Print this Article


සෝභා තෙරණින් වහන්ස

සෝභා තෙරණින් වහන්සේ

සුවිසල් සැවැත් පුරයට සඳ කිරණ ගලා
මැව්වා තව්තිසාවක් මල් පියලි සලා
සෝභා සඳළු තලයට වී සිටිය බලා
සසරෙහි නිසරු බව මොහොතක් මෙනෙහි කළා

ඇය දැක එක් දිනක රාගය මුසුව ළයේ
සළළෙක් ඇහුරුවා මඟ පා සවිය කයේ
කරුණා දයා ගුණ උතුරන දැහැමි වියේ
ඕ විමසුවා හේතුව මේ කිමද පියේ

“ඔබ නෙත් දෙකේ ලස්සන දුටුවෙද කවර
පිනවයි නැඟණියෙනි මගෙ ගත සම් නහර”
දෙසවන වැදී ඔහු කී සරදම් වහර
මුකුලිත වුණා ඇගෙ මෙත් සිත් පුන් තඹර

මුදිතා ගුණය ඉතිරෙයි සේ ගලන නදී
මුදු වත කැලුම් දේ සදහම් කිරණ වැදී
සිත තුටු කරනු වස් නිමවා පවස රැඳී
දෙනෙත ම ගලවමින් ඇය ඔහු සුරත පිදී

උණුසුම් රුහිරු බිඳු වැගිරෙයි කොපුල තෙමා
නිසලව විඳියි ඇය ලොව්තුරු සුවය අමා
සිඳ රා හැඟුම් කියමින් “වෙනු මැනවි සමා”
ඔහු වැඳ වැටිණි ඇගෙ පා මත සිරස නමා

දඹගල්ලේ කේ.බී. රත්නායක