Print this Article


දිළිඳු බව නැති කරන සැප ලබන පින්කමක්

දිළිඳු බව නැති කරන සැප ලබන පින්කමක්

එක්තරා කාලයක බරණැස අන්නභාර නම් දුප්පත් මගියෙක් සිටියා. ඔහු කුමක් හෝ කුලී මෙහෙයක් කරලා ජීවිකාව රැක ගන්න කෙනෙක්. ඔහුට හොඳ ගුණ පිහිටලා තිබුණා.

වංචා සිතින් මිනිසුන් වෙතින් ඉල්ලීමට පෙළඹී සිටියේ නෑ.

ඔහුගේ ගුණවලට ගැළපෙන බිරිඳක් ද දුගියාට ලැබී තිබුණා. දවසක් වෙනදා මෙන් ම අන්නභාර කුලී වැඩක් සොයා ගෙන ගෙදරින් නික්මුණා. මොහුගේ නිවසට නුදුරින් තිබුණා විශාල වනාන්තරයක්. එහි ගන්ධමාදන කියලා හඳුන්වන පර්වතයක ගල් ලෙනක් ඇසුරු කරමින් උපරිට්ඨ නම් පසේ බුදුවරයාණන් වහන්සේ නමක් වැඩ සිටියා.

දවසක් උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සම වැදී අද මා කවරකුට පිහිට වන්නේ දැයි සිතා බැලුවා.

එතකොට දැක්කා හැමදාම අව්ව වැස්ස නොබලා කුලී වැඩක් සොයමින් ඇවිදින, ඒ ලැබෙන දෙයින් ජීවත් වන, ගුණ යහපත් අන්නභාරව. ඔහුගේ සසර ගමන සැපවත් කිරීමේ අරමුණින් ගම් දොරට වැඩම කොට ඔහු නිවසට යන මාර්ගයේ රැඳී සිටියා.

රැය පහන් වන තෙක් සේවය කර ගෙදර එන අන්නභාරට පසේ බුදුන් වහන්සේ දකින්න ලැබුණා. වහාම උන්වහන්සේ සමීපයට ඇවිත් ‘’ස්වාමිනි, පිණ්ඩපාතය ලැබුණා ද?” කියලා විමසුවා.පසේ බුදුන් වහන්සේ ‘’උපාසකය, ලැබෙන්නේ නම් මහත් පිනක්” යැයි පිළිතුරු දුන්නා.

අන්නභාර කාරණය තේරුම් ගත්තා. ‘’ස්වාමිනි, මෙහිම මොහොතක් වැඩ සිටින්න, මා පිණ්ඩපාතය ඉක්මනින්ම ගෙන එන්නම්” යැයි කියලා පාත්‍රය අරගෙන ගමන ඉක්මන් කරමින් වහා නිවසට ගොඩ වුණා.

බිරිඳ දුටු කෙණෙහිම ‘’මාගේ බත්පංගුව තියනවාද?”යි ඇහුවා. බිරිඳත් ‘’තියනවා”යි පිළිතුරු දුන්නා. එවිට ඔහු නැවතත් ‘’සොඳුර, අපට පින් මදි නිසයි මෙහෙම දුප්පත්ව ඉපදිලා ඉන්නේ, දන් දෙන්න ඕන කියලා හිතනකොට දෙන්න දෙයක් නෑ.

දෙන්න වස්තුව තියන කොට පිළිගන්වන්න සුදුසු ප්‍රතිග්‍රාහකයන් වහන්සේ නමක් නෑ. මට අද අර ගන්ධමාදන පර්වතයේ වැඩ වසන පසේ බුදුන් වහන්සේ හමුවුණා. උන්වහන්සේට තාම පිණ්ඩපාතය ලැබිලා නෑ. පින් කර ගන්න හොඳම අවස්ථාව මේ.

ඊයේ උදේ ආහාර ගත්තාට පසු මට තාම කෑම ටිකක් කන්න බැරි වුණා. ගොඩාක් බඩගිනියි තමයි. ඒත් මට මේ අවස්ථාව නැවත ලැබෙන්නේ නෑ.

ඒ නිසා මගේ බත් පත පාත්‍රයට බෙදන්න. මම එය පිළිගන්වා එන්නම්”යැයි කියා ඔහුගේ බත් පත පාත්‍රයට බෙදා එය රැගෙනවිත් පසේ බුදුන් වහන්සේට පිළිගන්වා ‘’ස්වාමිනි, මේ පිනෙන් මම දුප්පත් ජීවිකාවෙන් මිදෙම්වා”යි ප්‍රාර්ථනා කළා.

පසේ බුදුරජාණන් වහන්සේ එය අසා ‘’පින්වත ඔබගේ ප්‍රාර්ථනාව එසේම ඉටුවේවා”යි ආශීර්වාද කළා. අන්නභාර තමන්ගේ උරමත තිබුණ උතුරු සළුව බිම අතුරා එහි වැඩ සිට දානය වැළඳීමට ආසන ද පනවා, පැන් පිළිගන්වා, පාත්‍රය සේදීම් ආදීය ඇතුළත් සියලු වතාවත් කළා.

මේ සිද්ධිය දුටු සුමන සිටුවරයාගේ සිටුමාලිගයේ වාසය කරන දේවතාවිය මහත් වූ ශබ්දයෙන් සාධුකාර පැවැත්වූවා.

අද මා දුන් දානයට පැහැදී සාධුකාර දුන්නේ යැයි ඒ අසා සිටුතුමා සිතුවා. පසුව ඒ ගැන දෙව්දුවගෙන් විමසුවා. එවිට දේවතාවිය ‘’සිටුතුමනි, අද මම ඔබගේ දානයට සාධුකාර නො දුන්නෙමි. අන්නභාර දුන් දානයට පැහැදී මහත් වූ සාධුකාර දුන්නෙමි”යි කිව්වා. සිටුතුමා ඔහු කැඳවා කළ පින්කම විමසා ඒ පින් තමාට මිල කරමින් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ක්‍රමයෙන් මසුරන් දහස දක්වා ගණන වැඩි කළා.

එහෙත් අන්නභාර තමා කළ පින් මිල කරමින් ලබා දීමට අකැමැති වුණා. අවසානයේ මිලයට දෙන්න අකමැති නම් දහසක් මසුරන් ගෙන පින් අනුමෝදන් කරන්න යැයි ඉල්ලා සිටියා.

අන්නභාර එයට පිළිතුරු දෙමින් ‘’සිටුතුමනි, ඔබ මට මහත් සේ උපකාර කර තිබෙනවා. ඒත් මා කර ගත් මේ විශේෂ පින එසේ අනුමෝදන් කිරීමෙන් මාගේ පින් අඩුවිය හැකියි. මම මේ ගැන පසේ බුදුන් වහන්සේගෙන් ම විමසා දැනගෙන අනුමෝදන් කරමි”යි පවසා එදා සිටුමාලිගයෙන් නික්මී ගියා.

පසු දිනම අන්නභාර පසේ බුදුන් වහන්සේ හමුවී පින් අනුමෝදන් කිරීමෙන් තමන්ගේ පින අඩු වන්නේ දැයි විමසා සිටියා. එවිට පසේ බුදුන් වහන්සේ ‘’අන්නභාර, ඔබට මම මෙය උපමාවකින් කියා දෙන්නම්, ඔබ දැල්වූ පහනකින් තවත් අයකුට තවත් පහනක් දල්වා ගැනීමට අවස්ථාව දෙන විට කුමක් සිදුවේද? ඔබගේ පහනේ දැල්ල තවත් වැඩි වේද? අඩුවේද? වැඩිවන්නේ ම ය.

එපරිද්දෙන් ඔබ කුඩා පින්කමක් කර හෝ ලැබූ පින තවත් කෙනකුට අනුමෝදන් කරන්නේ නම් ඔබගේ පින වර්ධනය වෙනවා”යි දේශනා කළා.

එයින් පැහැදුණු අන්නභාර සිටුමාලිගයට ගොස් සිටුතුමා හමුවී තමා කළ පින් අනුමෝදන් කළා. සිටුතුමාත් මහත් සේ සතුටට පත්ව පින් අනුමෝදන් වුණා. ඒ වෙනුවෙන් නැවතත් මසුරන් දහසක් දෙන්න සූදානම් වුණා. එහෙත් දුගියා එයට කැමති වුණේම නෑ. අවසානයේ දී ඔබගේ ගුණයට පූජාවක් ලෙස මෙය දෙන්නේ යැයි පිළිගන්න.පින්කම වෙනුවෙන් නො දුන්නේ යැයි සිතන්න යැයි දන්වා සිටියා.

එයට පැහැදුණු අන්නභාර මසුරන් දහස පිළිගත්තා. සිටුතුමා කොපමණ සතුටට පත් වූයේ ද කියනවා නම් රජතුමා සමීපයට පහසුවෙන් යාමට නො හැකි අන්නභාරව පසු දිනම මුණගැස්වීමට කටයුතු කළා.

අන්නභාර කළ මහත් වූ පින්කමත්, ඔහුගේ ගුණයත්, පින් අනුමෝදන් කිරීමත්, මසුරන් දහසක් දුන් පුවතත් දන්වා සිටියා. රජතුමාත් එයින් පැහැදීමට පත්ව තවත් මසුරන් දහසක් දී රාජ්‍ය වියදමින් නිවසක් සාදා දීමට රාජ්‍ය නිලධාරීන්ට නියම කළා.

ඔවුන් රජුගේ නියමයෙන් නිවස තැනීමට ගෙබිම සැකසීමට උදළු පහර ගසන සෑම බිමකින් ම නිදාන මතු වෙන්න පටන් ගත්තා. ඒවා ගැනීමට තවත් උදළු පහර ගසන විට ඒවා පොළොව තුළට කිමිදෙන්න පටන් ගත්තා.

රජතුමාට එය දැන් වූ පසු අන්නභාරගේ නම කියමින් ඔහුගේ වචනයෙන් මෙය කරන්නේ යැයි පවසමින් බිම සකස් කරන්න නියෝග කළා. එයින් පසු නිදාන පොළොවේ කිමිදුනේ නෑ. මතුවුණ සියලු නිදාන ගොඩට ගත්තා.

රජතුමා ඒවා රාජ මාලිගය ඉදිරිපිට ගොඩ ගසා එවැනි ධනයක් කවර හෝ සිටුවරයකුට තිබේ දැයි ප්‍රශ්න කළා. එහෙත් මුළු රාජ්‍යයේ ම එවැනි ධනයකට හිමිකම් කියන්න පුළුවන් සිටුවරයෙක් සිටියේ නෑ.

ඒ නිසා එදින පටන් අන්නභාර බරණැස් නුවර ප්‍රධාන සිටු තනතුරට හිමිකම් කිව්වා. බොහෝ පින්කම් කොට මරණින් මතු ඔහු දෙව්ලොව ඉපදුණා.

ධනයත්, දීමේ සිතිවිලිත්, සුදුසු ප්‍රතිග්‍රාහකයකුත් ලැබී දන් දෙන්නට වාසනාවක් උදා වෙනවා නම් එම අවස්ථාව කිසි ලෙසකින්වත් මඟහරවා නොගත යුතු බව මේ කතා පුවතින් පෙන්වා දෙනවා.

ඒ නිසා උතුම් සීල ගුණයෙන් පිරුණු ශ්‍රාවකයන් වහන්සේ නමක් ප්‍රතිග්‍රාහකයන් වහන්සේ නමක් වශයෙන් මුණුගැසෙන්නේ නම් නොපමාව දන් දී පින් රැස් කර ගැනීමට කටයුතු කළ යුතුයි.

දුගියා සිටුවරයකු වූවාක් මෙන් එසේ පින් කරන පුද්ගලයාට සසරේ කිසිදු ආත්මයක ආහාර පානවලින් හෝ සැප සම්පත්වලින් හෝ අඩුවක් දැනෙන්නේ නෑ.