Print this Article


පුණ්‍යවන්ත මාසයේ අසිරිමත් බුදු උපත

පුණ්‍යවන්ත මාසයේ අසිරිමත් බුදු උපත

අද වෙසක් පොහොය දිනයයි. සිංහල මාස ක්‍රමයට අනුව මෙම මාසය හඳුන්වනු ලබන්නේ වෙසක් මාසය යනුවෙනි. වෙසක් මාසයෙහි යෙදෙන පුර පොහොය දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි.

වෙසක් යන වචනය අපේ මුල භාෂාවක් වූ සංස්කෘත භාෂාවෙහි වෛශාඛ යන්නෙන් බිඳී ආවකි. මසින් මස යෙදෙන පුර පොහෝ දිනයන් අතර වෙසක් පුර පොහොය දිනය ලෝකවාසී සියලු බෞද්ධයන්ගේ ම ශ්‍රද්ධා භක්ති ප්‍රණාමයන්ට පත්වු දිනයකි. එසේ වන්නේ ලොව පහළ වු සියලු බුදුවරයන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍ය සිදු වී ඇත්තේ වෙසක් පුර පොහොය දිනයෙහි වීමයි.

ප්‍රතිපත්ති පූජාවෙන් හා ආමිස පූජාවෙන් තථාගතයන් වහන්සේට බොදුණුවන් තම ප්‍රණාමය පළ කරනුයේ මහත් කැපවීමකින් යුතු ව ය. බුදුරජාණන් වහන්සේගේ උපත සිදු වු වෙසක් පොහොය වසරින් වසර විවිධ දිනයන් හි යෙදෙන්නේ කෙසේ දැයි ඇතැමුන් ප්‍රශ්න කරන අවස්ථා ද ඇත.

එම ගැටලුව ඇති වන්නේ වෙසක් මාසයත්, මැයි මාසයත් වෙනස් ව හඳුනා නොගැනීමෙනි. මැයි මාසය යනු, ඉංග්‍රීසි මාස ක්‍රමයේ යෙදුමකි. වෙසක් දිනය එම මාසයෙහි වසරින් වසර එක් එක් දිනවල යෙදීම සැබෑවකි. නමුත් වෙසක් මාසයේ එය යෙදෙන්නේ එකම දිනයක ය. ඒ වෙසක් පුර පොහෝ දිනයේ ය. එය කෙසේවත් වෙනස් වන්නේ නැත.

චන්ද්‍ර මාස ක්‍රමයට අනුව අව පක්ෂයෙන් මිදී පුර පක්ෂයට එළඹෙන සඳු ක්‍රමයෙන් මෝරාවිත් එහි උපරිමයට පැමිණෙන දිනය පුර පොහොය දිනයි. එසේ වෙසක් මාසයෙහි එම උතුම් පොහොය දිනය සියලු බුදුවරයන් වහන්සේ මෙන් ම අප ගෞතම තථාගතයන් වහන්සේගේ ද ත්‍රිවිධ මංගල්‍ය සිදු වු දිනය යි.

වෙසක් මාසය පුණ්‍යවන්ත මාසය හෙවත් පින්බර මාසය ලෙස හැඳින්විය හැකි ය. සම්බුදු තෙමඟුල සිදුවූ මෙම පුණ්‍යවන්ත මාසයෙහි බැලූ බැලූ දිසාවන්හි එම පින්වන්ත බව දැකිය හැකි වේ. සක්‍රිය බව, ඵලබරබව, සුවබර බව, පරිසරය පුරා විද්‍යමාන වන මෙම මාසයෙහි

එම අසමසම තථාගත ගුණ සමුදාය ආකර්ෂණීයව රැඳී පවතින බව නොරහසකි. එම නිසාම වැඩි වශයෙන් දන්දීම්, සිල්රැකීම්, භාවනා කිරීම් සහ ආමිස ගණයට ගැනෙන විවිධ ක්‍රියාකාරකම්වල බෞද්ධ ජනතාව පමණක් නොව, අබෞද්ධ ජනතාව ද යෙදෙන ආකාරය ඉතා ප්‍රකට ය.

බුදුගුණ අනුස්මරණය කළ යුතු වන්නේ මෙම මාසයේ දී පමණක් ය යන්න මින් අදහස් නොකෙරුණ ද, ඒ සඳහා වැඩි නැඹුරුතාවක් මෙම කාලවකවානුව තුළ පවතින බව ඉතා පැහැදිලි ය. ලංකා වාසී බොදුනුවන් පාරම්පරිකව වෙසක් පොහොය දිනයෙහි සම්බුදුගුණ අනුස්මරණයෙහි යෙදෙන්නේ මහත් කැපවීමකිනි. රජ මැඳුරේ සිට දූගී පැල්පත දක්වා අවම වශයෙන් තෙල් පහනක් හෝ දල්වා බුද්ධානුස්මරණයෙහි යෙදීම සඳහා අපේ උදාර වු සංස්කෘතිය මඟින් සිදු කර ඇති මෙම යොමු කිරීම විශිෂ්ට වූවකි.

බුදුගුණ සිහිපත් කරන අද වැනි දිනයක තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් දේශිත ධම්මපද පාලියෙහි බුද්ධ වග්ගයට අයත් වන මෙම ගාථා ධර්මය පිළිබඳ විමසා බැලීම ඉතා වැදගත් වනු ඇත.

කිච්ඡෝ මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්චාන ජිවිතං
කිච්ඡං සද්ධම්ම සවනං
කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ

මනුස්ස පටිලාභ යනු අඳ ගොළු බිහිරි බවින් තොර, අත් පා ආදී ශරීරාංග විකලාංග බවට පත් නොවූ, මනුෂ්‍ය ප්‍රතිලාභයක් ලැබීම ය. මච්චානං ජීවිතං, යනු මිනිසුන්ගේ දිවි පැවැත්මයි.

සද්ධම්ම සවනං යන්නෙන් අදහස් කෙරෙන්නේ සදහම් ඇසීම ය. බුද්ධානං උප්පාදෝ යනු බුදුවරයන් වහන්සේගේ උපත ය. කිච්ඡෝ යන වචනයෙන් පෙන්වා දෙන්නේ ඉහත සඳහන් කළ සියලු අවස්ථා ලබා ගැනීම කණ කැස්බෑවා විය සිදුරින් අහස බැලීමටත් වඩා දුෂ්කර බවයි.

නො එසේ නම් අතිශය දුර්ලභ බව ය.

වර්තමාන සමාජයේ ජීවත් වන අපි ඒ ඉතා දුර්ලභ වු, දුෂ්කර වු සම්පත් ලබා ඇත්තෙමු. ඒ අතරින් ක්‍ෂණ සම්පත්තිය වශයෙන්, ධර්මයෙහි හැඳින්වෙන ඒ උතුම් මිනිසත් බව අපි ලබා ඇත්තෙමු. එම මිනිස් බව අපි ලබා ඇත්තේ ධර්මය පවතින්නා වු බුද්ධෝත්පාද කාලයක ය. බුදුවරයන් වහන්සේගේ උපත නිතර සිදුවන්නක් නොවේ. එය කප්කෙළ සහස් ගණනකිදු සිදු නොවන ඉතා දුර්ලභ සිදු වීමක් බව අපේ පෙළ දහමින් අනාවරණය කරනු ලැබේ. සදහම් ඇසීම ද එබඳු දුර්ලභ වූවකි. සදහම් දෙසන්නකු මෙන්ම, ධර්මය දන්නා කෙනකු මුණ ගැසීම ද ඉතා දුර්ලභ ය.

එය තථාගත මුවින්ම දේශනා කර ඇති ආකාරය ඉහත ගාථා ධර්මයෙන් පෙන්වා දී තිබේ.

තථාගතයන් වහන්සේගේ උතුම් උපතත්, සම්මා සම්බුද්ධත්වයත්, මහා පරිනිර්වාණයත් සිදු වු අද වැනි උතුම් දිනයක උන්වහන්සේගේ ධර්මය මෙනෙහි කිරීම උන්වහන්සේ දැකීමේ මඟක් ද වනු ඇත.

ඒ අනුව ඉහත දේශනය තථාගතයන් වහන්සේ සිදු කරනු ලබන්නේ කුමන හේතුවක් නිසා දැයි විමසා බැලිය යුතුව ඇත.

ඒ පිළිබඳ විස්තරය වෙසක් අමාවක පෝදා ( 22) පුවත් පතින් කියවමු.