Print this Article


 උදාර දිවියක පිය සටහන්: ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අභිනව ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ

 ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අභිනව ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර වැඩම කරනු ලබන්නේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහා නායක ධුරන්ධර සද්ධර්ම කීර්ති ශ්‍රී ධර්මරක්ෂිත, පණ්ඩිත ශාස්ත්‍රපති අතිපූජ්‍ය අගලබඩ පියසිරි අභිධාන ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ ය.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ සානුනායක ත්‍රිංසත්වර්ගික කාරක මහා සංඝ සභාවේ ඒකමතිකත්වයෙන් පත්කරන්නට යෙදුණු ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරාධිපති විශ්‍රාමලත් විදුහල්පති, මහෝපාධ්‍යාය සද්ධර්ම කීර්ති ශ්‍රී ධර්මරක්ෂිත, පණ්ඩිත ශාස්ත්‍රපති අතිපූජ්‍ය අගලබඩ පියසිරි අභිධාන ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානෝත්සවය අද සවස පස්වරු 02.30 ට මාතර තිහගොඩ ඌරාපොල ශ්‍රී රතනජෝති පරිවේණස්ථ ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථාන මංගල උපෝෂථාගාරයේ දී සිදු කෙරේ.

දොන් එවිස් චන්ද්‍රදාස ජාලත් මුහන්දිරම් වෙදරාළහාමි මහෝපාසකතුමා හා බැරගම ජාතුං දහනායක දෝන ගිමාරා හීන් හාමිනේ මහෝපාසිකා මාතාව යන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න මව්පිය දෙපළගේ පුණ්‍යවන්ත පුත්‍ර රතනයක් ලෙස 1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 20 වැනි දින ජන්මෝත්පත්තිය ලබා හොරේවෙල බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගත්හ. රාජකීය පණ්ඩිත, විචිත්‍ර ධර්ම කථික හම්බන්තර දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය අගලබඩ ඤාණිස්සර නා හිමියන්ගේ පැවැති ඥාති සබඳතාවත්, ශාසනික දිවියට තිබූ බලවත් රුචිකත්වයත් මත සිත්තම්ගල්ලෙන රාජමහා විහාරය වෙත 1959 වර්ෂයේ ජනවාරි මස 15 වැනි දින කැඳවාගෙන පැමිණි පින්වත් කුමරු මූලික ශාසනික වත් පිළිවෙත් පුරුදු පුහුණු විය. අනතුරුව රාජකීය පණ්ඩිත අගලබඩ ඤාණිස්සර නාහිමි සහ දිද්දෙණිපොත පේමරතන නාහිමි යන ලංකා ශාසනාම්භරය ආලෝකවත් කළ ගෞරවනීය නාහිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1959 වර්ෂයේ ජනවාරි මස 29 වැනි දින පූර්වෝපචිත කුසලශ්‍රීයෙන් විරාජමාන ව අගලබඩ පියසිරි යන උතුම් ශාසනික නාමයෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ උත්තරීතර ප්‍රවජ්‍යාභාවයට පත් වූහ. ස්වකීය ආචාර්ය පාදෝත්තමයාණන් වහන්සේ වෙතින් පැවිදි දිවියට ඇවැසි මූලික බණ දහම් පුරුදු පුහුණු වූ උන්වහන්සේ මාතර කිතුලේවල ජයමහා විහාර විද්‍යායතන පිරිවෙනට ඇතුළත්ව ශාසනානුලෝමී හැඟීමෙන් ශික්ෂාකාමී සඟ පරපුරක් ශාසනයට දායාද කළ සාර්වභෞම වියත් ඇදුරුමඩුල්ලක් වෙතින් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා ගනිමින් 1966 වර්ෂයේ දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1968 වර්ෂයේ දී ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. එම කාල පරිච්ඡේදයේ දී ම නිසි වයස් සම්පූර්ණ බැවින් 1965 වර්ෂයේ දී මල්වතු මහා විහාරයේ දී අධිශීල සංඛ්‍යාත සුපරිසුද්ධොපසම්පදාවට පත්වීමට තරම් භාග්‍යවත් වූ ශ්‍රීමත් මහා නායක මා හිමිපාණන් වහන්සේ 1970 වර්ෂයේ දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනවේදී උපාධිය හදාරා 1972 වර්ෂයේ දී වරාපිටිය මහ විදුහලෙන් ගුරුසේවය ආරම්භ කළහ. උන්වහන්සේ 1985 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගත්හ. වසර 30 ක් ගුරු වෘත්තියේ නියැළෙමින් නියෝජ්‍ය විදුහල්පතිවරයකු වශයෙන් විශ්‍රාම ගන්නා තෙක් දැයේ දරුවන්ගේ නැණ නුවණ පහදාදීමට අමිල මෙහෙවරක් ඉටු කළහ.

තායිලන්තය, මැලේසියාව, පිනැංගුව, සිංගප්පුරුව, ජපානය, ඉන්දියාව ආදී විදේශීය රටවවල සංචාරය කළ මාහිමිපාණන් වහන්සේ ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරය ප්‍රතිසංස්කරණ කරමින් සියලු විහාරාරාංගයන්ගෙන් සමලංකෘත දර්ශනීය විහාරස්ථානයක් බවට පත්කරමින් “ශ්‍රී පේමරතන සීමා මාලකය” ද ඉදිකර තවදුරටත් සම්බුද්ධ ශාසනය ආලෝකවත් කළහ.

1989 වර්ෂයේ දී සිත්තම් ගල්ලෙන රාජමහා විහාරාධිපති ධුරයට පත් වූ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ 1990 වර්ෂයේ දී ශ්‍රී රෝහණ සංඝ සභාවේ සාමාජිකත්වය ලබා ගනිමින් 1991 වර්ෂයේ දී ශ්‍රී රෝහණ උපසම්පදාවේ කර්මවාගාචාර්ය ධුරය දරමින් ධර්මධර, විනයධර ශ්‍රද්ධා සම්පන්න ආදර්ශවත් සංඝ නේතෘන් වහන්සේ නමක් වශයෙන් සුවිශාල ශාසනික මෙහෙවරක නියැළුණහ. 1991 වර්ෂයේ දී ම සද්ධර්ම කීර්ති ශ්‍රී යන ගෞරව උපාධිය සහිතව හම්බන්තර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය හොබවමින් එම වර්ෂයේ දී ම ශ්‍රී රෝහණ සංඝ සභාවේ විධායක කාරක සභික ධුරය දරමින් කටුවන උතුරු ගිරුවාපත්තුවේ ශාසනාරක්ෂක බල මණ්ඩලය, එම භික්ෂු මණ්ඩලය, වරාපිටිය අක්ෂිදාන සංගමය, වරාපිටිය ග්‍රාම සංවර්ධන සමිතිය, වලස්මුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩල ආදී වශයෙන් සභාපති ධුරය හොබවමින් ජාතික, ආගමික, ශාසනික වශයෙන් විශාල ශාසනික කාර්යභාරයක් ඉටු කළහ. 2011 වර්ෂයේ දී සද්ධර්ම කීර්ති ශ්‍රී ධර්මරක්ෂිත ගෞරව නාමය සහිතව අනුනායක ධුරයට පත්ව නිවැරැදි ශාසනික ප්‍රතිපදාව අනුගමනය කරමින් සුපේශල ශික්ෂාකාමී අර්ථචර්යාව අර්ථවත් කරමින් උදාර ශාසනික මෙහෙවරක් සිදුකළ මාහිමිපාණන් වහන්සේ 2012 වර්ෂයේ දී මහෝපාධ්‍යාය ධුරයෙන් පිදුම් ලැබූහ. අග්‍රගණ්‍ය පාණ්ඩිත්‍යයෙන්, අත්දැකීම්වලින් පිරිපුන් විචක්ෂණ බුද්ධියෙන් පරිණත මා හිමිපාණන් වහන්සේ ශාසනානුලෝමී හැඟීමෙන් කටයුතු කරන ශික්ෂාකාමී සඟ පරපුරක් සම්මා සම්බුද්ධ ශාසනයට දායාද කළහ.

සාර්වභෞම පාණ්ඩිත්‍යයෙන් සංඝ ශෝභන ගුණයෙන් සම්භාවනාවට පාත්‍ර වූ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ 2022 වර්ෂයේ දී ශ්‍රී රෝහණ පාර්ශ්වයේ වැඩබලන මහානායක ධුරයට පත්ව 2022 වර්ෂයේ මාර්තු 27 වැනි දින ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක ධුරයෙන් පිදුම් ලැබූහ. ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍ය මහෝත්සවය 29 වැනි දින පස්වරු 2.30 ගිහි පැවිදි සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහා නායක ධුරන්ධර සද්ධර්ම කීර්ති ශ්‍රී ධර්මරක්ෂිත, පණ්ඩිත ශාස්ත්‍රපති අතිපූජ්‍ය අගලබඩ පියසිරි අභිධාන ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය චිර ජීවනය, ශක්තිය, ධෛර්ය ලැබේවා.