Print this Article


තමන්ගේ රැකවරණය සලසාගත යුතු තමන් ම ය

තමන්ගේ රැකවරණය සලසාගත යුතු තමන් ම ය

කායෙන සංවුතා ධීරා - අථො වාචාය සංවුතා
මනසා සංවුතා ධීරා - තෙ වෙ සුපරිසංවුතා

දිනක් ආනන්ද හිමියන් ඇමතූ බුදු පියාණෝ මේ ‘බට’ ‘බට’ යන ශබ්දයක් ඇසෙන්නේ කුමක්දැයි විමසූහ. “ස්වාමීනි සවග මහණුන් දෙ අතින් සැරයටි ගෙන, ලීයෙන් කළ පාවහන් ලා ගෙන, කළු ගල් මත ඇවිදින විට නැගෙන හඬයි ඇසෙන්නේ” යනුවෙන් අනද හිමියෝ පිළිතුරු දුන්හ.

මෙහි සවග මහණුන් යැයි දැක්වූයේ පණ්ඩුක, ලෝහිතක, මෙත්තිය, භුම්මජක, අස්සජි, පුනබ්බසුක යන භික්ෂූන් ය. බුද්ධ කාලයෙහි බොහෝ අවස්ථාවල අවිනයවාදීව හැසිරුණු මේ සය නම නිසා විනය පිටකයෙහි දැක්වෙන බොහෝ ශික්ෂා පද පැන වූ බව පෙනේ.

අනුන්ට කරදර හිරි හැරවන මෙන්ම, අනුන්ගේ පිළිකුලට ලක් වෙන අන්දමට විවිධ ඉරියව් ගත කළ අය එදා මෙන්ම අද ද සමාජයේ ජීවත් වෙති. මහ මඟ යන විට කෑකෝ ගසමින් ද , වාහනයක යතොත් අනවශ්‍ය ලෙස නලාව හඬවමින් ද අද සමහරු ගමන් කරති. තම නිවසේ ගුවන් විදුලි යන්ත්‍රය නොවේ නම් රූපවාහිනිය අසල ජීවත් වන අයට කරදර වන ලෙස ක්‍රියාත්මක කරන්නෝ ද මේ සමාජයේ වෙති. තම වාසිය පමණක් සලකන තවත් සමහර අය නිලතල ළඟා කර ගැනීම සඳහා විවිධ අකටයුතුකම් කරති. එපමණක් නොව අනුන්ගේ ඉඩකඩම්වලින් සුළු කොටසක් හෝ අයත් කර ගැනීම සඳහා වැට කඩුළු තාප්ප ආදිය ඉදිකරන්නෝ ද බොහෝ වෙති. මෙවැනි දේ දුෂ්චරිත ක්‍රියා වශයෙන් බුදුහු පෙන්වා දුන්හ.

සවග මහණුන්ගේ අසංවර ගමන් හි වරද පෙන්වා දුන් බුදුහු නුවණැත්තන් සිත, කය, වචනය යන තිදොරින් ම මනා කොට සංවරව ක්‍රියා කරන බව මතු සඳහන් ගාථාවෙන් පෙන්වා දුන්හ.

මනා වූ සංවරය නිසා අපට ලැබෙන උසස් ප්‍රතිඵල සුපරිසංවුත, සුරක්ඛිත, සුගොපිත, සුපිතිතද්වාර යන වචන හතරකින් අටුවාව පෙන්වා දෙයි. මෙහි සුපරිසංවුත යන්නෙන් මෙලොව දී සිදුවන උසස් වූ සංවරය ප්‍රකාශ වෙයි. ශිෂ්ට, හැදුනු, සන්සුන් ආදී වචනවලින් ද පැවසෙන්නේ ඒ උසස් ගුණය යි.

අවිහිංසාවත්, අනුන් සතු දේ නො ගැනීමත්, කාමයෙහි වරදවා නො හැසිරීමත් යන ක්‍රියාවන්ගෙන් යුක්තව කය සංවර කර ගැනීමත් බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන වරද හතරෙන් ඉවත්ව යහපත් වචන කතා කිරීමත්, දැඩි ලෝභය, ක්‍රෝධය සහ වැරැදි අවබෝධයන්ගෙන් පහව සිත සංවර කර ගැනීමත් තුළින් ඕනෑම කෙනකුට ශිෂ්ට හෙවත් සංවර කෙනකු බවට පත් විය හැකි ය.

අටුවාවෙහි දැක්වෙන සුරක්ඛිත යන්නෙන් පැවසෙන්නේ සංවරය තුළින් මැනවින් රැකෙන කෙනකු බවට පත්වන බවයි.

අනුන්ට කරදර හිරිහැර කරන තැනැත්තාට අන් අය ද එවැනි දේ කරනු ඇත. සොරකම් වැනි අපරාධ කරන අයට නින්දා, අපහාස පමණක් නොව දඬු මුගුරු, අවි ආයුධවලින් පහර කෑමට ද සිදුවේ. එපමණක් නොව නීතියේ රැහැනට හසුව දරුණු වද බන්ධනයන්ට මුහුණ පාන්නට වෙයි. එවැනි වැරැදි මාර්ගයන්ගෙන් ඉවත්වන තැනැත්තා තුළින් නිරන්තරයෙන් සිදු වන්නේ යහපත් ධාර්මික ක්‍රියාවන් ය. මේ නිසා බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට හැකි වෙයි.

සසර ගමනේ යෙදෙන්නා වූ අප මෙලොව ගත කරනුයේ ඉතා සුළු කාලයකි. මෙය තේරුම් නොගන්නා සමහරු මරණින් මතු සිදුවන උපත අමතක කොට විවිධ දුශ්චරිතයන්හි යෙදෙමින් මෙලොව තාවකාලික සැපත පමණක් ළඟා කර ගැනීමට ක්‍රියා කරති.

විවිධ සමාගම් යටතේ රක්ෂණයන් ලබාගෙන ඇතැයි උදම් අනන බොහෝ දෙනා ඒවායින් පරලොවට සිදුවන ආරක්ෂාවක් නැති බව කල්පනා නො කරති.

මෙලොව කරන වැරදි වැඩවලින් පරලොව අපමණ දුක් විඳින බව සිතීමට තරම් ගැඹුරින් කල්පනා නො කිරීම අවාසනාවකි. මේ දුක්ඛදායක තත්වයෙන් මිදී සුගොපිත හෙවත් මනා වූ ආරක්ෂාව පරලොවින් ද ලබා ගැනීමට මෙලොව සංවරය හේතු වෙයි.

අපේ ජීවිත ආරක්ෂිත ව හා සැපවත් ව පවත්වා ගැනීමේ වගකීම අප සතු ය. එසේ නම් මරණින් මතු නිවන් දකින තුරු නරක, තිරිසන්, ප්‍රේත හා අසුර යන සතර දුගතියෙන් එකකට හෝ නො වැටී ගමන් කරන ලෙස කටයුතු කිරීමට අපට පුළුවන්කම ඇති බව අමතක කළ යුතු නොවේ.

මනා වූ සංවරයෙන් ක්‍රියා කිරීම තුළින් එකී සතර අපායෙහි දොර වසා ගත හැකි බව අටුවාවේ සඳහන් වූ සුපිහිතද්වාර යන්නෙන් පෙන්වා දී ඇත. එසේ නම් මෙලොව සහ පරලොව සැපත කැමති සැම දෙනාම මනා සංවරයෙන් ක්‍රියා කළ යුතු බව සිතට ගැනීම වැදගත් ය.