Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 66 කොටස: මහා සංඝරත්නය යුද පෙරමුණේ වඩින්නට සැදී පැහැදී සිටිනව

දුටුගැමුණු මහ රජතුමා - 66 කොටස:

මහා සංඝරත්නය යුද පෙරමුණේ වඩින්නට සැදී පැහැදී සිටිනවා

යුද පෙරමුණේ ගමන් ගැනීමට පන්සියයක් භික්ෂූන් වහන්සේ සැදී පැහැදී සිටිනවා. මේ මොහොත වන විටත් සංඝයා වහන්සේලා දෙතුන් දහසක් අනුරාධපුර රාජධානියට වැඩම කර තිබෙනවා. නමුත් මහමෙව්නාව ප්‍රධාන යුද කඳවුර ලෙස යොදාගෙන තිබෙනවා. අපේ කුණ්ඩල බ්‍රාහ්මණ තුමා මේ ගැන විරෝධය පළ කළත් ඒ ගැන සැලකීමක් කර නැහැ. දීඝාභයත්, දීඝජන්තුත් දෙදෙනාම කුණ්ඩල බ්‍රාහ්මණ තුමාගේ විරෝධය එළාර රජතුමාට ඉදිරිපත් කර නැතිලු. ඒ කොහොම වුණත් අපේ ස්වාමීන් වහන්සේලා උතුරු ප්‍රදේශයේ විසිර යමින් එළඹ ඇති ආගමික, සංස්කෘතික, දේශපාලන හා සමාජ විපත ගැන අපේ මිනිසුන්ට කියාදේවි. සත්‍යයේ සහ බොරුවේ වෙනස පෙන්වා දේවි. සත්‍ය වපුරමින් සිංහලයා සිටිය යුතු තැන කියා දේවි.

එළාර රජතුමා දැන් වෙනදාටත් වඩා කරුණාවන්තයි. සාධාරණයි. ධර්මිෂ්ටයි. පිටත වැඩම කර සිටින මහා විහාර භික්ෂූන් වහන්සේලාට නැවත එහි වැඩම කරන ලෙස ඉල්ලා සිටිනවා. පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ ළඟදීම නැවතත් ප්‍රාදේශික රජවරුන් හමුවීමේ සංචාරයක් අරඹාවි. තිස්ස කුමාරයා යෝධගත්තතිස්ස මහතෙරුන් වහන්සේ ඇතුළු පන්සියයක් රහතන් වහන්සේලා සමඟ පැමිණ තමා විසින් කරන ලද සියලු වැරදි පිළිගෙන පසුගියදා රජමාළිගයට පැමිණ ගැමුණු මහරජ තුමාගෙන් සමාව ලබාගත් බව කවුරුත් දන්නවා. දීඝාභය කුමාරයා කාගේ හෝ කේලාම් බස් නිසා වෙනස් වුණු බවයි පෙනෙන්නේ. දුරදිග නොබලා ක්‍රියා කළ නිසා යි ඔහු මේ තරමටම හිතුවක්කාර වුණේ. හදිසියේ ඔහු නැවතත් වෙනස් වෙන්නට බැරි නැහැ.

“මහා ස්වාමීන් වහන්ස, මහරජතුමනි, සමාවන සේක්වා” කියමින් ඉදිරියට පැමිණි සෙනෙවිවරු තිදෙනෙක් වැඳ නමස්කාර කර සිටියහ.

“මහ රජතුමනි, දීඝාභය කුමාරයාට කේලාම් කීවේ අපියි. එසේ කේලාම් කීමට අප පෙළඹුවේ මාගමින් පලාගිය සිවනාග උප සෙනෙවියායි. “දුටුගැමුණු කුමාරයාට මාගමට එන්නට නොදී දීඝාභය කුමාරයා මාගම රජකම ලබා ගන්නට කුමන්ත්‍රණය කරනවා. ඒ නිසා ඔහු භේද කරවා පලවා හරින්නට ඕනෑ” යි අපට සිවනාග කීවා. ඒ සඳහා අපට ඔහුගෙන් රන් කහවණු දහස බැගින් ලැබුණා.

සිවනාග උප සෙනෙවි කී පරිදි අපි දීඝාභය කුමාරයා මහමඟ හමුවී රහස් කීවා.

“කාවන්තිස්ස රජතුමාගෙන් පසුව දීඝාභය, තිස්ස කුමාරවරුන්ගෙන් කිසිවකුට මාගම රාජ්‍ය පැවරිය යුතු නැතැයි දුටුගැමුණු කුමාරයා උත්තර මහ ඇමතිට දන්වා තිබෙනවා. දීඝාභය කුමාරයාට යුවරජකම හෝ නොදිය යුතු බව එහිදී තීරණය කර තිබෙනවා. කාවන්තිස්ස රජතුමා සේරු නුවර ගොස් සිටි කාලය තුළ මාගම රාජ්‍යයේ පාලනය කාම්බෝජ පඬිතුමාට දුන්නෙත් ඒ නිසයි” මේ විදියට අපි නොයෙකුත් කරුණු කීවා.

දීඝාභය කුමාරයා විශ්වාස කළ හැකි අයෙක් නොවෙයි. ඔහු කවදා හෝ නතර වෙන්නේ එළාර රජු ළඟ” සෙනෙවිවරු පැවසූ බවත් කීවා.

‘එය අසා දීඝාභය කුමාරයා බොහෝ කිපුණා. අපට ස්තූති කර අසු පිටට නැගී වේගයෙන් යන්නට ගියා. නමුත් සිවනාග චරපුරුෂයකු බව දැනගත් පසුවයි අප කළ වරද වැටහුණේ. නමුත් භය නිසා මේ ගැන කිසිවකුට කීවේ නැහැ.’

උත්තර මහ ඇමති පුදුමයෙන් බලා සිටියේ ය. සෙනෙවිවරුන්ගේ සිත් තුළට කෝපයක් නැඟිණි. දුටුගැමුණු මහරජතුමාගේ මුවඟට සිනාවක් නැඟිණි. විහාර මහා දේවිය සෙනෙවිවරු දෙස බලා ඇමතුවේ ය.

“තොප කර ඇත්තේ බලවත් වරදක්. ඒ වරද ප්‍රකාශ කිරීමත්, පිළිගැනීමත් හොඳයි. තොපට යම් දවසක මේ කළ වරද දීඝාභය කුමාරයාට කියන්නට සිදුවේවි. සිවනාගත් එතැනට එකතුවේවි.”

මහබිසොවුන් වහන්ස, සිවනාග කෙනෙක් නැහැ. ඒ නමින් මෙහි වෙස්වලාගෙන හිටියේ සිරිනාග. ඔහු ඉතා දරුණු පුද්ගලයෙක්. ජාතිද්‍රෝහියෙක්. දුෂ්ට මිනිසුන් ඔහුගේ දක්ෂකම් ප්‍රයෝජනයට ගනිමින් වැරැදි මඟට යොමු කරලා. නමුත් සිරිනාග දැන් අපට සේවය කරන මහ සෙනෙවියෙක්. අනාගතයේ ඔහු අපට බොහෝ ප්‍රයෝජනවත් වේවි.” මහාසිව මහා ස්වාමීන් වහන්සේ කීහ. ඒ අවස්ථාවේ සභාවේ සිටි වේළුසුමන නැඟී සිටියේ ය.

මහ බිසොවුන්වහන්ස, රජතුමනි, මෙහිදී නම කියවුණු සිවනාග දැන් මේ සභාවේ ඉන්නවා. මේ යුද්ධ මණ්ඩල රැස්වීමට ඔහු පැමිණ සිටින්නේ අපේම සෙනෙවියකු ලෙසයි. මහා ස්වාමීන් වහන්සේ වදාළ පරිදි ඔහු සිවනාග නොවෙයි, සිරිනාග.

ඔහු අපට බොහෝ වැරැදි කළ කෙනෙක්. මම එළාර රජුගේ ප්‍රධාන යෝධයාගේ හිස ගෙනා පරිදි, ඔහු දුටුගැමුණු කුමාරයාගේ හිස එළාර රජුට ගෙන යාමට උපාය යෙදුවා. නොයෙක් උපක්‍රම යොදමින් අපේ යුද රහස් රජ රටට දැන්වූවා. අද ඔහු කළ වැරැදි වෙනුවෙන් වන්දි ගෙවනවා.

මහාසිව මහාස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ඔහු අනුරාධපුරයේ සිට අපට සේවය කරනවා. දැන් ඔහු අපේ හොඳම චරපුරුෂයා. මහනෙල සෙනෙවියාගේ අඹ යහළුවා.

තිස්ස කුමාරයාගේ සේනාව මෙහෙයවන්නට විසි දහසක් සෙබළුන් ගෙන දිගාමඬුල්ලට ආවත්, සිරිනාග අපට අසුවුණා. ඇත්තටම අසුවුණා නොවෙයි. උපතිස්ස බණ්ඩාරගේ ආරක්ෂක සෙබළුන් අතට ඕනෑකමින් මැදි වුණා. තිස්ස කුමාරයාට උදව් කිරීම මඟ හැරීමට ඔහු යෙදූ උපාය ඒකයි. ඔහු ගෙන ආ සේනාංකයේ තිස් දහසම දැන් අපට එකතු වෙලා.”

සභාවේ සිටි සෑම කෙනකුම පාහේ පුදුමයට පත්ව බලා සිටියහ.

“අපේ මහ රජතුමාත්, බිසොවුන් වහන්සේත් කැමැතියි මේ සභාවට සිරිනාග හඳුන්වා දෙන්න”

කාගේත් ඇස් යොමු වූයේ වේළුසුමන දෙසට ය. ඔහු අසල අසුන්ගෙන සිටි සිරිනාග නැගී සිටියේ ය. කවුරුත් ඔහු දෙස බලා සිටියේ පුදුමයෙනි.

“සිරිනාග මහ සෙනෙවි අනුරාධපුර රාජධානියේ පමණක් නොවෙයි සමස්ත උතුරුකරයේ ම ආරක්ෂාව භාරව සිටින බලවන්තයෙක්. ඔහු මට මුණ ගැසුනේ දිගාමඩුල්ලේදී. තිස්සගේ සේනාව මෙහෙයවන්නට පැමිණි සිටි ඔහු මා හමුවන්නට තිස්සගෙන් අවසර ඉල්ලා තිබුණා. මා ඊට අවසර දුන්නා.”

“ඔහු මගෙන් මුලින්ම ඇසූ ප්‍රශ්නය තමයි සහෝදරයන් අතර ගැටුම නතර කරන්නට මට බැරිද? කියන එක. ඒ යුද්ධයට ඔබ කැමති නැති නම් තිස්සට සහාය දෙන්නට ආවේ කුමක් නිසාදැයි” මම ඔහුගෙන් ඇසුවා. ඔහු මද වේලාවක් නිශ්ශබ්දව සිට

“තිස්ස කුමාරයාට සහාය දීමට එළාර රජතුමා තීරණය කළා. දොළොස් දහසක සේනාංකයක් මා සමඟ ඇවිත් සිටිනවා. මා මෙහි එවීමට රජතුමාට උපදෙස් දුන්නේ දීඝාභය කුමාරයා. ඒත් මෙහි ආවේ කැමැත්තකින් නොවෙයි” යනුවෙන් පිළිතුරු දුන්නේ ය.

“එහෙනම් සිරිනාග අනුරාධපුර රාජධානියේ ඉන්නේ කැමැත්තකින් නොවෙයිද?”

“නැහැ මම වැරැදි පිලක සිටින බව තේරුම් ගෙනයි ඉන්නේ. නමුත් මම කැමති පිලට සේවය කිරීමේ අරමුණින් මෙහි සිටිනවා.”

මේ පිළිතුරෙන් සිරිනාග උපායශීලි පුද්ගලයකු බව මට අවබෝධ වුණා. මම ඔහුගෙන් තවත් තොරතුරු විමසා බැලුවා. ඔහු දැන් බුද්ධිමත්ව තමන් සිටිය යුතු තැන තේරුම් ගෙන සිටිනවා. ඔහු යහමඟට යොමු කළේ මහාසිව මහා ස්වාමීන් වහන්සේ බවත් මට දැන ගන්නට ලැබුණා.

මහතෙරුන් වහන්සේලා ආපසු වඩින්නට කලින් මට යමක් කියන්නට තිබෙනවා. මේ සභාවේ සිටින වැඩි පිරිසක් මා කෙරෙහි අප්‍රසාදයෙන් සිටින බව මා දන්නවා. එය සාධාරණයි. ඒ නිසා මම ඉන්නේ තරමක කළකිරීමකින්”

මහ රජතුමාගේ අභාවයෙන් පසු, ගැමුණු කුමාරයා සිටින තැනකින් ගෙන්වා ගෙන ඔහුට මාගම රාජ්‍යය පවරා දීමේ කාර්යය මගෙන් කරන්නට තිබුණු යුතුකමක්. ඒ යුතුකම පැහැර හරිමින් රජතුමාගේ ආදාහන කටයුතු සිදුවුණු දාට පසුදාම උදෑසනින්ම තිස්සගේ බලපෑම මත දිගාමඩුල්ලට යන්නට සිදුවුණා. කඩොල් ඇතු ගෙනයාමට මා විරුද්ධ වුණා. ඔහු එය පිළිගෙන මා අස්රියෙන් පිටත්කොට, කිසියම් උපදෙසක් මත කඩොල් ඇතුත් රාජ්‍ය සම්පත් කිහිපයකුත් අරගෙන ආවා.

රජතුමාගේ අභාවයෙන් පසු තිස්ස සමඟ දිගාමඩුල්ලට යාමත්, දුටුගැමුණු තිස්ස අරගලයේ දී නිශ්ශබ්දව සිටීමත් වැරැදි බව මම පිළිගන්නවා. නමුත් ඒ දෙකටම හේතු තිබුණා. යම් සිද්ධියක් දෙස බැලිය යුත්තේ එකම දෘෂ්ඨිකෝණයකින් නොවෙයි. සංස්කෘත, සමාජ පුද්ගල ආදි වශයෙන්. බාහිර අභ්‍යන්තර චරිත ලක්ෂණ තුළින් බැලීමයි නිවැරැදි නිගමනය සඳහා අවශ්‍ය වෙන්නේ.