Print this Article


පුණ්‍යවන්ත දිවි ගමනේ හැත්තෑඅට වැනි විය සපුරන මල්වතු මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

පුණ්‍යවන්ත දිවි ගමනේ හැත්තෑඅට වැනි විය සපුරන මල්වතු මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මැයි මස තිස් වැනි දින ස්වකීය පුණ්‍යවන්ත දිවි ගමනේ සැත්තෑ අට වන විය සපුරමින් සැත්තෑ නව වන වියට පා තබති.

සාතිශය ගම්භීරවත් වූ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහා නායක පදවිය හොබවන විසි හයවැනි මහා නාහිමිපාණන් වහන්සේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙති. අතිපූජ්‍ය ශ්‍රීමත් මහා නාහිමිපාණන් වහන්සේ මල්වතු මහා විහාරයේ ප්‍රථම මහා නායක පදවියෙන් අර්චිත වූ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සංඝ පරපුරට අයත් වෙති.

මාතලේ කොහොන්සිය පත්තුබද තිබ්බටුවාව ග්‍රාමවරයේ දී වර්ෂ 1944 මැයි මස 30 වැනි දින ජන්මලාභය ලබා අතිපූජ්‍ය පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකරාභිධාන මල්වතු පාර්ශ්වයේ විසි එක්වැනි මහා නාහිමිපාණන් වහන්සේ සහ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1957 ජූනි මස 10 වැනි දින ප්‍රව්‍රජ්‍යා සම්පත් ලද මහා නාහිමිපාණන් වහන්සේ මල්වතු මහා විහාරයීය සංඝරාජ පිරුවනින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කළහ.

උගතමනා සාමණේර බණ දහම් ප්‍රගුණ කොට පිරුණු විසි වයස් ඇතිව තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සාමණේර හිමියන් මල්වතු මහාවිහාරයීය රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී අමුණුගම රාජගුරු විපස්‍යාභිධාන මහා නාහිමිපාණන් වහන්සේ උපාධ්‍යාය කොට ගනිමින් 1964 ජූනි 10 වැනි දින වාහලනාග නාමයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා ශීලයට පත්ව කුරුණෑගල රිදීවිහාරයේ භාරකාරත්වයට පත් වූහ.

මහ නාහිමිපාණන් වහන්සේ 1965,1981 සහ 1991 වර්ෂවල අතිදුර්ලභ බුද්ධෝපස්ථානයක් වූ ශ්‍රී දළදා වහන්සේගේ තේවා කටයුතු සඳහා සම්බන්ධ වූ සේක.

වර්ෂ 1965 දී අමුණුගම රාජගුරු විපස්සි මහ නාහිමිපාණන් වහන්සේ වෙතින් මල්වතු මහා විහාරයේ විංශත් වර්ගික කාරක මහා සංඝසභික පදවියකට පත්වීම් ලද තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ 1969 වර්ෂයේ කර්මවාගාචාර්යයන් වහන්සේ නමක වශයෙන් ද වගකීම් හෙබ වූහ.

විමල කීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්ද මහා නාහිමිපාණන් වහන්සේ විසින් 1979 වර්ෂයේ දී මල්වතු මහාවිහාරයේ විංශත්වර්ගික කාරක මහා සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයට ද, 1985 වර්ෂයේ දී මහා ලේඛකාධිකාරී පදවියට ද සුමංගල නාහිමියන් පත් කරන ලදහ. අතිපූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්සි මහ නාහිමිපාණන් වහන්සේ විසින් 1990 වසරේ දී ජ්‍යෙෂ්ඨ කාරකසභික ධුරයකට පත් කොට වදාළ අතර 1992 වර්ෂයේ දී රඹුක්වැල්ලේ සෝභිත අනුනාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ මල්වතු මහා විහාරයේ රාජකීය අනුනායක ධුරය තිබ්බටුවාවේ නාහිමියන් වෙත පිරිනමන ලදී.

දොළොස් වසරකට ආසන්න කාලයක් අනුනායක පදවිය හොබවන ලද තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල අනුනාහිමිපාණන් වහන්සේ රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්සි මහ නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ මල්වතු මහා විහාර පාර්ශ්වයේ විසි හයවන මහා නායක පදවිය සඳහා 2004 ජූනි මස 20 වැනි දින මල්වතු මහා විහාරයේ කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් තේරී පත් වී වදාළහ.

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිස ගත යුතු සෑම පියවරක් ම නොවළහා ගැනීම පිණිස මහ නාහිමිපාණන් වහන්සේ මූලිකත්වය ගන්නා ලදහ. වෙහෙර විහාරස්ථාන සංවර්ධනය, භික්ෂූන් වහන්සේලාගේ කටයුතු ආදිය වෙනුවෙන් අනලස්ව මහ නාහිමිපාණන් වහන්සේ දායකත්වය ලබා දෙති.

දුටුවන් පහදවන අන්දමේ රූප ශෝභාවකින් පිරිපුන් මහ නාහිමිපාණන් වහන්සේ අසරණ සරණ, ගිලානෝපස්ථාන, ආගන්තුක සත්කාර ආදියෙහි නිරතුරු නිරත වන උතුමන් වහන්සේ නමකි. මහාවිහාර සම්ප්‍රදායට අනුගතව, විනයානුකූලව, ශ්‍රමණ සාරුප්‍යය පවත්වා ගන්නා වූ කාරුණික ගුණයෙන් මහ නාහිමිපාණන් වහන්සේ සමන්විත වෙති. මහා නායක පදවියේ කාර්යයන් කිරීමේ දී විධිමත් ක්‍රමානුකූල අන්දමින් කටයුතු කොට නිවැරැදි ම විනිශ්චය ලබා දෙති. ප්‍රසිද්ධිය පිණිස නොව නිස්සරණාධ්‍යාශයෙන් යුතුව පින්කම්වල යෙදෙමින් ක්‍රියා කරති. කවර අන්දමේ රාජ්‍ය නායකයකු හෝ බලවතකු අභිමුඛයේ වුව ද තමන් වහන්සේගේ පෞරුෂය පවත්වා ගනිමින් නිවැරැදි මතයේ රැඳී සිටීමට මහ නාහිමිපාණන් වහන්සේ සමර්ථ වෙති.

දුටු දුටුවන්ගේ නෙත් සිත් පහන් වන ප්‍රසන්න රූපකායකින් පිරිපුන් සංඝරාජවරයකු සේ වැජඹෙන අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමිපාණන් වහන්සේ හට විංශත් ශත වර්ෂාධික කාලයක් ලෝක ශාසනාභිවෘද්ධිය පිණිස ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධිසාධනය වේවා'යි ප්‍රාර්ථනා කොට සිටිමු.