Print this Article


හෙළදිව ධර්මද්වීපයක් කළ අසිරිමත් පොසොන් පෝදා

හෙළදිව ධර්මද්වීපයක් කළ අසිරිමත් පොසොන් පෝදා

ධර්මාශෝක අධිරාජයා

මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව ධර්මාශෝක අධිරාජයාගේත් වේදිසා දේවියගේත් පුතණුවන් ය. මෞර්ය රාජ්‍ය වංශයේ ආරම්භකයා වූ චන්ද්‍රගුප්ත රජුගේ මුණුපුරකු වූ අශෝක බින්දුසාර රජුගේ පුත්‍රයා ය. අශෝක රාජ්‍යත්වයට පත් වන්නේ බින්දුසාර රජුගේ ඇවෑමෙන් පසුවය. මෙම මෞර්ය රාජ්‍ය වංශයේ රාජ්‍ය ප්‍රතිපත්තිය වූයේ දිග් විජය රට තුළ ක්‍රියාත්මක කරවීමයි. එනම් මිනිසුන් තලා පෙළා රාජ්‍ය සීමාවෙන් පිටස්තර දේශයන් ද ස්වකීය අණසකට ගැනීමයි.

අශෝක අනුගමනය කළේ ද එම ප්‍රතිපත්තිය මය. අශෝක රජු ක්‍රියාත්මක කළ දිග් විජය ව්‍යාපාරයේ බිහිසුණුම අවස්ථාව කාලිංගග දේශය යටත් කර ගැනීම සඳහා කළ කාලිංග යුද්ධයයි. එයින් ජයගත් හෙතෙම මුළු මහත් දඹදිවට ම අධිරාජයා බවට පත් විය. ජනතාවට දැඩි විපත් ගෙනදෙමින් සිදු කළ එම පීඩාකාරී පාලන රටාව හමුවේ අශෝක රජුට චණ්ඩාශෝක යන නමක් ද පටබැඳුණේ ය.

ලෝක ඉතිහාසයෙහි බොහෝ පාලකයෝ තමන් ලැබූ යුදමය ජයග්‍රහණ මත උදම් වනු මිස සිදු කළ අපරාධවල බිහිසුණු බවක් නොදකිති. එහෙත් එයට වඩා හාත්පසින්ම වෙනස් ස්වරූපයක් අශෝක චරිතය තුළින් පිළිබිඹු කෙරිණි. යුදමය ජයග්‍රහණයත් සමඟම බලවත් මානසික පීඩාවෙන් යුතුව කල් ගෙවූ අශෝක අධිරාජයා එය සමනය කර ගැනීම පිණිස විවිධ ආගම්වල පිළිසරණ පැතී ය. එහෙත් ඒ එක ද ඉගැන්වීමකින්වත් පලක් නො වීය. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැක පැහැදී “අප්පමාදො අමතපදං.....” යනාදී ධම්මපද ගාථාව මුල්කරගත් කෙටි ධර්මාවවාදයක් ලැබීමෙන් පසුව රජුගේ මානසික පීඩාව දුරුව ගියේ ය. අශෝක යුද සේනාව අතින් අශෝක රජුගේ සොහොයුරන් ද ඝාතනයට ලක්වුණි. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ යනු එසේ ඝාතනයට පත් එක් සොහොයුරෙකු ගේ පුත්‍ර රත්නයකි.

එදා තෙරුවන් සරණ ගොස් සැදැහැති බෞද්ධ මහෝපාසකයෙකු වූ අශෝක අධිරාජයා එතැන් පටන් සියලු සත්ත්ව වර්ගයා කෙරෙහි කරුණාව, දයාව, මෛත්‍රිය පැතිරවීය. දිග් විජය සපුරාම අත්හළ අතර ඒ වෙනුවට ධර්ම විජය ස්වකීය රාජ්‍ය පාලන ක්‍රමවේදය බවට පත්කර ගත්තේ ය. බුදුරදුන් වදාළ සක්විතිවන එලෙසින් ම අනුගමනය කළ එතුමා එතැන් පටන් “ධර්මාශෝක අධිරාජයා” බවට පත් විය.

මිහිඳු මා හිමි

එවකට ශාසනයෙහි ප්‍රධානත්වය දැරුවේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ය. උන්වහන්සේ හමුවට ගිය ධර්මාශෝක අධිරාජයා තමා දැන් ශාසනයෙහි උරුමකරුවෙකු දැයි විමසී ය. එයට උන්වහන්සේ දුන් පිළිතුර වූයේ ශාසනයෙහි ඤාතිත්වය ලැබීමට නම් තම දරුවෙකු සසුන්ගත කළ යුතු බව ය. මෙම අදහස මහරජු සිය වැඩිමහලු දරු දෙදෙනාට ඉදිරිපත් කළේ ය. එය ක්‍රියාත්මක කිරීමට ඔවුහු නොපැකිලිව ඉදිරිපත් වූහ. ධර්මාශෝක අධිරාජයාගේ රාජ්‍යත්වයෙන් සය වැනි වසරේ දී මහින්ද හා සංඝමිත්තා යන දරු දෙදෙනා පැවිදි වූහ. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ මිහිඳු මාහිමිගේ උපාධ්‍යායන් වහන්සේ වූ අතර මහාදේව මහරහතන් වහන්සේ ආචාර්යවරයාණන් වහන්සේ වූහ. උපතින් විසි වැනි වියේ දී ප්‍රව්‍රජ්‍යාභාවයට පත් මිහිඳු මාහිමියෝ නොබෝ කලෙකින්ම සිව්පිළිසිඹියාපත් රහතන් වහන්සේ නමක් බවට පත් වූහ.

තෙවැනි ධර්ම සංගායනාව

ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218 කට පසුව පැලලුප් නුවර අශෝකාරාමයේ දී තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වුණි. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ මෙහි ප්‍රධානත්වය දැරූ අතර මහරහතන් වහන්සේලා දහස’ නමක් සහභාගි වූහ. ධර්මාශෝක අධිරාජයා ප්‍රධාන දායකත්වය දැරීය. ධර්මාශෝක අධිරාජයා සැදැහැවත් බෞද්ධයෙකු බවට පත්ව බුදු දහමටත්, භික්ෂූන් වහන්සේලාටත් මහත් සේ අනුග්‍රහය දැක්වීම නිසා මිථ්‍යා දෘෂ්ටික අන්‍ය ලබ්ධිකයන්ගේ තත්ත්වය දිනෙන් දිනම පිරිහීමට පත් විය. එබැවින් ඔවුහු බුදු දහමට එරෙහිව දැඩි විරෝධතා ගෙන ගියහ. ඒ සමඟම ඔවුන්තර කොටසක් ජීවිකාව සඳහා සසුන් ගත වූහ. ඔවුන ගේ නොමනා හැසිරීම් රටාව නිසා බුදු සසුන ද අනුක්‍රමයෙන් කිලිටිව ගියේ ය. ශ්‍රමණ වේශධාරී මෙවන් මිථ්‍යා දෘෂ්ටිකයන් ගෙන් සසුන බේරා ගැනීමට මහතෙරවරුන් වහන්සේලා නොපැකිලිව ගත් උත්සාහයක් ලෙස තෙවැනි ධර්ම සංගායනාව හඳුන්වා දිය හැකි ය. එසේම මෙමඟින් ගත් තවත් දූරදර්ශී තීරණයක් නම් එතෙක් දඹදිව සීමිත ප්‍රදේශයක පමණක් පැවැති බුදු දහම එවකට දැන සිටි රටවල් නවයකට ධර්ම දූතයන් මාර්ගයෙන් ප්‍රචාරය කොට හැරීමයි. ස්වකීය පුත්‍ර වූ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් ම මෙරටට පිටත්කොට හැරීමෙන් පැහැදිලි වනුයේ ධර්මාශෝක අධිරාජයා ලක්දිව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කල බවයි.

දූත පිරිසෙහි සම්ප්‍රාප්තිය

දඹදිව වේදිසගිරි නුවරින් ලක්දිව අනුරාධපුරයේ මිහින්තලයට සැපත් දූත පිරිසට එහි දී දේවානම්පියතිස්ස මහරජු මුණ ගැසුණි. මිහිඳු මහරහතන් වහන්සේ මහරජුට ස්වකීය දූත පිරිස මෙසේ හඳුන්වා දුන්හ.

සමණාමයං මහාරාජ
ධම්මරාජස්ස සාවකා
තමෙව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා

මහරජතුමනි, ශ්‍රමණයන් වන අපි ධර්මරාජයාණන් වූ බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයෝ වෙමු. නුඹලාට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු.

බණ ඇසුමට මහ පිරිවර

ඉක්බිති මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස මහරජු පිළිබඳ විධිමත් බුද්ධි පරීක්ෂණයක් සිදු කළහ. අඹ පැනය හා නෑ පැනය ආදිය මුල් කරගෙන සිදු කළ එම බුද්ධි පරීක්ෂණයෙන් පසු දේවානම්පියත්සිස මහ රජු මනා බුද්ධිමතෙකු බව මිහිඳු මාහිමියනට අවබෝධ විය.

අනතුරුව පිරිස් සහිත මහ රජුට තෙරුවන් පිළිබඳවත් බෞද්ධ චින්තනය පිළිබඳවත් හඳුන්වාදීමට චුල්ල හත්ථිපදෝපම සූත්‍රය දේශයා කළේ ය. දේශනාවසානයෙහි මහරජු ප්‍රමුඛ හතළිස් දහසක් පිරිස තෙරුවන් සරණ ගියහ. මහින්දාගමනයෙන් දෙවැනි දිනයේ දී රජ මැදුරේ දී පේතවත්ථු, විමානවත්ථු, සච්චසංයුත්තාදිය මුල් කරගෙන ධර්ම දේශනා පැවැත්වීය. මුල් දිනයෙහි ධර්ම දූතයන් වහන්සේලා දුටු මිනිසුන් සිය අසල් වැසියනට ඒ ගැන දැන් වූ හෙයින් මෙම දෙවන දින බණ ඇසුමට දහස් ගණනින් ජනයා රජ මැදුරට එක්රැස් වූහ. ඒ සියලු දෙනාට රජ මැදුර ඉඩ මද වූයෙන් මහරජු මගුල් ඇත්හල සරසා එහි අසුන් පැනවීය. ඉක්බිතිව මිහිඳු මහරහතන් වහන්සේ පිළිවෙලින් දේවදූත බාලපණ්ඩිත, ආසීවිසෝපම, අනමතග්ගිය, ධම්මචක්කප්පවත්තන යනාදී සූත්‍ර දේශනාවන් පවත්වා දහස් ගණනින් ජනයා මාර්ගඵලාවබෝධයට පත් කරවූහ.

ධර්ම දූතයන් වහන්සේලාගේ වාසස්ථානය සඳහා “මහ මෙවුනා උයන” පූජා කළ මහ රජු මිහිඳු මාහිමි සමඟම එම උයන වටා ඇවිද සීමා මාලකාදිය පිහිටවිය යුතු තැන් නියම කරවා ගත්හ. දූත පිරිස අතර වූ භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කිරීමෙන් ලක්දිව මුල්ම පැවිදි උපසම්පදාව ද ඇරඹිණි.