Print this Article


රුවන්වැල්ල කොටළුගොඩකන්ද ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරය

රුවන්වැල්ල කොටළුගොඩකන්ද ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරය

කෑගල්ල දිස්ත්‍රික්කයේ, ලෙවන්ගම දකුණ ග්‍රාම නිලධාරි වසමේ, කොටළුගොඩකන්ද ග්‍රාමය රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ තිබෙන ඉතාමත්ම දුෂ්කරතා ඇති ගමක් ලෙස සැලකේ. මෙම ගම් පියස තුළ ජීවත් වන වැඩි දෙනෙක් තම ජීවිකාව පවත්වාගෙන යනු ලබන්නේ වන ආශි‍්‍රත රැකියාවල නිරත වීමෙනි.

ගමට තිබෙන එකම පන්සල වන්නේ කොටළුගොඩකන්ද, පොත්තෙකන්ද ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානය යි. එම විහාරස්ථානය ද වසර සියයකට එහා ගිය ඉතිහාසයකට උරුමකම් කියන ඉපැරැණි විහාරස්ථානයකි. ප්‍රවාහන අපහසුතා, මාර්ග අපහසුතා ආදි දුෂ්කරතා නිසාම මෙම විහාරස්ථානයෙහි ස්වාමීන් වහන්සේලා කාලයක් එක දිගට වැඩ නොසිටින අතර, වරින් වර ස්වාමීන් වහන්සේලා විහාරස්ථානයට වැඩම කිරීමත්, කෙටි කාලයක් පමණක් වැඩ සිට යළිත් විහාරස්ථානය අතහැර දමා ආපසු වැඩම කිරීමත් නිසා වරින්වර විහාරස්ථානය වැසීයාමේ තත්ත්වයට පත් වී තිබුණු අවධියක මීට වසර 12කට පමණ ඉහත දී මෙම විහාරස්ථානයට වැඩම කරන්නට යෙදුණේ විහාරස්ථානය පිහිටි ගමෙන් ම පැවිදි බිමට පත් ශාස්ත්‍රවේදී පොත්තෙකන්දේ ඤාණාවාස හිමියන් ය.

උන්වහන්සේ එදා පටන් අද දක්වා ම මෙම විහාරස්ථානයේ වැඩ සිටිමින් ආගමික හා සමාජයීය වශයෙන් සුවිශාල කාර්ය භාරයක් සිදු කරමින් විහාරස්ථානයේ දියුණුව උදෙසා ද වැඩ කටයුතු කරමින් වැඩ සිටී ම ඉමහත් භාග්‍යයකි. උන්වහන්සේ මෙම විහාරස්ථානයට වැඩම කොට තුන් මාසයක් ගතවන්නටත් පෙර මම ද මෙම විහාරස්ථානයට වැඩම කළෙමි. වර්තමානයේ මෙම විහාරස්ථානය ලබා තිබෙන දියුණුව වෙනුවෙන් සුවිශාල කාර්ය භාරයක් සිදු කිරීමට හැකියාව මම ද උදාකර ගතිමි. එය මා ලද භාග්‍යයක් කොට සලකමි.

වර්තමානයේ විහාරස්ථානය තුළ පවතින අඩුපාඩු එකිනෙක සම්පූර්ණ කර ගත්තත් උපාසක උපාසිකාවන්ට වන්දනාමාන කිරීම සඳහා චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් විහාරස්ථානය තුළ නොතිබීම විශාල අඩුපාඩුවකි. එම නිසා චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදිකිරීම සඳහා මීට ටික කලකට ඉහත දී ඇස්තමේන්තු සකස් කළත්, මේ වන විට අප රටේ ගොඩනැඟිලි ද්‍රව්‍යවල මිල ගණන ඉතා අධික ලෙස ඉහළ යාම නිසා එම ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට ඉතා අපහසු වී ඇත.

විහාරස්ථානයට නිත්‍ය ආදායම් මාර්ග නැත. දායක දායිකා පින්වතුන් ද ඉතාමත් අසීරුවෙන්, දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත්වන අඩු ආදායම් ලාභී පිරිසකි. මේ නිසා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සිදුකර ගැනීම අපහසු වී ඇත. එහි සියලු ඉදිකිරීම් කටයුතු නිම වන විට රුපියල් ලක්ෂ 80ක පමණ මුදලක් වැය කිරීමට සිදුවනු ඇත. චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු නිම වීමෙන් පසු මෙම විහාරස්ථානය සියලු විහාර අංගවලින් පරිපූර්ණ විහාරස්ථානයක් බවට පත්වේ. දානපතීන්ගේ, පරිත්‍යාගශීලින්ගේ අවධානය මෙවැනි දුෂ්කරතා ඇති විහාරස්ථාන කෙරෙහි යොමුවන්නේ නම් මෙවැනි විහාරස්ථාන දියුණු කර ගැනීමට එය විශාල පහසුවක් වනු ඇත.

සෑම පුර පසළොස්වක පොහොය දිනකම සියයකට ආසන්න පිරිසක් සිල් සමාදන් වීම සඳහා මෙම විහාරස්ථානයට පැමිණෙන අතර, ළමුන් දෙසීයකට ආසන්න පිරිසක් දහම් අධ්‍යාපනය ලබන දහම් පාසලක් ද මෙම විහාරස්ථානයේ පවත්වාගෙන යයි. එම දහම් පාසල ද ආරම්භ කොට වසර 75ක් පමණ ගත වී ඇත. මේ වන විට විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ හය නමක් පමණ නේවාසික ව වැඩ වාසය කරමින් ප්‍රදේශයේ ආගමික හා සමාජයීය කටයුතුවල දී කැපී පෙනෙන මහා කාර්ය භාරයක් ඉටුකරති.

කොටළුගොඩකන්ද පොත්තෙකන්ද ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානය හෙට දවසේ දි සියලු විහාර අංගයන්ගෙන් සමන්විත රමණීය විහාරස්ථානයක් බවට පත්කොට, සුවහසක් බොදු දනන්ගේ දහම් පිපාසය සංසිඳුවන, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ පණිවිඩය මුළු ලොවට ම දායාද කරන පරම පූජනීය විහාරස්ථානයක් බවට පත් කිරීම අපගේ අරමුණ යි. ඒ වෙනුවෙන් සැදැහැති ඔබ සියලු දෙනාගේ ම කාරුණික දායකත්වයන් ශාසනාලයෙන් යුතුව බලාපොරොත්තු වෙමු.