Print this Article


ජීවිත රැකවරණයට මහ බෝ වන්දනාව

ජීවිත රැකවරණයට මහ බෝ වන්දනාව

“බෙල්ලන්විල” යන වචනය ඇසුණු පමණින් අපගේ මතකයට නැඟෙන්නේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය යි. ශ්‍රී ලංකා ද්වීපයෙහි පමණක් නොව දේශාන්තරයන්හි ආගමික, සාමාජික, සංස්කෘතික සේවාවන් රැසක් ඉටු කර ඇති එමෙන් ම වර්තමානයේ ද එබඳුම සේවාවන් ඉටු කරන අති පූජනීය ස්ථානයක් ලෙස ප්‍රකට ව පවතින බෙල්ලන්විල රාජමහා විහාරය දේවානම්පියතිස්ස යුගය දක්වා ඉතිහාසයකට උරුමකම් කියයි.

බෙල්ලන්විල රාජමහා විහාරය අතිශයෙන් ජනප්‍රියත්වයට හා භක්ත්‍යාදරයට පාත්‍ර වන්නේ දඹදිවින් වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කර ඇති නිසා ය.

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ සුරෝපිතව වැඩවසන එම දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේගේ චිර පැවැත්ම හා සංරක්ෂණය උදෙසා ප්‍රති නිර්මාණය කරන ලද බෝධි ප්‍රාකාරය හා රන්වැට බැති පූජා සඳහා විවර කෙරෙන මෙම ඓතිහාසික අවස්ථාවෙහි ශ්‍රී ලංකේය බෞද්ධ, අබෞද්ධ කා අතරත් වන්දනා මානයට පත් වන බෝධීන් වහන්සේ හා බැඳුණු ආචාරසමාචාර පුදපූජා ආදියෙහි ධර්ම ම ය පදනම ඇගයීම කාලෝචිත යැයි අපගේ අදහස යි.

“බෝධි” යන වචන ඇසූ පමණින් ම අපගේ සිහියට නැඟෙන්නේ බෝධි පූජාව යි. බෝධි පූජාව උස්පහත් භේදයකින් තොරව සෑම බෞද්ධ සමාජයක් තුළ ම ඉතා ප්‍රචළිත පූජා චාරිත්‍රයකි.

බුදුරදුන් පිදීම වෙනුවට ආදේශක වස්තුවක් ලෙසට බෝධි පූජාවට අනුබල දීම බුදුන් ජීවමාන කාලයේ දී ම සිදු වූ බව ආනන්ද බෝධි රෝපණයෙන් පැහැදිලි වේ.

එසේම මහා පරිනිබ්බාණ සූත්‍රයේ දී ද බුදුරදුන්ගේ පිරිනිවනින් පසුව ශ්‍රද්ධාවත් ජනතාවගේ පහන් සංවේගය ඉපදීමටත් දිව්‍ය මනුෂ්‍ය සැප සාධනයටත් ඉවහල් වන ස්ථානයක් ලෙස බුද්ධත්වයට පත් වූ ස්ථානය වූ බෝධිය නම් කොට ඇත.

බුදුරජාණන් වහන්සේ පවා බෝධි වෘක්ෂයට ගෞරවය දැක්වූයේ බුද්ධත්වයෙන් පසු බෝධි මූලයෙහි ම සතියක් ගත කොට බෝධීන් වහන්සේට උතුරු දෙසින් සිට බුදු බව ලැබීමට උපකාරි වූ බෝධි වෘක්ෂය දෙස ඇසිපිය නො හෙළා සතියක් මුලුල්ලේ ඒ දෙස බලා සිටිමෙනි.

එය නේත්‍ර පූජාවකි.

අනිමිස ලෝචන පූජාවකි. ඒ අනුව බෝධි පූජාව යනු “පූජාච පූජනීයානං” යන උතුම් බුදු වදනට අනුව පිදිය යුතු වස්තුවක් පිදීමකි.

බුදු දහමේ පරම නිෂ්ඨාව නිවන් සුවය යි. එසේ වූව ද පස් පව් දස අකුසල් රාශියක් අද සමාජය තුළින් දැක ගත හැකි ය.

එසේ වූව ද එබඳු අකුසල පාක්ෂික ක්‍රියාවන් වෙනුවට යහපත් දිවි පැවැත්මකට හා බාහිර, අභ්‍යන්තර ආරක්ෂාව සඳහා ද බෝධි පූජාවක් පැවැත්වීම කුසල පාක්ෂික ක්‍රියාදාමයකි.

බුදුරජාණන් වහන්සේ විසින් වන්දනා මාන සඳහා අනුදැන වදාළ ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය හා උද්දේසික චෛත්‍යය වශයෙන් නිර්දිෂ්ඨ චෛත්‍ය වර්ග තුනකි. එහි පාරිභෝගික චෛත්‍යය වන්දනය යනු මහා බෝ වන්දනය යි. එකී මහ බෝ හෙවත් බෝධි වෘක්ෂ වන්දනාව බුදුරදුන් ජීවමාන කාලයේ දී මෙන්ම අද දක්වාම බොදු ජනයාගේ වන්දනා මානනයට පත්වන ලෝකයේ ඇති එකම වෘක්ෂය යි.

පාලි බෝධිවංශය රචනා කළ යතිවරයාණන් වහන්සේ විසින් ප්‍රබන්ධිත යැයි සැලකෙන

“යස්ස මූලේ නිසින්නෝව - සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බං ඤුතං සත්ථා - වන්දේතං බෝධිපාදපං”

යන ගාථාවට අනුව “යම් බෝධි මූලයක දී මහා බෝධිසත්වයන් වහන්සේ මාරයා පරදවා බුදුබවට පැමිණේ ද, උත්තම වූ ඒ බෝධියට වන්දනා කරමි”

යන අරුත් දෙන ගාථාව බෝධි වන්දනාවේ ධර්ම ම ය අගය මනාව පිළිබිඹු කරවයි.

“බෝධි” යන වචනයේ තේරුම සතර ආර්ය මාර්ගය පිළිබඳ පවත්නා ඥානය යි. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ ආර්ය මාර්ග සංඛ්‍යාත වූ සම්‍යක් සම්බෝධියට පැමිණි හෙයින් “බෝධි” යන නම ලැබී ය. ඒ අනුව බෝධි වන්දනාව යනු හුදු රුක්ෂ වන්දනාවක් නොව බුදුරදුන් වෙනුවෙන් කෙරෙන වන්දනාවකි. එය බෝධි පූජාවේ ධර්ම ම ය පදනම යි.

බෝධි පූජාවක් සිදුකරන අවස්ථාවේ දී ආධ්‍යාත්මික වශයෙන් සීල, සමාධි, පඤ්ඤා යන ත්‍රිශික්ෂාව අප සිත්සතන් තුළ වර්ධනය වන බව පැහැදිලි ය.

බෝධි පූජාවක දී පිළිවෙලින්, බෝ මලුව ඇමදීම වැනි වතාවත් සම්පූර්ණ කර පුදපූජා සකස් කර, පහන් දල්වා පැන් පූජාව ආදි පූජා පවත්වා ඉන් අනතුරුව පන්සිල් සමාදන් වේ. ඉන්පසුව මල්, පහන් හා ගිලන්පස ආදිය ගාථාවන් සජ්ඣායනය කර පූජා කිරීම සිදුකරනු ලැබේ.

අනතුරුව කෙටි භාවනාවක් (මෛත්‍රී) කිරීම හා දෙවියන්, ඥාතීන් ඇතුළු සියලු සත්වයින්ට පින් දීම ආදිය සිදු කර ප්‍රාර්ථනා ගාථා සජ්ඣායනා කර තෙරුවන් කමා කරවා ගනිමින් පූජාව අවසන් කරයි.

මෙහි දී මුලින්ම බෝ මලුව ඇමදීම වැනි ක්‍රියා නිසා සීලය සම්පූර්ණ වීමට අවශ්‍ය පදනම ලෙස වතාවත් කිරීම සම්පූර්ණ කරයි. ඉන්පසුව පන්සිල් සමාදානය තුළින් කායික වාචසික සංවරයට බලපාන සීලය සම්පූර්ණ වේ.

භාවනාව තුළින් සමාධිය හෙවත් සිතෙහි ඒකාග්‍රතාවයත්, විදර්ශනා භාවනාව තුළින් පඤ්ඤාවත් වර්ධනය වේ.

එසේම බෝධි පූජාවක් ක්‍රමානුකූලව සිදු කිරීමේ දී සිංහල බෞද්ධයාගේ ප්‍රතිපත්ති අතර ප්‍රමුඛත්වයක් උසුලන දසපින් කිරියවත් ද සම්පූර්ණ කර ගත හැකි වේ.

මේ හැරුණුවිට දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ද නිවැරැදි බෝධි පූජාවක අන්තර්ගතව ඇති බව පෙන්වා දිය හැකි ය.

මේ අනුව බෝධින් වහන්සේ හා ඒ සමඟ බැඳුණු වන්දන මානන, පුද පූජාවන් ධර්ම ම ය පදනමක පිහිටා සිදුකිරීමෙන් ලෞකික හා ලෝකෝත්තර අභිමතාර්ථයන් සඵල කර ගත හැකි බව පැහැදිලි වේ.

බෙල්ලන්විල රාජමහා විහාරස්ථ බෝ සමිඳුගේ චිර පැවැත්මට හා ඓතිහාසික පෞඪත්වය උදෙසා ඉදිවුණ බෝධි ප්‍රකාරය හා රන්වැට බැති පූජා සඳහා විවර කෙරෙන අවස්ථාවේ දී දිනපතා සුවහසක් බෝධි පූජා සඳහා පැමිණෙන ජනතාවට බෝ සමිඳුන්ගේ පිහිට ලැබේවා'යි ආශිංසනය කරමු.