Print this Article


සදහම් අරණ

බුදු හිමියනි

බුදු බව පතාලයි පාරමි දම් පිරුවේ
ඒ පින් බලෙන් ඉපදී බුදු බව ලැබුවේ
බුදු ගුණ ලොව පුරා සැම තැන පැතිරූවේ
එලෙසම බුදු ගුණෙන් සැම සිත් සැනසූවේ

මේ තුන් ලෝකයට ආලෝකය වන්නේ
අසරණ අයට සැම විට සරණක් වන්නේ
බුදු ගුණ අනන්තයි එය අප සැම දන්නේ
එම ගුණ නිසයි සැම විට සිත් සැනසෙන්නේ


වෙසක් පොහොය

මැයි මාසයේ යෙදෙන පින්බර වෙසක් පොහොය බෞද්ධයින්ට ඉතා වැදගත් දිනයකි. අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම යන තෙමඟුල සිදුවුණේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනක යි.

වෙසක් මාසයේ දී වෙසක් අසිරියෙන් මුළු පරිසරය ම බබළනවා. වෙසක් මල්වලින් මුළු පරිසරය ම හැඩ වෙනවා. ගස්, වැල් ඵල බර වෙලා මිනිසුන්ට වගේම සතුන්ටත් ආහාරවලින් හිඟයක් වෙන්නේ නැහැ. වෙසක් පුර පසළොස්වක පොහොය දින පුන් සඳ එළියෙන් මුළු පරිසරය ම ආලෝකවත් වෙනවා. වෙසක් කූඩු, වෙසක් තොරණවල ආලෝකයත් නිසා තව තවත් පරිසරය අලංකාර වෙනවා.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනට වෙසක් සැරැසිලිවලින් පරිසරය අලංකාර කර ගන්නටත්, සිල් සමාදන් වෙන්නටත්, දන්සල් පවත්වන්නටත් අප අමතක කරන්නේ නැහැ. වෙසක් පොහොය දින අපි හැමෝම බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිකර උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නවා.

විජිත බණ්ඩාර ජයසේන


අසරණයන්ට පිහිට වෙමු

තමන්ගේ එදිනෙදා වැඩකටයුතු පවා නිසි සේ කරගත නොහැකි අය අසරණයෝ වෙති. එවැනි අය අපට නිවසේදීත්, පාසලේදීත් මඟ තොටේදීත් හමුවේ. වයසට යාම නිසා, අසනීප වීම නිසා, ලෙඩ රෝග වැළඳීම නිසා, අත්පා අහිමි වීම නිසා බොහෝ අය අසරණ වෙති. ඒ අයට පිහිට වීම අපේ යුතුකමකි. නිවසේ සිටින ආච්චි, සීයා, අසරණ තත්ත්වයට පත් වී සිටී නම් ඔවුන්ට උදව් කළ හැකි ය. ඔවුහු කුඩා කාලයේ දී අප රැක බලා ගත් අය යි. එහෙත් දැන් ඔවුන්ට තම වැඩකටයුතු තනිව කර ගැනීමට අපහසු නම් අප උදව් කළ යුතු ය. තනිවම ගමන් කිරීමට නොහැකි නම් අත්වැල් සැපයිය හැක. ඇස් නොපෙනෙයි නම්, කන නො ඇසෙයි නම් ඔවුන්ට උදව් කරමින් ඔවුන් නහවා කවා පොවා බෙහෙත් හේත් දී රැක බලාගත යුතු ය. ඔවුන්ට බණ ඇසීමට, සිල් සමාදන්වීමට, පන්සල් යාමට උදව් කිරීම කුඩා අපේ යුතුකමකි.


මගේ දහම් පාසල

මගේ දහම් පාසල ශ්‍රී අමරවංශ අනුනාහිමි දහම් පාසලයි. අපගේ දහම් පාසල අප වෙනුවෙන්, අපගේ ඉදිරි අනාගතය යහපත් කිරීම වෙනුවෙනුත්, නැණවත් දරු පිරිසක් බවට පත් කිරීම වෙනුවෙනුත් ඉතා කළමනාකාරී අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

සම්මන්ත්‍රණ මාලාවක් ද මසකට තෙවරක් පවත්වයි. අපගේ දහම් පාසලේ අනු නායක ස්වාමීන් වහන්සේ විසින් අප දිරි ගැන්වීම උදෙසා වාර්ෂිකව ත්‍යාග ප්‍රදානෝත්සවයක් ද පවත්වනු ලබයි.

තවද අපගේ දහම් පාසල මඟින් අපගේ දැනුම පුළුල් කර ගැනීමට ඇති හැකියාව බොහෝ ය. ගැටලුවක දී සාර්ථකව එය නිරාකරණය කර ගැනීමටත්, අභියෝගවලට සාර්ථකව මුහුණදී ඒවා ජය ගැනීමටත් මා තුළ යම්තාක් දුරට දියුණු වී ඇති හැකියාවට හේතු වී ඇත්තේ අප දහම් පාසල බව මගේ අදහසයි. තවද අප දහම් පාසල් අනුනායක ස්වාමීන් වහන්සේ හා ගුරුභවතුන් විසින් සතිපතා ‘කැකුළු’ නම් ළමා සමාජයක් පවත්වාගෙන යයි. දහම් පාසල දිනෙන් දින වැජඹේවා!


අනේපිඬු සිටුතුමා

සැවැත්නුවර පළමුව ඉදි වූ ආරාමය ජේතවනාරාමයයි. එය ඉදිකර වූයේ අනේපිඬු සිටුතුමා ය. මුලින් සුදන්ත නම් වූ එතුමා දන්දීමෙහි නියැළුණු අසරණයන්ට පිහිට වූ කෙනකි. එනිසා ඔහු අනාථපිණ්ඩිත නමින් හැඳින්විය.

සෝවාන් පලයට පත් උපාසකයකු වූ එතුමා තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැවති අසීමිත ගෞරවය නිසා ආරාමයක් තනවන්නට කල්පනා කළේ ය. ඒ සඳහා ජේත නම් රාජ කුමාරයාගේ ඉඩමක් කහවණු පනස් හතර කෝටියක් වැයකර මිලදී ගෙන අංග සම්පූර්ණ මහා විහාරයක් ඉදිකරවන ලදී. එය ජේත කුමාරයාගේ නමින් ම ජේතවනාරාමය යැයි හඳුන්වන ලදී.

ජේතවනාරාමයේ වැඩවසන බුදුරදුන් මහා සංඝ රත්නයේ සියලු සැප පහසුකම් එතුමා සම්පූර්ණ කළේ ය. ඊට අමතරව එතුමාගේ නිවසේ දී නිතිපතා පන්සියයක් මහා සංඝරත්නයට දානය පිළියෙළ වී පැවතුණි. මෙසේ එතුමා බුදු සසුනේ ප්‍රධාන දායකයා බවට පත්විය.