Print this Article


තණ්හාවට හසුවී දුක උරුම කර ගන්නවා ද?

තණ්හාවට හසුවී දුක උරුම කර ගන්නවා ද?

අනේක ජාති සංසාරං
සන්ධා විස්සං අනිබ්බීසං
ගහ කාරකං ගවෙසන්තො
දුක්ඛා ජාතී පුනප්පුනං
ගහ කාරක දිට්ඨොසි
පුනගෙහං නකාහසි
සබ්බා තෙඵාසුකා භග්ගා
ගහකූටං වීසං ඛිතං
විසංඛාර ගතං චිත්තං
තණ්හානං ඛයමජ්ඣගා

පින්වතුනි, සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයෙහි අනඳ මහ තෙරුන් වහන්සේගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මෙම ප්‍රථම උදාන ගාථා ධර්ම යළි දේශනා කළ සේක.

සුමේධ මහා තාපසයාණෝ, දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙතින් නිවන් පසක් කිරීමට හැකියාව ලැබුණත් ඒ ගැන සිත යොමු නොකළහ. මම ද මෙම බුදුරදුන් මෙන් සව්සතුන් සසර සයුරෙන් එතෙර කරවීම සඳහා ලොව්තුරා බුදුවන්නෙමි’යි තිර අදිටනින් ප්‍රාර්ථනා කළහ.

එ දවස ලත් නියත විවරණ ඇතිව සසරට පැමිණියහ. ඒ බෝසතාණන් වහන්සේ දානා දී සමතිස් පෙරුම් දම් පිරූහ. අන්තිම ආත්ම භාවයේ දී කිඹුල්වත් පුර සුද්ධෝදන මහ රජතුමන් නිසා මහා මායා දේවී කුස පිළිසිඳ ගත්හ. මෙලොව එළිය දැක සිදුහත් කුමාර ව ක්‍රමයෙන් හැදී වැඩුණහ. සිප් සතර කෙළ පැමිණියහ. ගිහි සැප අත්හැර පැවිදි වූහ. සයවසක් තවුස්දම් පිරූ, පස්මරුන් පරදවා, තම නැණින් ම සිව්සත්දම් අවබෝධකොට ගත්හ. “අනේක ජාති සංසාරං” යන ගාථාවෙන් උදන් ඇනූ සේක.

අප බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටින අවස්ථාවක අනඳ හිමියන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පසුව මෙම ගාථාව දේශනා කළ සේක.

නැවත නැවත දුක් ඇති කරන්නා වූ, ආත්මය නැමති ගෙය කරන්නා සොයමින් බොහෝ කාලයක් සසර ඇවිද්දෙමි. ගෙය කරන්නා දැක්කෙමි. නැවත ගෙය නොහදන්න. ඔබ ගේ හදන පරාල සිඳ බිඳ දමන ලදී. ගෙයි කැණිමඬල විසුරුවන ලදී. මගේ සිත විසංඛාර ගත විය. මම තණ්හාව නැති කළෙමි.

සංසාරය යනු සැරිසරන ස්වභාවය යි. ජාති, ජරා, ව්‍යාධි, මරණ යන ප්‍රධාන දුක් පීඩා ඇතුළුව සත්වයකුට එක් ජීවිතයක දී විඳින්නට වන වේදනා අපමණ ය. සමස්ත වශයෙන් සත්වයාගේ ජීවත්වීම යනු දියෙන් ගොඩට ගත් මාළුවා දඟලන්නා සේ ය. සෑම සත්වයෙක් ම තණ්හාවෙන් දඟලන්නේ ය. මෙම ආත්මය නැමැති ගෙය හදන්නේ සත්වයා විසින් ම ගෙනෙන ලද තණ්හාව නැමැති වඩුවා විසිනි. කෙතරම් දුක් වේදනා ඇතිවුවත් සත්වයා ග්‍රහණය කර ගත් තණ්හාව අඩු කර ගන්නට කැමති නැත.

ආත්මයෙන් තණ්හාවත්, තණ්හාවෙන් මෙම ගාථාවෙන් දැක්වෙන ප්‍රධාන කරුණු වන්නේ දීර්ඝ සංසාරේ සත්වයා ගමන් කිරීම ය. මෙසේ ගමන් කිරීම නිසා අපමණ දුක්වේදනා විඳීම ය. අප බුදුරදුන් විසින් පෙන්වා දුන්නේ එම සසර ගමනට හේතුවන ධර්මයන් විනාශ කිරීම ය.

තණ්හාව නැති කොට සසර දුක් නැති කිරීම හා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කිරීම ය. සසර ගමන් කරන සත්වයා ඒ තරම් දුක් වේදනා විඳියි. එහෙත් අවිද්‍යාව නිසා එය සිදුවන මඟ අවබෝධ කර ගන්නේ ම නැත. එයට හේතුව සත්වයා තණ්හාවෙන් ලෝකය තදින් අල්ලා ගෙන සිටීමයි. කෙලෙස් මූලය තණ්හාවයි.

සැප නැමැති සංකල්පයට යටවී සත්වයා දුකම එකම ජීවන ආධාරය වශයෙන් තබා ගනී. දුක සැප පිළිබඳ නියම අවබෝධයක් නැත. මේ නිසා සත්වයා අවිද්‍යාන්ධකාරයෙන් එහා ගියේ නියම මාර්ගය නොදනී. තණ්හාවෙන් ආවේශ වෙයි. අකුසල් සංස්කාර රැස් කරයි. භවයෙන් භවයට ඉපදෙමින්, මැරෙමින් අනන්ත අප්‍රමාණ දුක් වේදනා විඳියි. මේ කාරණය බුද්ධියෙන් සිතිය යුතු ය. ඒ අනුව ක්‍රියාකොට උතුම් නිවන් මඟට පියවර තබන්ට උත්සාහ ගන්න.