Print this Article


පහන් සිතක කවි

පුරුදු

ජීවිත ගංගාවේ පිහිනුවේ
සසරේ පුරුද්දට
ගියෙමි මිල මුදල් පසු පස
සැප සම්පත් විඳින්නට

මහා සඟ රුවනට දන් නුදුන්නේ
සිතේ ඇති ලොබට
බුදු දම් සඟ ගුණ සිහි වන්නේ

බුදු හිමි නමදින්නට දෙපා බැහැ ඔසවන්න
විහාර මලුවට ගොඩ නොවුණේ
පෙර කළ පවට
සතර අපා දොරටු විවර වුණේ මට


දෙලොවම දිනමු...

හිමිදිරියේ පන්සිල් අරගෙන
දවස පුරාවට නිසි සේ රැක ගෙන
යහපත පිණිසම සිත යොදවාගෙන
මුළු නිවසම බුදු මැදුරක් කරගෙන

සිත් පුරා මෙත් ගුණ වපුරන්න
කරුණාවෙන් සැම දෙන අමතන්න
අඹු දරුවන් සැම තුටින් තබන්න
යහ මඟ වෙතට ම යොමු කරවන්න

සුරා මතින් දිවි තෙක් දුරු වෙන්න
නොහොඹින කටයුතු එපා කරන්න
පරුෂ වචන කේළම් නොකියන්න
අනුන්ගෙ දොස් බස නොසොයා ඉන්න

නිතරම ඉටු දෙවි මෙනෙහි කරන්න

මව්පිය රැක සත්කාර කරන්න
දෙවියන්ගෙන් පැසසුම් ලැබ ගන්න
මින් හැකි වෙයි දෙලොව ම ජය ගන්න


පමාව

හිතට සැනසුම
ගතට සුවයම
බසට මිහිරම
උතුම් වූ සද්ධර්මය යි

දැවෙන හදවත නිවාලන්නට
තැවෙන මනුසත් නිවාලන්නට
කුපිත මිනිසුන් නිවාලන්නට
අනුත්තර සද්ධර්මෙ පමණයි

මෙලොව එළි දැක
දිවිය දිනකට
බොදු මගේ යන
දනන් දුලබයි

දිවිය අපමණ විඳවනා
සතුට පමණක් රජයනා
හරය මැනවින් නොලබනා
දනන් සුලබයි අද ලොවේ

ලෞකික දේ පසු පස යන
ලොව්තුරු සුව පසෙකට යන
ලොව බහුතර බොදු ජනයනි
දහම් මඟට ඇයි පමා


පායුග නමදිමි

මල් පෙත්තක ඉන්නව සාධු
වත්තක මල් සුවඳින් පීදු
ඒ මල් සඳවතුරින් සේදු
තබමි සිරිපා මුල බුදු සාධු

තිදොරින් සංවර වී ඉන්නේ
කුසලට දහමට යොමුවන්නේ
නැණ ගුණ දහමින් වැඩි වන්නේ
බුදු මඟ යන අප සැනසෙන්නේ

සම්මා සම්බුදු පියාණෙනී
ඔබ දහමෙන් දුන් ඔවා මිණී
සසරේ සැම දුක් නිවා ගිනී
පා යුග නමදිමි පියාණෙනී


දහම් අසිරි

සසල වෙයි සෙල් කුළු
බුදු බණක් ඇසෙන විට
නිසල වෙයි ගහ කොළ
දහම් පද කියන විට

මහ පිරිස මැද සතුන්
තම සවන් ඉපිල ගෙන
අසයි හිමි දෙසූ බණ
දැහැමි මිනිසුන් ලෙසින

බණට දහමට නොලැදි
හිස් සිරුර අසත් දන
සිත යොමයි වෙනතකට
දහම් රස නො දැන

වාතලය ඉම කොනේ
ඇතිද සුපහන් නිවන
දෙව් ලොවට යාබද ද?
කොහෙද අජරාමර නිවන

නැත නැති ය අම නිවන
ඇත්තේ ය තමන් ළඟ
සිත් සමාධිය තුළින්
දැකිය හැක එය සොඳින

දහම ගෙන හද පතුළ
රුවා එය සුරැකි කොට
සිත නිවා දුක කිම ද
හැඳිනුවොත් නිවන එය


ආදර අම්මා

කය සවිමත් කළ
රැකියාවට ගිය අපේ අම්මා

දරුවන් සමඟ අසරණ වූ කල
වෙහෙසුණ අපේ අම්මා

මහලු වියට ආවද්
තවමත් මහ මඟ අම්මා

වියපත් වුණත්
තවමත් වෙහෙසෙනවා අම්මා

සුර සැප විඳින දරුවන් ගැන
නෑ අහිතක් හිතන්නේ

දුබල දෙපා යුග රිදුනත් පා ගමන
නෑ අත් හැරී

ජීවත් වෙන්න තවමත් රැකියාවෙන්
ඈත් වෙලා නෑ


පරවී ගියා ද රහසේ ම?

දිවමල් සුවඳ කැටි කොට
සුදු පුළුන් ගුලියක වෙස්ගෙන
මිදුලේ බුදු කුටියට සෙවණ දුන් අතු අග සැඟව සිටි
පුංචි සේපාලිකාවනි
ලොව නිදිගත් ඇසිල්ලේ

ඒ සුවඳ කැටි විවර කර
බුදුන් පිදූ මොහොතේ
බුදු බණත් ඇසුවා ද?
අරුණලු නැඟෙන්නට පෙර

කුරිරු ලොව දෙස නොබලා
සුදු වැලි තලය මත
මුනින් තලා වී සිටියේ
රහසේ ම
අකුරු අටකින් නිම වූ

දහම් පදවල අරුත
වුවමකින් ලොවට පසක් කර
සසර සයුරෙන් සමුගත්තා ද?
උත්තමාවියනේ!


සැදැහැ සිත

බෝ මලුවට සඳ නැඟිලා
සැලෙනා බෝපත් අතර දිලේ
සඳුන් සුවඳ මඳ නල හා වෙළිලා
වෙල් යායම සුවඳින් පිරිලා

නාමල් වට්ටිය දෝත දරාගෙන
ලොකු අක්කා මහ මලුවේ
චූටි නංගි බෝ කොළ අහුලා
ගැන ගැන අහුරයි සිලි මල්ලේ
වෙහෙර සිසාරා දැල්වේ පහන් වැටි