Print this Article


සියඹලාණ්ඩුවඓතිහාසික මානාභරණ රාජමහා විහාරය

 සියඹලාණ්ඩුව ඓතිහාසික මානාභරණ රාජමහා විහාරය

ශ්‍රී ලංකාවේ ඓතිහාසික බෞද්ධ ස්මාරකයක් වූ මානාභරණ රාජමහා විහාරය පිහිටා ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මානාභරණ ග්‍රාම නිලධාරී වසමේ ය.

රෝහණ දේශය ඉතා කෙටි කාලයක් පාලනය කළ නමුදු සිරිවල්ලභයන් ගේ පාලන සමය රට දේශපාලන ස්ථාවරත්වයකින් යුත් කාල පරිච්ඡේදයක් විය.

සිරිවල්ලභයන්ගේත්, සුගලා දේවියගේත් පුත්‍රයා වූ මානාභරණ රෝහණ දේශයේ නැඟී එන දේශපාලන චරිතයක් වුව ද අවාසනාවකට මෙන් ඔහු අනපේක්ෂිත ලෙස අසාර්ථක අවසානයකට පත් වෙයි.

මානාභරණ මියයෑමට ටික කලකට පෙර කරවූ කටගමුව පුවරු ලිපියට අනුව ඔහු ජීවත් වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1146 ආසන්න කාලයක දී ය. සිරිවල්ලභ සහ මානාභරණගෙන් අනතුරුව සුගලා දේවිය රෝහණය අත්පත් කර ගත්තා ය.

සිරිවල්ලභ රාජකීය පවුලේ සාමාජිකයන් බුදු දහම වෙනුවෙන් බෙහෙවින් පරිත්‍යාගශීලී ව ප්‍රදේශය තුළ බෞද්ධ විහාරාරාම ගොඩනැඟීම සඳහා උදව් උපකාර කළ බව ඉතා පැහැදිලි ය. මානාභරණ විහාරය ද නොමඳ අයුරින් එකී රාජ්‍ය අනුග්‍රහය ලැබූ සිද්ධස්ථානයකි. දැනට මෙම ආරාම භූමියෙහි දැකිය හැකි පෞරාණික වාස්තු විද්‍යාත්මක නටබුන් මඟින් පැහැදිලි වන, ප්‍රධානතම කරුණ නම්, පුරාතනයේ දී සැදැහැවතුන්ගේ පූජෝපහාරයට ලක් වූ ප්‍රමුඛ ආගමික මධ්‍යස්ථානයක් වශයෙන් මානාභරණ විහාරය පැවැති බවයි.

ගලින් කළ කුළුුණු සහ ටැම් මෙන් ම ස්තූපයක් ආදී පෞරාණික ගොඩනැඟිලිවලට අයත් සැලකිය යුතු ප්‍රමාණයක නෂ්ටාවශේෂ, ආරාම භූමිය වටා දිවෙන සුවිසල් ගල්පුවරුවලින් නිර්මිත ශිලා පවුර සහ පිටත ප්‍රාකාරය තෙක් ආරාම භූමිය තුළ විසිර පවත්නා පෞරාණික අවශේෂ මෙම පුදබිමෙහි ප්‍රෞඪත්වය මනාව ගෙනහැර දක්වයි.

මෙහි ඓතිහාසික දාගැබ ගරාවැටී තිබූ හෙයින් වර්ෂ 2021 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් කැණීම් කටයුතු සිදු කෙරිණි. 2014 වසරේ දී මෙහි සංරක්ෂණ කටයුතු අවසන් කෙරිණි. මෙම මානාභරණ රාජමහා විහාරය යටතේ විහාරස්ථාන සතරක් පාලනය වෙයි. දෙගල්හෙල පුරාණ රාජමහා විහාරය, මුගුණුමල් පුරාණ රාජමහා විහාරය, ශ්‍රී සම්බෝධ විහාරය සහ ගල්කිස්ස ශ්‍රී රම්‍ය විහාරය යි.

කීර්තිශේෂභාවෝපගත වත්තේගම ජිනරතන නා හිමිගේ මැදිහත්වීමෙන් 2003 වසරේ මෙහි මානාභරණ පිරිවෙන ආරම්භ කළේ ය. කුරුඳුගහවත්තේ ඉන්දසිරි හිමි පිරිවෙන හා විහාරස්ථානයේ දෛනික කටයුතු පවත්වාගෙන යෑම සඳහා දැඩි පරිශ්‍රමයකින් ක්‍රියා කරයි. විහාරස්ථ දායක සභාව, කාන්තා සමිතිය, තරුණ පිරිස සහ සිරි සිදුහත් දහම් පාසල විහාරස්ථානයේ සංවර්ධනයට දක්වනුයේ අප්‍රමාණ සහයෝගයකි.