Print this Article


ඛෙත්තූපම පේ‍්‍රත වස්තුව: නිරයෙන් නිදහස් වූ හැටි

ඛෙත්තූපම පේ‍්‍රත වස්තුව:

නිරයෙන් නිදහස් වූ හැටි

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි එක් සිටු පුත්‍ර පේ‍්‍රතයකු අරභයා ඛෙත්තූපම පේ‍්‍රත වස්තුව දේශනා කොට වදාළ සේක.

රජගහනුවර මහත් වූ ධන සම්පත් ඇති මහ ධන නම් සිටුවරයෙක් විය. ඔහුට එකම පුතෙක් වූයේ ය. අසූ කෝටියකට වඩා ධන සම්පත් ඇති බැවින් තම දරුවාට ශිල්ප ශාස්ත්‍රාදී කිසිවක් ඉගැන්වීමට මව්පියෝ උනන්දු නොවූහ. තම පුතු තරුණ වයසට පත් වූ කල්හි සමාන කුලයෙකින් රූමත් දියණියක් විවාහ කර දුන්හ. මව්පියන්ගේ ඇවෑමෙන් පසු සිටු පුත්‍ර තෙමේ තම බිරිඳත් සමඟ ඉතා සතුටින් ජීවත් විය. සුරා සූදුවට හා සල්ලාලකමට එක්වූ ඔහු තම මිතුරන් සමඟ සියලු ධනය විනාශ වන තෙක්ම කා බී විනෝද වී ජීවිතයක් ගත කළේ ය.

ධනය අවසන් වූ කල ණයට ද මුදල් ගෙන විනෝද විය. ණයකරුවෝ ණය ඉල්ලා පැමිණි විට සිටු මැදුර හා තමන් සතු ඉඩකඩම් ද ඔවුනට දී කබලක් අතට ගෙන බිරිඳත් සමඟ සිඟමන් කරන්නට විය. අම්බලමක වාසය කළහ.

සොරු කණ්ඩායමක් මේ අම්බලමට පැමිණ සිටු පුත්‍රයා දැක “කුමට දුක් වෙනවා ද එව අප සමඟ සොරකමේ යෙදෙව. සැප සේ ජීවත් විය හැකිය”යි පැවසීය.

ඔහු ද එයට කැමති වී සොරකමේ යෙදුණ අතර එක් දිනක් සොර මුල ගෙයක් බිඳින්නට විත් මොහු අතට මුගුරක් දී කිසිවෙක් ආවොත් මුගුරෙන් ගසා පියවයි කීය. සොරු ගේ බිඳ බඩු රැගෙන යද්දී ගෙහිමියෝ සොරුන් ලුහු බඳින්නට වූහ. එවිට මුගුරක් අතැතිව ගේ සමීපයේ සිටි සිටු පුත්‍ර තෙමේ දැක මොහු සොරා යැයි තලා අත් බැඳ රජතුමාට දැක්වීය. රජතුමා ද මොහුගේ ගෙල සිඳවයි අණ කළේ ය.

සොරා වධකස්ථානයට ගෙන යන විට ඒ බව දුටු “සුලසා, නම් වූ කාන්තාවක් සොරා හැඳින ගෙන අග්ගලා සහ වතුර එක් සේවකයකු අත යැවීය. ඒ මොහොතේ මුගලන් මහ රහතන් වහන්සේ මොහු මරණයෙන් පසු අවීචියෙහි උපදින්නේ යැයි දිවැසින් දැක අනුකම්පා උපදවා වධකස්ථානය අසලට වැඩම කළ සේක.

මුගලන් මහ රහතන් වහන්සේ දුටු සිටු පුත්‍රයා අග්ගලා සහ පැන් උන්වහන්සේට පූජා කළේ ය. මහ රහතන් වහන්සේ ඔහුට පෙනෙන සේ එතැන දීම අග්ගලා සහ පැන් වැළඳූහ. අග්ගලා හා පැන් එවන ලද සුලසා ගැන සිතමින් සිටියදී එයම චුති චිත්තය වූ බැවින් මරණයෙන් මතු නුග රුකක රුක් දෙවියෙක් ව ඉපදුණේ ය. මුගලන් මහ රහතන් වහන්සේට අග්ගලා හා පැන් පූජා කළ පිනෙන් අවීචියට යන්න සිටි ඔහු රුක් දෙවි උපතක් ලද්දේ ය. චුති චිත්තය දානය පූජා කිරීමේ පුණ්‍ය කර්මයට වූවා නම් දෙව්ලොව පහළවීමට හැකියාව ද තිබිණ. දාන, ශීල, භාවනාදී ත්‍රිවිධ පින්කම්වලට නැඹුරුව දුසිරිතෙන් තොර අයකු වූවා නම් ශ්‍රේෂ්ඨ සිටු තනතුරක් ලැබීමට ද වාසනාව ඔහු සතුව තිබුණි. කුඩා අවධියේ පැවිදි වූවා නම් රහත් වීමට ද, මැදිවියේ පැවිදි වූයේ නම් අනාගාමී වීමට ද, පශ්චිම වියේ පැවිදි වූයේ නම් සෝවාන් පෙළෙහි පිහිටීමට ද වාසනාව තිබූ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

'සුලසා' කාන්තාව උයනට යන විටදී නුගරුක් දෙවියා අඳුරක් මවා ඇය තමන් ගේ විමනට රැගෙන ගොස් සතියක් ම ඈ සමඟ වාසය කළේ ය. සුලසාගේ මෑණියන් තම දියණිය ගැන කිසිදු තොරතුරක් නොදැන ඈ සොයමින් ඇවිදින්නීය. එවිට මුගලන් මහ රහතන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ දී සත්වැනි දින ඈ හමුවන බව පැවසූහ.

සත්වැනි දින රුක්දෙවි, සුලසා වේළුවනාරාමයට රැගෙන ආවේ ය. මහජනයා කුඹුරක් වැනි ආර්ය මහා සංඝ රත්නයට දන් පිරිනැමීමෙන් අපාදුකෙන් ද මිදී දිව්‍ය සම්පත් ලැබීම ආශ්චර්ය යැයි මහජනතාව කියා සිටිද්දී රැස් වු පිරිසට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කොට වදාළ සේක.

ඛෙත්තුපම පේ‍්‍රත වස්තුව අර්ථෝත්පත්ති වශයෙන් දේශනා කළහ.