Print this Article


පූජාච පූජනීයානං

උපශාන්ත ගුණයෙන් යුතු සියඹලාගොඩ ජිනරතන හිමි

පානදුර කෙසෙල්වත්ත ශ්‍රී ගංගාතිලක විහාරය, මාතර අකුරැස්සේ සියඹලාගොඩ ශ්‍රී අභිනවාරාමය යන උභය විහාරාධිපති, ශ්‍රී ගංගාතිලක පිරිවෙනේ කෘත්‍යාධිකාරී සමස්ත ලංකා සාමවිනිසුරු ගෞරවාර්හ සියඹලාගොඩ ජිනරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්භාවනීය ථෙරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන් ජීවමානව ප්‍රකට කරමින් වැඩසිටින උපශාන්ත ගුණයෙන් යුතු ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමකි.

ජිනරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළයේ සියඹලාගොඩ නමැති පෞරාණික ග්‍රාමයෙහි විසූ කලුආරච්චිගේ සෝමාවතී මහෝපාසිකා මාතාවගේ හා රණසිංහ හරමානිස් අප්පුහාමි මහෝපාසක මහතාණන්ගේ පුත්‍රයකු ලෙස වර්ෂ 1966 ජුනි 06 වැනි දින ජන්මලාභය ලැබූහ.

සියඹලාගොඩ බටහිර කණිෂ්ඨ විද්‍යාලයෙන් ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අතර, 1988 පෙබරවාරි 15 වැනි දින උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වූහ. එහි දී ජිනරතන හිමියන්ගේ අස්මදාචාර්යපාදෝත්තමයාණන් වහන්සේ වූයේ සියඹලාගොඩ ශ්‍රී අභිනවාරාමාධිපති ව වැඩ සිටි ආභිධම්මික ගෞරවාර්හ උයන්ගොඩ සීලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සෛ් හා වෛද්‍යාචාර්ය ගෞරවාර්හ දෙහිගස්පේ හේමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

අකුරැස්සේ ශ්‍රී ගංගාරාමස්ථ විද්‍යානන්ද පිරිවෙනේ ආරම්භක ශිෂ්‍ය කණ්ඩායමට ඇතුළත් මූලික පිරිවෙන් අවසාන විභාගය දක්වා එහි ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ ජිනරතන හිමි ඉක්බිතිව දකුණු පළාතේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වූ මාතර මහා මන්තින්ද මහ පිරිවෙනින් හා පානදුර පින්වත්ත ශ්‍රී සද්ධර්මාකර පිරිවෙනේ එවකට පිහිටුවා තිබූ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයානුබද්ධ උසස් අධ්‍යාපන ආයතනයෙන් දෑ අවුරුදු උසස් අධ්‍යාපනය ද ලැබී ය.

1987 මැයි මස 20 වැනි දා මහනුවර මල්වතු මහා විහාරයීය රාජකීය මංගල උපෝසථාගාරයේ දී එවකට මල්වතු පාර්ශ්වයේ මහා නායක පදවිය දැරූ අතිපූජ්‍ය සිරිමල්වත්තේ විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත ආනන්දාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංශත් වර්ගික විධායක කාරක මහා සංඝ සභාව වෙතින් ජිනරතන හිමියෝ අධිසීල සංඛ්‍යාත උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූහ.

එහිදී ඓතිහාසික සෝමවතී රාජමහා විහාරාධිපති ව වැඩ සිටි අතිපූජ්‍ය පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර ගුණානන්දාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ වූ අතර පූර්වෝක්ත ගුරුදේවයන් වහන්සේ ආචාර්යවරයාණන් වහන්සේ වූහ.

පානදුර කෙසෙල්වත්ත ශ්‍රී ගංගාතිලක විහාරස්ථානය නමින් වර්ෂ 1998 දී පමණ පානදුර පැරැණි ගාලු පාරේ සුන්දර බොල්ගොඩ ගඟබඩ පිහිටි ඉතා දර්ශනීය භූමි භාගයක ජිනරතන හිමි අභිනව විහාරස්ථානයක් ඉදි කළේ ය.

පානදුර ප්‍රදේශයේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයට අයත් පිරිවෙනක් නොමැති වුව ද සෙසු නිකායද්වයේ පිරිවෙන් කිහිපයක් ම පිහිටුවා තිබේ. එම අඩුපාඩුව ද මඟ හරවාලමින් ශ්‍රී ගංගාතිලක මූලික පිරිවෙන නමින් වර්ෂ 2001 දී මෙහි අභිනව පරිවේණස්ථානයක් ආරම්භ කළේ ප්‍රදේශවාසී ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ සේ ම අනෙක් නිකායද්වයෙහි භික්ෂූන් වහන්සේ ගේ ද පූර්ණ ආශිර්වාදය මධ්‍යයේ ය.

ජිනරතන හිමියන් වෙත අධිකරණ අමාත්‍යාංශයෙන් වර්ෂ 1996 සිට සමස්ත ලංකා සාමවිනිසුරු පදවියක් ද ප්‍රදානය කොට තිබේ. එසේම ප්‍රාදේශීය සමිති සමාගම් රැසකම අනුශාසක ලෙස ක්‍රියා කරන ජිනරතන හිමි පූර්වෝක්ත උභය විහාරය කේන්ද්‍ර කරගෙන දායකකාරකාදී සැදැහැවතුන්ගේ කුදුමහත් ආගමික කටයුතු ද මහත් උනන්දුවෙන් සිදු කරයි. ධර්ම ශාස්ත්‍රීය වශයෙන් වැදගත් වන “භික්ෂුවගේ විනය කර්ම අත්පොත”, “දස කුසල් හා දස අකුසල්”, මව්පිය උපස්ථානය” “බෝධි පුජාව“, යනාදී ග්‍රන්ථ කිහිපයක් ද මුද්‍රණද්වාරයෙන් පළකොට තිබේ. ජිනරතන හිමි, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ රැසක් පැවිදි කරවා ඇති අතර, උන්වහන්සේ අතර උපාධිලාභීහු රැසක් වෙති.

මෙලෙස ආගමික, සාමාජික, සංස්කෘතික හා අධ්‍යාපනික වශයෙන් සුවිශාල සේවාවන් රැසක නියුතු ගෞරවාර්හ සියඹලාගොඩ ජිනරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශත වර්ෂාධික කාලයක් නිදුක් ව නීරෝගී ව ලෝක ශාසනික සේවාවන් හි නිරතවීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත්, සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේගේ රැකවරණයත් නොමදව ලැබේවා’යි මහත් බැති සිතින් ප්‍රාර්ථනා කර සිටිමි.


බොදු දනට සෙත සදන කුරුවිට ඤාණාරාම නාහිමියෝ

1954 දෙසැම්බර් 18 දින කළුතර දිස්ත්‍රික්කයේ කුරුවිට ග්‍රාමයේ දී උපත ලබා, වයස අවුරුදු 12 දී 1962 ඔක්තෝබර් 19 දින නුගේගොඩ පාගොඩ ශ්‍රී ජයමංගලාරාමයේ දී විහාරාධිපති ප්‍රවචන ධර්ම කීර්ති සෝභිත කුරුවිට ධර්මාරාම උප ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ මූලිකත්වයෙන් කුරුවිට ඤාණාරාම නමින් සසුන් බිමට පිවිසුණහ. පසුව 1974 ජුනි 17 දින සියම් මහා නිකායික කෝට්ටේ පාර්ශවයේ අතිගරු මහා නායක මොල්ලිගොඩ ඉන්ද්‍රජෝති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ ජයමංගලාරාමයේ දී උපසම්පදාව ලබන්නට විය.

අනතුරුව කෙටි කාලයක් හොරණ සොළිරාජ පන්සල බිහිකිරීමේ මූලික කටයුතු සිදුකර ප්‍රදේශවාසීන්ගේ නොමදව ප්‍රසාදයට පත්ව වැඩසිටිය දී අග්ගමහා පණ්ඩිත බෙල්ලන ඤාණවිමල හිමියන් සමඟ කන්තලේ සීනි ආයතනය තුළ පිහිටි විහාරස්ථානයට වැඩම කොට භාරකාරිත්වය ලබන්නට විය. මෙම කාලය තුළ සීනිපුර විහාරස්ථානයේ දර්ශනීය බුද්ධ මන්දිරයක නිමවුමි කටයුතු අවසන් අදියරේ තිබූ බැවින් ඉතිරි වැඩ වහා නිමවා විවෘත කරන්නට වූ අතර කාලීන අවශ්‍යතාවයක් ව පැවැති විශ්‍රාම ශාලාවක් ද ගොඩනඟන්නට විය.

ආයතන භූමිය තුළ දුරස්ථ ප්‍රදේශවලින් රැකියාවට පමණක් ම පැමිණි අය තාවකාලික පදිංචිව සිටිය අතර, අවට ප්‍රදේශ මහා වනයෙන් වටව තිබුණි. දානයකට, පිරිතකට, පාංශු කූලයකට සංඝයා වහන්සේ නමක් සොයා ගැනීම ඉතා අපහසු විය. මේ කෙරෙහි දුර දක්නා නුවණින් සිතූ ඤාණාරාම හිමි රජවැව, අග්බෝගම, පේරමඩුව, මැදගම, තල්ගස්වැව යන ගම් පිහිටුවා දහම් පාසල්, පන්සල් බිහි කරන්නට වූ අතර කුල දරුවන් සසුන්ගත කරන්නට ද විය. සියලු ගම්මානවල යටිතල පහසුකම් කිසිවක් නොවූයෙන් හැකි ලෙස දායක උපකාර ලබා මාර්ග, බෝක්කු, ඒ දඬු, වැව්, නිවාස තැනීමට මිරිවැඩි සඟලක් නොපැළඳ ඒ වෙනුවෙන් වෙහෙසී වැඩ කටයුතු සිදු කරන්නට විය. 1980 දශකයේ යුද සමය ආරම්භ විය. අසරණ මිනිසුන්ට අගහිඟතා වැඩි වන්නට වූ අතර මත් උවදුර තදින් පැවතිණි. අසරණකම නිසාම පිහිටවන මුවාවෙන් ජනතාව අන්‍ය ආගම්වලට යොමුකරවීමේ සංවිධාන බිහි විය.

මේ කෙරෙහි සිත යොමු කළ අප හිමිපාණන් චාරිකා, ධර්ම දේශනා, භාවනා, ශීල වැඩසටහන් ගමින් ගමට වැඩම කර පවත්වන්නට විය. ප්‍රදේශවාසීන් දැනුවත් කර නිවාස තැනීම්, අසනීපවලට පිහිටවීම, මරණයක් වූ විට ඒ සඳහා සියලු උපකාර කිරීම දහම් මග අනුවම ඤාණාරාම හිමි සිදුකරන්නට විය. සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතු ය. එලෙසම 1998 වසරේ ජනවාරි 31 දින ප්‍රවචන ධර්ම කීර්ති ශ්‍රී ධර්මාරාම යන ගෞරව නාමයෙන් යුතුව නැඟෙනහිර තමන්කඩු දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය කොට්ටේ රාජමහා විහාරයේ දී ලබන්නට පින්වන්ත විය. එමෙන්ම කන්තලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරය ද, ලබන්නට විය. තනතුරු තුළින් වැජඹෙන්න නොසිතා වැඩි වැඩියෙන් ජනතාවට, මහා සංඝරත්නයට සේවා කරන්නට විය. එහෙත් නිහතමානි ගුණය නිසාම බොහෝ තනතුරුවලින් ඉවත්ව වෙනත් ශිෂ්‍ය භික්ෂූන්ට පැවරෙන්නට කටයුතු සිදු කරන්නට විය.

පැවිදි වූ දින සිට මේ දක්වා ම ශාසනයට, සමාජයට නොනවත්වා සේවය කරයි. දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථානවලට දානමය කටයුතු, කඨින පින්කම් භාරගෙන අංග සම්පූර්ණ ලෙස සිදු කිරීම සිදු කරයි. මේ සියල්ලටම දායකයින් ද හැකි ලෙස සහය දැක්වීම අප ඤාණාරාම හමි කෘතවේදීව සිහි කරයි. වර්තමානයෙහි තමන් වහන්සේ වැඩ සිටින අග්බෝගම ශ්‍රී මංගල වැව විහාරය අංග සම්පූර්ණ, කාගේත් සිත් ගන්නා පන්සලක් බවට පත්කර ඇත. එමෙන්ම අප නායක හිමිපාණන් කිසිම බලවත් අයකුට හිස නොනමන, සාධාරණයට ගරු කරන, සෘජු ගුණයෙන් යුත්, අසරණයින්ට පිහිටවන, කිවයුත්ත කියන, කරන දේ කියන, නියමිත වේලාවට ම වැඩ කරන සුවිශේෂි මහඟු ගුණයෙන් යුතු හිමි නමකි.

බොහෝ ජනතාවගේ ප්‍රසංසාවට පත් වයස අවුරුදු 68 වන ශ්‍රී මංගල වැව විහාරාධිපති, නැඟෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක කුරුවිට ඤාණාරාම යතිවරයාණන් වහන්සේට නිරෝගි සුවය, දීර්ඝායුෂ ලැබේවා.