Print this Article


ආභස්සර බඹලොවින් පැමිණි අපට දුක උරුම වූ හැටි දන්නවා ද ?

ආභස්සර බඹලොවින් පැමිණි අපට දුක උරුම වූ හැටි දන්නවා ද ?

(ලෝකෝත්පත්ති වංශකථාව කියයි)

විශ්වය තුළ මිනිස් ජීවියා සම්භවය වූ අයුරු බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් මනාකොට විග්‍රහ කර ඇත. ලෝක විනාශයෙන් පසු බොහෝ සත්වයෝ ආභස්සර බඹලොව ධ්‍යාන චිත්ත බලයෙන් පහළ වෙන බවත්, කාලයාගේ ඇවෑමෙන් ආභස්සර බ්‍රහ්ම නිකායෙන් මිනිසත් බවට පැමිණෙන ඔවුන් මෙහි ධ්‍යාන සිතින් වාසය කරන බවත් සූත්‍රයේ සඳහන් වේ.

පී‍්‍රතිය ආහාරය කොට ගෙන ධ්‍යාන චිත්ත බලයෙන් අවකාශය තුළ ගමන් කළ හැකි එම සත්වයින්ට ම හැසිරවිය හැකි ආලෝක ධාරාවක් හිමිව තිබුණ බව පැවැසේ. සිත්කම් වස්ත්‍රාභරණයෙන් සැරසී සිටි එම සත්වයින් දීර්ඝ කාලයක් එහි ඉතා සතුටින් වාසය කර ඇත.

පසු කාලයේ සියලුම සක්වල දිය කදක්ම පැවැතුණ අතර හිරු සඳු නැතිව දැඩි අන්ධකාරයක් පැතිර තිබුණි. එසේ පැවැති දිය කඳ මතුපිට කිරි යොදයක් මෙන් රස පොළවක් නිර්මාණය වී තිබුණ අතර, එය පාටින්,සුවඳින්, රසයෙන් අනූන විය. පිළවුන් නැති මීවදයක් මෙන් එහි රසය තීව්ර විය. හිස් අවකාශයේ සැරිසරමින් සිටි ඉහත සත්වයින්ගෙන් එක් සත්ව කෙනෙක් මේ කුමක්දැයි රස පොළව ඇඟිල්ලෙන් ගෙන දිවග ගා බැලුවේ ය.

ඔහුට ඒ රසය පි‍්‍රය විය. ආසාවක් ඇතිවිය. ඔහුගේ සිතට රස තෘෂ්ණාව ව බැඳ ගත්තේ ය. ලොව පළමු තෘෂ්ණායක සත්වයා ලෙස ඔහු ලෝකෝප්පත්ති කථා වංශයට එක්වේ.

රස පොළොව රස විඳින සත්වයා දුටු අනික් සත්වයෝ ඔහු අනුගමනය කළහ. මේ අනුකරණය කිරීම අප තුළ අද ද දක්නට ලැබෙන්නේ එදා ඒ පුරුද්ද බව කියැවේ. අනේක සත්වයෝ ද රස පොළොව ඇඟිල්ලෙන් ගෙන දිව ගා බැලූහ. එහි රසය පිනා ගියේ ය. ඔවුන්ට ද එය පි‍්‍රය විය. රස තෘෂ්ණාව ඔවුන්ගේ චිත්ත සන්තානය තුළට බැස ගත්තේ ය. ඡන්ද රාගයෙන් මත් වී ඒ අනුව ඔවුහු ඇඟිල්ලෙන් දිවේ ගෑම වෙනුවට රස පොළොව ගුලි කර කර කෑමට පටන් ගත්හ. තව තවත් රස තෘෂ්ණාව බලවත් ලෙස චිත්ත සන්තානය තුළට බැස ගත්තේ ය. ගුලි කර කර තරගයකට මෙන් කන්න පටන් ගත්හ.

කාලයක් යන විට රස තණ්හාවේ ආදීනව මතුවෙන්නට විය. ඔහුගේ පින්බලයෙන් ඔවුන්ට උරුම වී තිබුණ ආලෝක ස්වයං ප්‍රභාව අතුරුදන් විය. ඒ සමඟම හිරු සඳු උදාවිය. ඔවුහු රස පොළොව දීර්ඝ කාලයක් අනුභව කළහ. එහෙත් තෘෂ්ණාව ඔවුන්ට ගෙන ආවේ සැප විපාක නොවේ. අහසේ ගමන් කළ හැකි ඒ වාසනාව ද අහිමි විය. පිනට පහළ වූ ආලෝකයත්, පිනට පහළ වූ උඩින් යාමේ හැකියාව ද පිරිහී ගියේ ය. එපමණක් නොව සියුම් ශරීරයක් හිමිව තිබුණ මේ සත්වයින්ගේ සියුම් ශරීරය රළු බවට පත්වීම ආරම්භ විය. පී‍්‍රතිය ආහාර කොට ගෙන සිටි ඔවුන් තෘෂ්ණාවෙන් රස පොළොව ආහාර කොට ගැනීම නිසා මේ ආදීනව පහළ වෙන්නට විය.

සියුම් ශරීර රළුවීම නිසා කෙනෙක් පැහැයෙන් ද, තව කෙනෙක් අව පැහැයෙන් ද දර්ශනය විය. වර්ණ භේදයක් ඇති විය. මේ වර්ණය අනුව දැකුම්කළු පැහැයෙන් සිටි අය “අපි අනෙක් අයට වඩා පැහැපත් යැයි ද, ලස්සනයි ද, කියමින්, සිතමින් අනුන් පහත් කොට (පරවම්භන) සලකන සිතක් පහළ විය. මේ නිසා ඔවුන් තුළ මානය ඇති විය. ‘මානාතිමාන’ ස්වභාවය ඇතිවීමේ ප්‍රතිඵලයක් වශයෙන් රස පොළොව ක්‍රමයෙන් අතුරුදහන් විය.

රස පොළොව අතුරුදන් වීමත් සමඟ ඔවුන් තුළ “අහෝ.........පෘථිවි රසය..අහෝ පෘථිවි රසය...අහෝ පෘථීවි රසය කියමින් හූල්ලන්නට විය. දුක් වෙන්නට විය. නැවත නැවත කියන්නට විය. අද ද මිනිසුන් මනාප රසයක් ලැබුණ විගස ‘ හරිම රසයි. හරිම රසයි කියනු ලැබේ. ඒ පැරැණි ලෝකෝත්පත්ති වංශකථාව අනුව ආපු පුරුද්ද බව කියැවේ. එහෙත් එහි අරුත් නොදන්නේ යැයි සූත්‍රයේ ම සඳහන් වේ.

රස පොළොව අතුරුදන්වීම නිසා දුකට පත් සත්වයින්ට “භූමි පප්පටකට” (බිම් පපඩම්) නැමති දෙයක් පහළ විය. එයත් සුවඳින්, වර්ණයෙන්, රසයෙන් ඉහළ තත්ත්වයක පැවතිණි. පිළවුන් නැති මී වදයක් මෙන් රසවත් විය. ඒවා ඔවුහු ඉතා සතුටින් ආහාරයට ගත්හ. බොහෝ කාලයක් ගත විය. ඝන බවට පත්වෙමින් තිබුණ ඔවුන්ගේ ශරීරය තව තවත් ඝන බවට පත්වෙන්නට විය. රළු වෙන්නට විය. ලස්සන පැහැය අඩුවෙන්නට ද විය. සමහර අයගේ පැහැය දැකුම්කළු විය. පැහැපත් අය පැහැය අඩු අවලස්සන අයට අවමන් කරන්නට විය. ඒ සමඟ ඔවුන්ගේ සන්තානය තුළ මානය බලවත් විය. මානාතිමානය ප්‍රකට විය. තණ්හාව සමඟ මානය බලවත් වීමත් සමඟ “භූමි පර්‍ප¡ටකය” නැමැති ඔවුන්ගේ ආහාරය අතුරුදන් විය.

ආහාරය නැතිවීම නිසා ඔවුහු දුකට පත්වූහ. හූල්ලන්නට විය. ඒ සමඟම “බදාලතාව“ පහළ විය. එයත් සුවඳින්, වර්ණයෙන්, රසයෙන් රස පොළොව මෙන් විය. ඒවා ලැබීමෙන් පසු ඔවුහු ඉතා සතුටින් බදාලතාව වළඳමින් ජීවත් වූහ. කාලයක් ගත විය. කයේ රළු ස්වභාවය තව තවත් වර්ධනය විය. මානය ද එයට සමගාමීව වැඩෙන්නට වී තෘෂ්ණා, මාන, දිට්ඨි යන කෙලෙස් ධර්මයන්ගේ බලවත්කම නිසා දෝ “බදාලතාව“ අතුරුදහන් විය.

මේ හේතුව නිසා ඔවුන්ට ආහාර නැතිවිය. දුක් ඇති විය. මේ නිසා ඔවුහු රැස්වූ හ. මේ ගැන කථා කළහ. “අපට රසවත්වූ, මිහිරි වූ “බදාලතාව“ අතුරුදහන් විය. ඒවා දැන් නැත. ඒවා දැන් නැතැයි” පුන පුනා කියවන්නට වූහ. දැනුදු මිනිසුන් තමන් කැමැති දේ නැතිවූ බව පුන පුනා කියමින් දුක් වෙන ස්වභාවයක් ඇත. ඒ පැරැණි වංශ කතාවට අනුව බව සූත්‍රයේ සඳහන් වේ.

‘බදාලතාවන් අතුරුදන් වීමෙන් පසු කුඩු නැති, වී පොතු නැති සුවඳවත් හැල් සහල් පහළ විය. උදේ කඩාගෙන ආහාරයට ගත් පසු ඒ කොටස සවස් කාලයේ වැඩෙන ස්වභාවයක් ඇත. සවස කඩාගෙන ආහාරයට ගත් පසු උදේට ඒ කොටස නැවත වැඩෙන බව පැවැසේ. මේ නිසා ඔවුන්ට පහසුවෙන් ආහාරය සපයා ගත හැක. මෙසේ දීර්ඝ කාලයක් හැල් සහල් ආහාරය කොට ගනිමින් ඔවුහු ජීවත් වූහ.

මෙසේ දීර්ඝ කාලයක් ජීවත්වන ඔවුන්ගේ කායික මානසික වෙනස්කම් බොහෝ කොට ප්‍රකට විය. සිරුර මේවන විට සාමාන්‍ය මිනිස් සිරුරක් මෙන් ඝනීභාවයට පත්වී තිබුණි. මේ සමඟම ස්ත්‍රීන්ට ස්ත්‍රි ලිංගය ද, පුරුෂයින්ට පුරුෂලිංග ය ද පහළ විය. මේ වෙනස ඔවුනොවුන්ට විශේෂ දසුනක් විය.

මේ නිසා ස්ත්‍රී සත්වයා, පුරුෂ සත්වයා දෙසත් පුරුෂ සත්වයා, ස්ත්‍රී සත්වයා දෙසත් බොහෝ වේලාවක් බලා සිටියහ. මේ නිසා ඔවුනොවුන්ගේ චිත්ත සන්තානය තුළ සරාගය පහළ වූ බව සූත්‍රයේ සඳහන් වේ. එදා එසේ ඇතිවූ සරාගය අද වන විට දරුණු කාම පරිදාහයක් බවට පත්වී ඇත.

කෙසේ වෙතත් එදා සත්වයා තුළ ඇතිවූ ඒ සරාගය නිසා ඔවුන් මෙවුන්දම් සේවනයේ යෙදුන බව සඳහන් වේ.

මේ අලුත් වැඩපිළිවෙළ ගැන නොදත් සත්වයෝ” මෙවුන්දම් සේවනයේ යෙදෙන සත්ව කෙනෙක් දුටු අන්‍යයෝ “වසලිය නැසෙව....වසලිය නැසෙව..වසලිය නැසෙව“ කෙසේ නම් සතෙක් සතක්හට මෙබන්දක් කරන්නේ දැයි” කියමින් ඔවුන්ට පස්වලින් දමා ගසත්, අළුවලින් දමා ගසත්, ගොමවලින් දමා ගසත්” දැනුදු විවාහ වන යුවළකට පස්, ගොම, වැලි, වතුර ගසමින් විකාර කරන්නේ ඒ පැරැණි ලොකෝත්පත්තිවංශ කථාව අනුව බවත්, එහි අදහස නොදන්නා බවත් අග්ගඤ්ඤ සූත්‍රයේ ම සඳහන් වේ.

එම සූතයේ මෙසේ ද සඳහන් වේ. ‘එදා ගොම පස් දමා ගැසූවන් විසින් අධර්මය යැයි සම්මත වූ යම් අධර්මයක් වී ද එය දැන් ධර්මය යැයි සම්මත වී ඇත. එදා මෙවුන්දම් සේවනයේ යෙදී සිටි අයකුට මාස කීපයකට නියම්ගමට පිවිසීමට අවසර නොලැබුණ නිසා මෙවුන්දම් සේවනය යෙදීමට අවශ්‍ය නිසා ඒ අසද්ධර්මය වසා ගනු සඳහා ගෙවල් කරන්නට ඒ ඒ සත්වයා පටන් ගත් බව බුදුරජාණන් වහන්සේ වාශිෂ්ඨයන්ට වදාළ සේක.

මානව ඉතිහාසයේ පළමු නිවාසය ඉදිකිරීම ආරම්භ වූයේ එලෙසිනි. එදා නිවාස ඉදිවූයේ මෙවුන්දම් සේවනය සඳහා මිස වැස්සෙන් අව්වෙන් සතා සිව්පාවන්ගෙන් ආරක්ෂාවීම සඳහා නොවන බවත්, අදත් සිදුවන්නේ ඒ අර්ථයම මුදුන් පමුනුවා ගැනීමට ද යන්න විමසිය යුත්තකි.

කෙසේ වෙතත් මේ සත්වයින් හැල්හාල් අනුභව කරමින් දීර්ඝ කාලයක් සතුටින් දිවි ගෙවන අතර වාරයේ එක්තරා අලස ගති ඇති අයකුට මෙසේ සිතක් පහළ විය.

“මම උදේ ආහාරය සඳහා හැල්ගෙන ඒමටත්, සවස ආහාරය සඳහා හැල් ගෙන ඒමටත් දෙවාරයක් යන්නෙමි. මම කුමට වෙහෙසෙන්ම් දැයි” සිතා උදේ සවස දෙකට ම ඔහු එක්වර හැල් ගෙනවුත් රැස්කර ගත්තේ ය. මිනිස් ඉතිහාසයේ රැස්කිරීම ඇරැඹුණේ එලෙසෙනි.

මෙම සත්වයාගේ මෙම ක්‍රියාව දුටු තව සත්ව කෙනෙක් ඔහු කළ දෙයට අනුව (දස්ටානුගතියට) ක්‍රියා කළේ ය. මේ අනුකරණය අද ද මිනිසා තුළ දක්නට ලැබෙන ලක්ෂණයකි. එදා සත්ව තෙමේ දින දෙකකට ප්‍රමාණවත් හැල්හාල් රැස් කළ අතර, තවත් අයකු දින හතරකට ප්‍රමාණවත් හැල්හාල් රැස්කර තබා ගත්තේ ය. තව අයකු ඒ දැක දින අටකට ප්‍රමාණවත් හැල්හාල් රැස්කර තැබීය. මෙසේ රැස්කිරීමේ තෘෂ්ණාව ලියලා වැඩෙත් වැඩෙත් ස්වභාව ධර්මයා විසින් නැවත දඬුවමක් පැනෙව්වේ ය. ඒ නිරාවරණය වී තිබූ හාල් ඇටය කුඩුවලින් හා වී පොත්තෙන් හාල් ඇටය වසා ගැනීමයි. හැල්හාල් කපා ගත් තැන පෙර මෙන් හැල් නොවැඩුණේය. මේ නිසා ආහාර ඌනතාවක් ද ඔවුන්ට ඇති විය.

මේ ගැන සිතූ සත්වයෝ එක් තැනකට රැස්වූහ. සාකච්ඡා කළහ. “භවත්නි....ඛේදයකි. ලාමක අදහස් සත්ව සන්තානයේ පහළ වීම නිසා අපට මෙබන්දක් සිදුවිය. පෙර අපි මනෝමය කායක් දැරීමු. පී‍්‍රතිය ආහාරය කොට ගෙන ස්වයං ප්‍රභාවයෙන් (තමන්ට අවශ්‍ය ලෙස පාලනය කළ හැකි ආලෝකය) යුක්තව ලස්සන වස්ත්‍රාභරණ සහිතව ඉතා බොහෝ කල් සිටියෙමු. රස පොළොව ආහාරය කොටගෙන සිටි අපගේ ස්වයං ප්‍රභාව අතුරුදන් විය. ලාමක අකුසල් දහම් අපට පහළවීමත් සමඟ රස පොළොව අතුරුදන්වී “භූමිපර්‍ප¡ටකටය” පහළ විය. තෘෂ්ණාව මාන වැනි ලාමක අකුසල් දහම් තව තව වැඩිවීමත් සමඟ ‘බදාලතාව“ අතුරුදහන්වී හැල්හාල් පහළ විය.

ලාමක අකුසල් දහම් හේතුවෙන් වී කුඩු, වී පොතු නැති හැල්හාල් අතුරුදන්වී වී පොතු වලින් වසාගත් හැල්වී පහළ විය. හැල්වී තබා ගන්නා තැන නැවත වැඩුණේ ද නැත. මේ නිසා ආහාර ඌන බවක් ඇතැයි ද ඔවුහු සාකච්ඡා කළහ.

එයට විසඳුමක් වශයෙන් හැල්වී වගාවන් සඳහා වැට මායිම් යොදා වෙන්කර ගනිමු’යි කතිකා කර ගත්හ. ඒ අනුව මානව ඉතිහාසයේ වැට මායිම් තනා ඉඩම් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය ආරම්භ විය. මේ තත්ත්වය අද වන විට විශාල තාප්පවලින් ද, මහ පොළවේ උඩ පමණක් නොව යට ද සීමා මායිම් දමා තමාගේ යැයි සම්මත කොටස වෙන්කර ගැනීමට අද මානවයා උත්සුක වී ඇත.

හෙට දිනයේ අභ්‍යාවකාශයේ ද, මහ මුහුදේ ද, සීමා මායිම් දමා ඉඩම් වෙන්කර ගැනීමට මානවයා නොපසුබට වන බව මේ ලෝකෝත්පත්ති වංශ කථාවෙන් ඉඟි කෙරේ.

කෙසේ වෙතත් ඉඩම් බෙදා හදා ගත් මේ සත්ව තෙමේ තම තමන්ගේ කොටස්වල පමණක් හැල්වී අනුභව කරන්නට වූහ. මෙසේ දීර්ඝ කාලයක් ගත විය. එක් ලාමක සත්ව කෙනෙක් මෙසේ සිතූහ.

“මාගේ කොටස අනුභව කරන්න කරන්න අවසන් වී යනවා. එය රැක ගෙන වෙනත් අයකුගේ කොටසින් හැල්වී කපාගෙන යෑම හොඳ යැයි” කියා සිතක් පහළ විය. ඔහු එය එලෙසම කළේය. ඔහු තමන්ට අයිති නැති ඉඩමකින් හැල්වී හොරාට කපාගෙන ආවේ ය. මානව ඉතිහාසයේ පළමු හොරා එසේ බිහි විය.

සෙස්සෝ ඔහු අල්ලාගෙන අවවාද කොට මුදා හැරියේ ය. එහෙත් ඔහු දෙවනුවත් තෙවනුවත් ඒ හොරකම එලෙසම කළේ ය. ඔහු අල්ලා වරින්වර අවවාද කළත් වැඩක් නොවුණ නිසා ඔහුට පහර දෙන්නට වූහ. අතින් පයින් පහර දුන්හ. දඬු මුගුරුවලින් පහර දුන්හ. ලෝකයේ පළමු වතාවට වද හිංසාව, ගැරහුම, දඬුවම, මුසාව, සමාජගත විය.

මේ තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා සත්වයෝ නැවතත් රැස්වූහ. සාකච්ඡා කළහ. ඔවුුහු වැරැදි කරුවන්ට දඬුවම් පැමිණවීම සඳහා ඔවුන් අතරින් පෙනුමැති. කඩවසම්, තෙදැති සත්ව කෙනෙක් පත්කර ගැනීමටත්, ඒ අයට කුලියක් වශයෙන් තමා සතු ඇල්වීවලින් කොටසක් දීමටත් කතිකා කර ගත්හ. සියලු දෙනාගේ සම්මතය අනුව කෙනෙක් පත්වූහ. ඔහු “මහාසම්මත” යැයි නම් විය. මෙලෙස ඉතිහාසයේ දේශපාලනය ආරම්භ විය. එදා හැල්වීවලින් මහා සම්මත යැයි පත්කළ පුද්ගලයාට ගෙවිය යුතු ය. අද එය බදු ලෙස හැඳින්වේ.

අග්ගඤ්ඤ සූත්‍රයේ කියැවෙන ලොකෝත්පත්ති වංශ කථාවෙන් බුදුරජාණන් වහන්සේ අපට ගැඹුරු බණක් කියති. වාශිෂ්ඨ සහ භාරද්වාජ යන සාමණේර හිමිවරුන් දෙනමට මේ දේශනාව වදාළහ. භෞතික ලෝකය තුළ සත්වයා පහළ වූ සැටිත්, එදා භාරතය තුළ පැවැති කුල ක්‍රමය විකාශය වූ සැටිත් මෙම වංශ කථාවෙන් විග්‍රහ වේ.

ආභස්සර බ්‍රහ්ම නිකායෙන් පැමිණි සත්වයා රස පොළොව කෙරෙහි පැවැති දැඩි තෘෂ්ණාව නිසා ක්‍රමයෙන් ඔවුන්ට ස්වභාවයෙන් ම හිමිව තිබුණ ආභස්සර බ්‍රහ්ම සම්පත් එකින්එක ගිලිහී ගොස් දුක උරුමවූ සැටි මෙහිදී විස්තර වේ. මේ වංශ කථාව ගැන නොදත් භාරතයේ බමුණු පිරිස බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ක්ෂුද්‍ර යනුවෙන් කුල ක්‍රමයක් ඇති කොට වැරැදි දෘෂ්ඨියක පිහිටා කටයුතු කළහ. එම මිත්‍යා මතය නිවැරැදි කොට එහි සත්‍යතාවය අවබෝධ කරලීමටත්, සත්වයා තුළ තණ්හා, මාන, දිට්ඨි ඇතිවීම නිසා ඔහුට ස්වභාවයෙන් දායාද වූ බොහෝ දේ අහිමිවන අයුරු ද මෙම සූත්‍රයෙන් විස්තර කර ඇත.