[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිථ්‍යා මතවලට නොරැවටී හරය සොයා යමු

මිථ්‍යා මතවලට නොරැවටී හරය සොයා යමු

එවං මෙ සුතං සමයං භගවා රාජගහෙ
විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ අචිර පක්ඛන්තෙ
දෙවදත්තෙ තෙන ඛො භගවා දෙවදත්තං
ආරඣ භික්ඛු ආමන්තෙයි
මහා සාරෝපම සූත්‍රය

ඇතැමෙක් සසර ඇති දුක් සහිත බව තේරුම් කොට ගෙන ජාති ජරා මරණ ආදියෙහි දුක් දැක අසතුටු ව, දුක් කෙළවර කිරීමේ අටියෙන් ශ්‍රද්ධාවෙන් බ්‍රහ්මචාරි වෙයි.

එහි දී, ඇති වන්නා වූ ලාභ සත්කාර දැක සතුටු වෙයි. එවිට අන්‍යයන් හෙළා දකින්නට පටන් ගනී. උඩඟු වෙයි. ඒ හේතුවෙන් පමා පුද්ගලයකු බවට පත්ව අවසානයේ දුක ම උරුම කර ගනී.

වනයට පිවිසෙන යමෙක් ගසක හරය ලබන්නට සිතා ගසෙහි කොළ රැගෙන එන්නෙහි නම් ඔහුට කිසිදා හරයෙන් ලබන්නා වූ ප්‍රයෝජන ලද නොහැකි වෙයි. ඉහත පුද්ගලයාට අත්වන්නේ තමන් අපේක්ෂිත හරය නොලැබීමෙන් පසුතැවිලි වීම පමණි.

ඔහු හරය සොයා ගොස් හරයක් නොමැති දේ වැළඳ ගනී.

තවත් කෙනෙක් කීර්ති ප්‍රශංසාදියෙහි නො ඇලේ. ඒවා පසුපස නොයයි. එහෙත් හැමවිට ම තමා පමණක් සිල්වත්, නිවැරැදි පිරිසුදු සහ සියල්ල දත්තකු යැයි කල්පනා කරයි.

අනෙක් සියලු දෙනා දුශ්ශීල පහත් පුද්ගලයන් සේ සිතා කිසියම් මානයක් ගොඩනඟා ගනී.

මේ අනුව මේ මහා සාරෝපම සූත්‍රය පැවිද්දන්ට පමණක් නොව සමස්ත මානව වර්ගයා වෙතම දෙන යහපත් දර්ශනයක් වෙයි. එනම් මෙහි දැක්වෙන උපමාවයි.

දැවයෙන් භාණ්ඩ සදන්නා වූ වඩුවකු තමාට අවශ්‍ය අරටුව සහිත දැවදඬු ම ඒ සඳහා යොදා ගත යුතු ය.

වඩුවා අරටුව ඇති ලී සොයා වනයට පිවිස අරටුව හරියට නොහැඳින ගසෙහි කොළ හෝ පොතු හෝ සිවිය හෝ ඵලය හෝ ගලවා ගන්නේ නම්, ඔහුට කිසිදා හරය හෙවත් අරටුව ලැබිය නොහැකි ය. එනිසා ම අරටුවෙන් ලබන ප්‍රයෝජන ද ඔහුට ලැබිය නොහැකි වනු ඇත.

වර්තමානයේ ජීවත්වන බොහෝ දෙනකුට මේ උපමාවෙන් මතුවන දර්ශනය ඉතාම උචිත යැයි පෙනේ.

ආගමික වශයෙන් කල්පනා කළහොත් බෞද්ධයාට සැනසුම ඇති වන්නේ ශ්‍රද්ධාව පිහිටුවා ගැනීමෙන් පමණි. ශ්‍රද්ධාව පිහිටුවා ගත් මනුෂ්‍යයා ඉතාම සන්සුන්, අභියෝග සාවධානව ඉවසන, ප්‍රියමනාප ඇවතුම් පැවතුම් සහිත පුද්ගලයෙකි.

ආවේග, කලබල ආදියෙන් තොර ඔහු සමාජයේ සියලු දෙනා හට අත්‍යවශ්‍ය පුද්ගලයෙකි. සිතෙහි රාග, ද්වේශ, මෝහයන් දුරු කර ගන්නට වෙහෙසෙන ඔහුගේ ප්‍රසන්න හැසිරීම හැම දෙනාට ම ආශිර්වාදයකි. තෙරුවන් ගුණ නිවැරැදිව හඳුනා ගන්නා පුද්ගලයා අරටුව දකින්නෙකි.

ඔහුට තෙරුවන්ගේ බලය හා ශක්තිය වැටහෙයි. ඉන් එපිට තවත් කිසිදු සරණක් ඔහුට අවශ්‍ය නොවෙයි.

එහෙත් බෞද්ධයන් වශයෙන් පෙනී සිටින බොහෝ දෙනෙක් එහි සාරය නිසි ලෙස නොදැකීම හේතුවෙන් විවිධ මිථ්‍යාවන්හි ඇලී ගැලී කටයුතු කරයි. මේ සඳහා එක් නිදසුනක් ලෙස අගනගරයට පැමිණ දහම් දෙසන රහතන් වහන්සේ කෙනකු පසුපස යන්නන් දැක්විය හැකි ය.

සිව්පිළි සිඹියාපත් ආර්යයන් වහන්සේ කෙනකු ලෙස තමන් හඳුන්වා දෙන මේ පුද්ගලයා සාරිපුත්ත මහ රහහතන් වහන්සේ ලෙස පෙනී සිටී.

තමන් මේ භවයේ සියලු කෙලෙස් ප්‍රහීණ කොට ඇති බව දක්වන මේ පුද්ගලයා නිවන නොලද කෙනකු අනෙක් අය නිවනට යොමු කරවන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරමින් නූතන සංඝ පරම්පරාව මෝඝ පුරුෂයන් ලෙස (හිස් මිනිසුන්) හෙළා දකී.

එමෙන් ම සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ලබන්නට ඔහු අයදුම්පතක් යොමු කරන්නැයි එක් ප්‍රචාරක පත්‍රිකාවක දැක්වෙයි. මෙවැනි මන්ද බුද්ධිකයන් පසුපස ගමන් කරන ශ්‍රාවකයෝ වෙති.

පසුගිය දිනෙක කොළඹ යම් ප්‍රධාන ආයතනයකට මේ හිස් මිනිසා ගෙන්වා දේශනාවක් පවත්වා තිබේ. එවැනි තැන්වලට පවා මෙවැනි හිස් මිනිසුනට ඇතුළත් වන්නට හැකි වීමෙන් පෙනෙන්නේ බුද්ධිමතුන් අතර පවා ධර්මය සම්බන්ධයෙන් නිවැරැදි දැකීමක් නොමැති බවයි.

ශ්‍රී ලාංකික බෞද්ධ සමජයේ වැඩි දෙනෙක් සාරය සොයා පොතු කොළ ලබන්නේ ය. හරය සොයන්නට වෙහෙසන අය ඇත්තේ අල්ප වශයෙනි.

ථේරවාදී පෙළ දහම ඉතා හොඳින් කියවීමට විමසීමට හොඳින් ම හැකියාව තිබිය දී ඒවා නොදැක පිස්සන්, උමතුවූවන්, සමාජයට ද්වේශ කරන්නන් උමතුවෙන් අමුතු කථාවක් ඉදිරිපත් කළ කල්හි ඒ පසුපස යන්නට පටන් ගනී. එහි දී පන්සල, භික්ෂුව හෝ අපේ සංස්කෘතික ධර්ම සියල්ල හෙළා දකින්නට පටන් ගනිති.

ඇතැම් අය කෙනකු මිය ගිය පසු පාංශුකූල දීම පවා දැන් දැන් නතර කර තිබෙයි. ඒවා බුද්ධ දේශනා නොවන බව උගන්වන දේශකයෝ වෙති. එහෙත් තිරෝකුඩ්ඪ වැනි සූත්‍රයකින් බිම්බිසාර රජුට වදාළේ මියගිය අය උදෙසා පින් දීමේ වැදගත්කමයි.

එබැවින් බෞද්ධයන් නියම හරය සොයන්නට නොවෙහෙසී පොතු කොළ, ඵලය සොයන්නන් බවට පත්ව ඇති බැවින් මෙවැනි මිථ්‍යාවන් පසුපස යාම වැළැක්විය නොහැකි ය. ඔබ සැමට හරය සොයන කෙනෙකු වෙන්නට සම්මා දිට්ඨිය ලැබේවා.

වෙසක් පුර පසළොස්වක

මැයි 15 ඉරිදා. අ.භා. 12.44 පුර පසළොස්වක ලබා 16 සඳුදා පූ.භා. 09.44 ගෙවේ.
 15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]