Print this Article


කෙස් කළඹ දන් දී විපාක ලැබූ හැටි

කෙස් කළඹ දන් දී විපාක ලැබූ හැටි

බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහාරයේ වැඩ සිටි සමයේ කච්චායන මහරහතන් වහන්සේ තවත් රහතන් වහන්සේ සත් නමක් සමඟ උජ්ජේනි නුවර බලා පිටත් වුණා. දින ගණනක් ගව් සිය ගණනක් මඟ ගෙවමින් වැඩම කළා.

පිණ්ඩපාතය ලබා ගැනීමට පිඬු සිඟා වැඩියා. දවසක් කච්චායන මහරහතන් වහන්සේ ඇතුළු සියලු දෙනා වහන්සේට ම පිණ්ඩපාතය ලැබුණේ නෑ. වැඩම කර තිබුණේ තේලප්පනාළි නම් ගමකට. එය ඉතාම දුෂ්කර ගමක්. ගම් වැසියෝ හැමෝම දුප්පත්. එසේ වුවත් පොහොසත් පවුල් දෙකක් ජීවත් වුණා. දෙපිරිසට ම හිටියා රූමත් දියණිවරු දෙදෙනෙක්. එක් සිටුපවුලක් නිතර දන් දුන්නා. ගුණ දම් පිරුවා. දරුවාටත් ඒවා හුරු කළා. අනෙක් පවුලේ සිටු දියණිය තරුණ වයසට පත් වෙද්දීම දෙමාපියන් හදිස්සියේ මිය ගියා. අනෙක් සිටු පවුල ඉතාම පොහොසත්. හොඳින් ජීවත් වුණා. එහෙත් කිසිම අවස්ථාවක, කවර හේතුවක් නිසාවත් අසරණයින්ට උදව් කළේ නෑ. දන් දුන්නේ නෑ. අනෙක් සිටු දියණිය දෙමාපියන්ගේ මරණයෙන් පස්සේ ජීවත් වුණේ කිරිඅම්මා කෙනෙක් ළඟ. කිරි අම්මාත්, ඇයත් හැකි අයුරින් ජීවත් වෙන්න පටන් ගත්තා. මුදල් අවසන් වන විට ක්‍රමයෙන් කෙත්වතු, ඉඩකඩම් ආදියත්, ගෘහභාණ්ඩ ආදියත් විකුණමින් ජීවත් වෙන්න පටන් ගත්තා. නොබෝ කලකින් වස්තුව සම්පූර්ණයෙන් ම නැති වුණා. ජීවත් වෙන්න ක්‍රමයක් සොයා ගැනීමටවත් නොහැකි වුණා.

සිටුදියණිය දවසක් ජනේලයෙන් මාර්ගය දෙස බලමින්

.."අද දවස ජීවත්වීමට මුදල් හොයා ගන්න ඕන. ගෙදර වටිනා සම්පත් විකුණා මෙතෙක් කල් ජීවත් වුණා. කුමක් හෝ රැකියාවක් කරන්න ඕන. පවතින දුර්භික්ෂ සමය ඒකට බාධාවක්," යනුවෙන් කල්පනා කරන්න පටන් ගත්තා. ඒ අතර එක්වරම ඇය දුටුවා භික්ෂූන් වහන්සේ සත් නමක් මාර්ගයේ වඩිනවා. ඉහළ මාලයේ සිටි ඇයට තෙරුන් වහන්සේගේ පාත්‍ර හිස් බවත්, පිණ්ඩපාතය ලැබී නැති බවත් දැක ගන්න ලැබුණා. තෙරුන් වහන්සේ කුසගින්නෙන් පීඩාවිඳිමින් සිටින බව ගමන් විලාසයෙන් ම හඳුනා ගත්තා. ඇයගේ හදවත කම්පා වුණා. ..දන් දෙන්නට මට යමක් නෑ. අනේ මට අද දන් දීමට හැකියාවක් තියෙනවා නම් කොතරම් මහත් වූ පිනක් කර ගන්න පුළුවන්ද? අම්මටත්, තාත්තාටත් පින් අනුමෝදන් කර ගන්න පුළුවන්, යි සිතිවිලිවල පැටලෙමින් දන්දීමට ක්‍රමයක් හෙව්වා.

ඇයට මතක් වුණා. අනෙක් සිටු පවුල අඩුමිලට වස්තුව මිලදී ගන්නා බව. මීට සතියකට පමණ ඉහත දී මගේ කෙස් කළඹ විකුණනවාදැයි අසා තිබුණා. කහවණු දහසකට එය මිල දී ගන්න කැමැති බවත් දන්වා තිබුණා.

තවත් දවසක් කහවණු දහසක් සමඟ සේවකයකුත් එවා තිබුණා කෙස් කළඹ අරගෙන යන්න. ඒ හැම අවස්ථාවක ම මම කැමැති වුණේ නෑ. මට තියන එකම සම්පත, සතුට මගේ මේ කෙස් වැටී යයි. ඉතින් දැන් මට ඉතිරිව ඇත්තේ මේ සම්පත විතරයි. අද මෙය විකුණා හෝ තෙරුන් වහන්සේලාට දන් දෙන්න ඕන. ඉක්මනින් ම තෙරුන් වහන්සේලාට ආරාධනා කර නිවසට වැඩමවා ගන්න ඕන. ඊට පසු දන් දෙන්න පුළුවන්,යැයි සිතා කිරි අම්මාට වහා කතා කළා .

කිරි අම්මේ, කිරි අම්මේ ඉක්මනින් එන්න. අර පාරේ වැඩම කරන භික්ෂූන් වහන්සේ සත් නමට අපේ ගෙදර දානයට වැඩම කරන්න ආරාධනා කරන්න,යැයි දන්වා සිටියා.

ස්වාමිනි, ඔබවහන්සේට අපගේ සිටු දියණිය දානයට ආරාධනා කරනවා. වඩින සේක්වා'යි කිරි අම්මා ආරාධනා කළා.

තෙරුන් වහන්සේලා වැඩම කළ පසු සිටු දියණිය තම කිරි මව කාමරයකට කැඳවා .." කිරි අම්මේ මට අද දන් දෙන්න විදිහක් නෑ තමයි. ඒත් දන් දෙන්න ක්‍රමයක් තියනවා. මම අද මගේ කෙස් වැටිය අර සිටු කුමරියට විකුණනවා. දවස් කිහිපයක් ම මගේ කෙස් කළඹ මිලට ගැනීමට සේවකයන් එවා තිබුණා. මේ කෙස් කළඹ දී ඇය දෙන මුදලක් අරගෙන එන්න. අපි එයින් දන් දෙමු,යි පවසා කෙස් වැටිය කපා කිරි මව අතේ පොහොසත් කුමරිය වෙත යැව්වා.

පොහොසත් කුමරියට තිබුණේ කිසිදු හැඩයක් නැති, අවර්ණ වූ ඉතා කෙටි කෙස් වැටියක්. ඇය එයින් බොහෝ පීඩා වින්දා. සිටුකුමාරවරුන්ගේ සිත් දිනා ගැනීමට එය බාධාවක් වුණා. ඒ නිසා ම දුප්පත් සිටු කුමරියගේ කෙස් කළඹ ගැනීමට උත්සාහ කළා. කිරි මව තෙරුන් වහන්සේට නො පෙනෙන සේ ගෙයින් පිට වී හඬමින්, වැළපෙමින්, නීරෝගී, කාල වර්ණයෙන් බබළන, දිග කෙස් වැටිය තුරුළු කරගෙන පොහොසත් සිටු කුමරිය වෙත ගියා. ඇය හමු වී කෙස් කළඹ මිලදී ගන්නා ලෙස ඉල්ලා සිටියා ..මම දවස් කිහිපයක් ම සේවකයින් යවා කහවණු දහසකට මිලදී ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ දෙන්න බෑ කිව්වා. දැන් මට ඕන නෑ. ඔබට විකුණන්න ඕනම නම් කහවණු අටක් දෙන්නම්. ඊට වැඩිය ගෙවන්න බෑ. අකැමැති නම් අරගෙන යන්න,යැයි පොහොසත් සිටුකුමරිය දන්වා සිටියා. කිරි මවට මහා දුකක් වේදනාවක් දැනුණා. එහෙත් තමන්ගේ සිටු දියණියගේ සතුට අහිමි කිරීමට ඇති අකැමැත්ත නිසාම ඒ මුදලට කෙස් කළඹ විකුණා මුදල් ගෙන ගියා. දුප්පත් සිටු දියණිය ඒවා දී ආහාර මිල දී ගෙන පූජා කිරීමට කිරි මවට දැන්වූවා. කෙස් නැති තරුණ දියණියක් වූ ඇය මහත් වූ ලජ්ජාවෙන් කාමරයෙන් එළියට පැමිණියේ නෑ. කිරි මව ලවා සියලු කටයුතු කළා.

කච්චායන මහ රහතන් වහන්සේ ඇයගේ වාසනා සම්පත් දැක ..පින්වත් උපාසිකාවෙනි, ඔබගේ ස්වාමි දියණිය කොහිද?,යි විමසා සිටියා.

ඇතුළු ගෙයි සිටිනවා ස්වාමිනි,යි පවසා සිටි විට ..ඇය කැඳවන්න, ඇය මහත් වූ වාසනා ගුණයක් ඇති කුලඟනක්,යැයි පවසා සිටියා.

තෙරුන් වහන්සේගේ වදන් අසා කාමරයේ සිටි සිටු දියණිය කිසිදු ලජ්ජාවකින් තොරව මහත් වූ ශ්‍රද්ධාවෙන් පැමිණ කච්චායන මහ රහතන් වහන්සේ සහ සෙසු රහතන් වහන්සේට නමස්කාර කර නැඟී සිටිනවාත් සමඟ ඇයට පෙර තිබුණු කෙස් කළඹටත් වඩා අලංකාරවත්, නීරෝගී කෙස් කළඹක් ලැබුණා.

තෙරුන් වහන්සේ එකෙණෙහිම අහසට පැණ නැඟී උදේනි නුවරට ඍද්ධියෙන් වැඩම කර එ නුවර මහරජුගේ කඤ්චන නම් උයනට බැස ආහාර වැළදුවා. උයන් ගොව්වා කච්චායන මහරහතන් වහන්සේ හඳුනාගෙන රජතුමා වෙත ගොස් ..මහ රජතුමනි, ඔබ වහන්සේ හඳුනන කච්චායන මහරහතන් වහන්සේ උයනේ වැඩ සිටිනවා,යි දන්වා සිටියා. රජතුමාත් මහත් වූ ප්‍රීතියට පැමිණ එහි ගොස් තෙරුන් වහන්සේට නමස්කාර කර ආ ගිය තොරතුරු විමසන්නට පටන් ගත්තා. කච්චායන මහ රහතන් වහන්සේ දන් දුන් සිටුදියණියගේ පුවත ඒ අවස්ථාවේ දන්වා ඇයගේ ගුණ වර්ණනා කළා. රජතුමා මහත් වූ සතුටට පත් වෙලා ඇමැතිවරුන් යවා ඇය ගෙන්වා ගෙන අගමෙහෙසි තනතුරේ තබා ගත්තා.

දුප්පත් සිටු දියණිය මරණින් මතු දෙව්ලොව සැපත් වින්දනය කළා. කෙලෙස් ප්‍රහීණ කළ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේට දන් දීමට අවස්ථාවක් ලැබී එය නො මඟ හරවා තම කේශ කලාපය විකුණා උපයා ගත් මුදලින් දන් දී මෙලොව මහත් වූ ලෞකික සම්පතුත්, දෙව්ලොව අපමණ දිව්‍ය සැපත් ලැබීමට ඇය භාග්‍යවත් වුණා.