Print this Article


සිල්වත්කම අනුව අනුසස් ලැබෙන දානයේ විපුල පල

සිල්වත්කම අනුව අනුසස් ලැබෙන දානයේ විපුල පල

දානය නම් දීම යි. පරිත්‍යාග චේතනාවෙන් කරන දීම දානයට ඇතුළත් වේ. දානය ප්‍රධාන වශයෙන් අංශ දෙකකට බෙදේ. එනම් ආමිස දානය හා ධර්ම දානය යි. ධර්ම දානය ප්‍රතිපත්ති දානය ලෙස ද හැඳින්විය හැක.

ආමිස දානය පෞද්ගලික හා සාංඝික වශයෙන් කොටස් දෙකකින් යුක්ත වේ. ඒ අනුව මජ්ක්‍ධිම නිකායේ දක්ඛිණා විභංග සූත්‍රය තුළින් ඒ පිළිබඳ පූර්ණ විග්‍රහයක් කර ඇත. ඒ අතර පෞද්ගලික දාන 14 ක් ද, සාංඝික දාන 07 ක් ද පිළිබඳ දේශනා කොට ඇත.

සාංඝික දාන 7 අතුරින් පළමු දානය වන්නේ බුදුරදුන් ප්‍රමුඛ භික්ෂුණී යන උභතෝ කෝටික සංඝයා වහන්සේ කෙරෙහි දෙන දානය යි.

කාලීන වශයෙන් දිය හැකි පහසුම දානය වන්නේ බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය කෙරෙහි දෙන දානය යි.

බුදු සසුනේ මහා සංඝයා වහන්සේ කෙරෙහි දානය දීමේ දී සිල්වත්කම අනුව ද ආනිසංස අඩු වැඩි වන ආකාරය පැහැදිලි වේ. ඒ අනුව තිරිසන්ගත සත්වයා කෙරෙහි දන් දීමෙන් සියයක් අනුසස් ද, පුහුදුන් දුස්සීලයාට දීමෙන් දහසක් අනුසස් ද, වීතරාගී තවුසාට දීමෙන් කෙළ ලක්ෂයක් අනුසස් ද, සෝවාන් මාර්ගයට පත් ශ්‍රාවකයාට දීමෙන් අසංඛෙය්‍ය, අප්‍රමෙය්‍ය අනුසස් ද ලබන බවයි.

සෝවාන් ඵලයට පත් වූ ශ්‍රාවකයාට දන් දීමෙන් ලැබෙන අනුසස් කියා නිම කළ නොහැකි බව දේශනා කළහ.

සාංඝික වශයෙන් දානය දීමේ දී අතීත, වර්තමාන, අනාගත යන කාල තුනට ම අයත් මහා සංඝ රත්නය ම එයට ඇතුළත් වනු ඇත. ඒ නිසාම එහි ආනිසංස ද “අනන්තං අප්පමෙය්‍යං වදාමි” යනුවෙන් අනන්ත අප්‍රමාණ අයුරින් ප්‍රමාණයක් සීමාවක් නොදක්වා දේශනා කොට ඇත.

යමෙක් පෞද්ගලිකව බුදුරදුන්ට දුන් දානය තුළින් වුව ද සාංඝික දානයකින් ලැබෙන ආනිසංස ලබා ගැනීමට අපොහොසත් වෙති. ඒ බව බුදුන් දවස සිදුවීමකින් තහවුරු වේ.

වරක් ප්‍රජාපතී ගෝතමීය තමන්ම නූල් කැට, සකසා වියන ලද අලුත් වස්ත්‍ර යුගලක් රැගෙන බුදුරදුන් වෙත එළඹ එය පිළිගන්නා ලෙස තෙවරක් ම පිළිගැන්වුව ද බුදුරදුන් එය පිළිනොගෙන දේශනා කළේ,

“සංඝෙ ගොතමී දෙහි. සංඝෙ තෙ දින්නෙ අහං චෙව පූජිතො භවිස්සාමි” (ගෝතමිය මේ වස්ත්‍ර යුගල සංඝයාට පුදන්න.

සංඝයාට පිදූ කල්හි මට ද පුදන ලද්දෝ වෙමු.)

එයට හේතුව වන්නේ තම සුළු මවට වැඩි ආනිසංසයක් ලබාදීම උදෙසා සාංඝික වශයෙන් “සංඝෙ දෙහි” යනුවෙන් බුදුරදුන් ද එයට ඇතුළත් ව දීමට හැකි වන බවයි. එයින් පැහැදිලි වන්නේ සංඝ යන වචනයෙන් සමූහය යන අර්ථය දක්වා ඇති බවයි.

අද වුව ද දානයක් දීමේ දී “ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දෙම” යන වාක්‍ය තුළින් සංඝ සමූහයාට ම දීමක් සිදු වන අයුරු පැහැදිලි කොට ඇත. බුදුරදුන් ප්‍රමුඛ අතීතයේ වැඩ විසූ සංඝ රත්නය ද, වර්තමානය තුළ ලොව පුරා වැඩ වසන සියලු සංඝ රත්නය ද, අනාගතයේ පහළ වන කසාව කණ්ඨක දක්වා බිහිවන අය ද “සංඝස්ස දෙම” යන වචනයට ඇතුළත් වේ.

අංගුත්තර නිකායේ දාරුකම්මික සූත්‍රය තුළින් බුදුරජාණන් වහන්සේ දාරුකම්මික ගෘහපතියාට පෙන්වා දෙන්නේ ද ඔබ වැන්නකුට භික්ෂූන් තෝරා බේරා දන්දීම අපහසු කරුණක් බවත්, සුදුසුම ක්‍රමවේදය වන්නේ පැහැදුණු සිතින් යුතුව “සංඝයා වෙනුවෙන් දෙමියි” යන අරමුණෙහි පිහිටා දන්දීම කළ යුතු බව යි.

දක්ඛිණ විභංග සූත්‍රයට අනුව අනාගතයේ බුද්ධ ශ්‍රාවකයාගේ කෙළවර වන්නේ කාසාවකණ්ඨක නම් දුශ්ශීල, පාපී, ළාමක, ගති ස්වභාව චර්යා ධර්ම ඇත්තකුගේ පහළ වීමෙන් ය.

අනාගතයේ දී බිහිවන දුශ්ශීල, පාපී, ළාමක, ගති ස්වභාව චර්යාධර්ම ඇති කාසාව කණ්ඨක නැමති භික්ෂු වේශධාරියාට වුවත් දෙනු ලබන දානය අප පුදන්නේ ආර්ය සංඝයා වහන්සේ අරමුණු කරගෙන නම්, එහි සාංඝික දානයේ ආනිසංස ම ඇති බව බුදුන් වහන්සේ වදාළහ.

කාලයත් සමඟම භික්ෂූන් වහන්සේගේ භික්ෂු ආකල්ප පරිහානියට පත් වන්නේ ය. නිගණ්ඨින් ලබු කබල් ගන්නාක් මෙන් වැළමිටින් පාත්‍රය ගැනීම, සිවුරු දැරීම ටිකෙන් ටික කඩ කිරීම, පඬු පෙවීම් නොකර සිවුරු දැරීම, පසුව එම සිවුරු දැරීම කවර ප්‍රයෝජනයක් ද සිතා කුඩා කහකඩක් අතේ හෝ කරේ හෝ කෙස්සෙහි බැඳගෙන අඹුදරුවන් පෝෂණය කරමින්, කෘෂිකර්ම වෙළඳාම් ආදී කර්මාන්ත කරමින් ජීවත්වීම සිදු කිරීම යි.

එකල්හි දක්ෂිණා දෙන්නෝ සංඝයාට දෙමි’යි ඔවුන් ඉදිරියේ දන් සඳහා යමක් පුදයි ද ඒ දානයට පවා අප්‍රමාණ ආනිසංසයක් ලැබෙන බව ඉහතින් මතක් කළ දක්ඛිණ විභංග සූත්‍ර පාඨයට අනුව තේරුම් ගත යුතු ය.

මේ ආකාරයට සංඝයා වහන්සේ උදෙසා දන්දීමේ දී කාසාව කණ්ඨක වුව ද හසුවන බව අවබෝධ කර ගත යුතු ය.

කාසාව කණ්ඨක මොනතරම් දුස්සීල භික්ෂුවක් වුව ද ඔහු ද සංඝ හෙවත් සමූහයට අයත් වන්නෙකි. අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයට ම අයත් සියලුම භික්ෂූන් වහන්සේ සංඝ යන වචනයෙන් අර්ථවත් වේ.

හරියට දම්වැලක පුරුක් සේ මෙම බුද්ධ ශාසන අවිච්ජින්නව පැවතගෙන එන්නකි. තම පෞද්ගලිකත්වය මත බෙදීම් හෝ අප්‍රසාද ඇති නොකොට ගෙන සංඝ සමාජය උදෙසා පොදුවේ දන් දී එයින් ලැබෙන මහත්ඵල මහානිසංස ලැබ මෙලොව දිවිය සැපවත් කොටගෙන, පරලොව දුක් නැතිකොට ගෙන අවසන නිවනින් සැනසීමට සැමට ම ප්‍රඥා ඇස පහළ වේවා.