්ජාදි සම්බුදු දේශනා මහෝපකාරි විය.

මෙවන් ආකාරයෙන් සිරිලක් සමාජය ප්‍රභාවත්වැ හෙළි පෙහෙළි වූයේ ද, මිථ්‍යා ගන තිමිර පටලින් වැසුණු දේශයට සත්‍යයේ අරුණාලෝකය පතිත වූයේ ද, පොසොන් සදහම් සොමිකැන් ලක්දෙරණ සිප ගත්තේ ද, පොසොන් පුන් පොහෝ දිනක දී ය. ජාතියට ප්‍රඥාවේ ආලෝකය එදින උදාවුණි.

මිහිඳු මහරහතන් වහන්සේ අභියස පංචශීලය, සමාදන් වූ හතළිස්දාහක අපේ මුතුන්මිත්තෝ තම පණමෙන් පන්සිල් රැක්කහ. පස්පව් පිළිකෙව් කළහ. ගොවිතැන් බතින් දිවි සරි කර ගත්හ. සම්මා ආජීවයෙන් ජීවිතය ජය ගත්තහ. කෙතෙන් බඩ වියතත්, දාගැබෙන් ආධ්‍යාත්මික ඉගැන්වීම් පරමාදර්ශි සමාජ සංස්ථාවකට මඟ පෑදුනු ආකාරය සිරිලක් සමාජ සංස්ථාවෙන් විද්‍යමාන විය.

අහස්කුස නැඟුණු උස් දාගැබ් සේ ම සිරිලක් වැසි දනන්ගේ උතුම් මිනිස්කම් ද එලෙසින් ම උස්විය.

මට කියන්නකෝ, අනෙකාගේ දාහය මහන්සිය සරතැස උදෙසා ගිමන් නිවා ගැනීමට අම්බලම් හදන ලෝකයේ වෙන රටක්. මට කියන්නකො අනෙකාගේ පවස, පිපාසය නිවන්නට පිංතාලිය තබන වෙනත් රටක්.

මට කියන්නකො අනෙකාගේ කුසගිනි නිවන්නට මෙතරම් දන්සල් ඉදිවන වෙනත් රටක්.

මේ සත්පුරුෂ හදවත ඔප මට්ටම් කරන්නට බුදුන් වහන්සේගේ පණිවුඩය මෙහි රැගෙන වැඩි මිහිඳු මහ රහතන් වහන්සේගේ ඉගැන්වීම් මහෝපකාරි විය.

උතුම් මිනිස්කමින් දන මන බැන්දූ රන්හුය, රන්දම බුදුදහම යි. මිනිසා ගැන පමණක් නොව සතා සීපාවා ගැන ද අපේ ඇත්තෝ වෙසෙසින් සිතූහ. සැබෑ ලෙසම තිරසාර සෞභාග්‍යය යනු ආර්ථිකය, සමඟින් ම සංස්කෘතික, සාමාජීය දේශපාලන යන මේ සෑම ක්ෂේත්‍රයකම වෘද්ධිය යි. තර්ක රහිත ,අවිවාදිත, සැබෑවක් ම කියමි. එනම් අංග සම්පූර්ණ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක්, උත්කෘෂ්ට සභ්‍යත්වයක්, පරමාදර්ශි සංස්කෘතියක් සහජීවනයෙන් බැඳුණු තිරසාර සමෘද්ධියක්, මිස්සක පව්වෙන් පැන නැඟි සදහම් අමා ගඟුලින් සිරිලක් මාතාවට දායාද වූ බව යි.

ඒ වූ කලි වචනයෙන් කිවනොහැකි තරම් වූ වටිනාකම් සම්භාරයකි. අමිල ධන නිධානයකි. වටිනාකම තක්සේරු කළ නොහැකි ඒ මහාර්ඝ වස්තුවෙන් අද්‍යතන ලක්වැසි ජනතාව විපුලඵල නෙළා ගත්තේ ද යන්න විමසිය යුතු කරුණකි.

මේ ඉරහඳ තාරකා යට දුටු දුටු දනන්ගේ නෙත් සිත් පැහැර ගන්නා මිහි පිට සුරපුරය සිරිලංකා ද්වීපය පවතින කල් එදා මිස්සක පව්වෙන් පැන නැඟි සදහම් ගඟුලේ සිසිලසින් ලක්දෙරණ මනුසත් හද රැඳි සත්පුරුෂ ගති සොබා කිසිවිට වියැකී නොයනු ඇත. සියලු සත්වග සදහම් ගඟුලේ සිසිලෙන් සැනසෙත්වා!