Print this Article


පින් ගන්නේ මිය ගිය අය විතරද?

පින් ගන්නේ මිය ගිය අය විතරද?

පින් අනුමෝදන් කිරීම ගැන වැරැදි අවබෝධයකුත් අප අතර තියෙනවා. දවසක් මම කොළඹ පැත්තේ වෙසක් තොරණක් බලමින් හිටියා. එතැන කවි කියනවා. එක් අයකුට පින් පිණිස තව කෙනෙක් දීපු ආධාරයක් ගැන කියවුණා. ඔහුට පින් අනුමෝදන් කරවමින් කවිය කිව්වා. ඉන් පස්සෙ එතැන මහ රණ්ඩුවක්. සෙත් පැතීම පින් දීමක් කියලා වරද්දලා කිව්වා කියලා තමයි මේ රණ්ඩුව. එතනට ආපු ඒ ආධාර කරපු මන්සුසයා කෑ ගැහුවේ

“ඔහේ, මගෙ තාත්තා නිකං මරා දාන්න හදනවා ද? පින් දුන්නේ අපේ තාත්තා මැරිලා කියලා හිතා ගෙන ද?”

හරි අමාරුවෙන් මාත් මැදිහත් වෙලා ඒ තත්ත්වෙ අවබෝධ කරලා දුන්නා. අපි ගොඩක් දෙනා කියන්නෙ පින් දෙන්නෙ, පින් අනුමෝදන් කරන්නේ මැරිච්ච අයට විතරයි කියලා. ඒක වැරැදි අදහසක්. මැරෙන්න ඕනෑම නැහැ පින් ගන්න. තව කවුරු හරි කරපු පින්කමක් දැකලා හිතලා කෙනකුට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. නමුත් අපි මේ පින්කම් බොහෝ විට කරන්නේ මියගිය අය වෙනුවෙන් ම නිසා අපි හරි බය යි. අපට පින් අනුමෝදන් කරනවා කිව්වා ම.

ඔය ප්‍රශ්නෙ බුදු හාමුදුරුවන්ගේ කාලෙත් තිබුණා. බුදුරජාණන් වහන්සේගෙන් එක් පුද්ගලයෙක් අහනවා මේ පින් අනුමෝදන් වෙන්න මියගිය ඥාතීන් නොහිටියොත්, නැත්තන් ඒ මියගිය කෙනා පින නොගත්තොත් මේ පිනට මොකද වෙන්නෙ කියලා. බුදුහාමුදුරුවො යස අපූරු උත්තරයක් දෙනවා. ඒක ප්‍රශ්න අහලා එයාට ම අවබෝධ වෙන්න හරිනවා.

බුදුහාමුදුරුවො අහනවා හොඳයි ඔබ නෑ ගෙදරකට යනකොට මොනවා හරි අරන් යනවා නේද? කියලා . ඔහු කියනවා එහෙමයි කියලා. හොඳයි ඒ ගෙදර දොර වහලා තිබ්බොත්. ඒ අය ගෙදර නොහිටියොත් ඔබ ඒවාට මොකද කරන්නෙ? අහළ පහළ කෙනකුට දෙනවා කියලා උත්තර දෙනවා. හොඳයි ඒ ගෙවලුත් වහලා නම්, නැත්නම් ඒ ගෙවල්වලත් කවුරුවත් නොහිටියොත් මොකද කරන්නෙ? බුදුරජාණන් වහන්ස, ඒව මං ආපහු අරං එනවා, මගේ පරිහරණයට ගන්න. බුදු හාමුදුරුවො වදාළා අන්න ඒ වගේ තමයි පින් අනුමෝදන් කිරීමත් කියලා. දැන් ඔය ඇත්තන්ට තේරෙනවා නේද? පින් අනුමෝදන් කිරීම මියගිය ඇත්තො වෙනුවෙන් ම තියෙන දෙයක් නෙමෙයි කියලා. ඔබ යම් යම් පින් කරලා අවසානයේ නිවන් සැප පිණිස ඒ පින්කම හේතු වේවා කියලා හිතනවා. ඒක තව කෙනෙක් වෙනුවෙන් හිතුවොත් අපි දොස් නඟනවා. එයා මැරිල ද? එයාට නිවන් සැප ලැබෙන්න පතන්නේ කියලා. ඒක වැරැදි අදහසක් කියලා ඔය ඇත්තන්ට පැහැදිලි ඇති දැන්.