Print this Article


ධර්මාලෝකයෙන් ප්‍රභාවිත වෙමු

ධර්මාලෝකයෙන් ප්‍රභාවිත වෙමු

සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො - චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකො භික්‍ඛු - සො ඉමං විජටයෙ ජටං

ප්‍රඥාවන්ත වූ යම් පුද්ගලයෙක් සීලයේ පිහිටා සමාධිය හා ප්‍රඥාව වඩන්නේ ද, කෙලෙස් තවන වීර්යයෙන් හා පාරිහාරික ප්‍රඥාවෙන් යුත් ඒ භික්‍ෂුව තෘෂ්ණා නැමැති අර්බුදය නිරවුල් කරන්නේ ය.

කාරුණික සුපින්වතුනි, අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුන් පොහෝ දිනය අද යි. සම්බුද්ධෝපදේශයන් මත පිහිටා පිළිවෙතින් පෙළගැසී ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරත සැදැහැති බෞද්ධ ජනයා ධර්මාලෝකයෙන් ප්‍රභාවිත කිරීමට අද දින ධර්ම දේශනාව සඳහා මාතෘකා කර ගන්නට යෙදුණේ, සංයුක්ත නිකායේ, දේවතා සංයුක්තයේ අන්තර්ගත ජටා සුත්‍රය යි.

අභ්‍යන්තර හා බාහිර වියවුල් හෙවත් අර්බුදයන්ගෙන් මිනිස් වර්ගයා පීඩා විඳීයි. එකී වියවුල් නිරාකරණය කර ගැනීමට සමත් වන්නේ කවරෙක් ද?

යනුවෙන් විචාළ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මෙම ගාථාවෙන් මිනිසා ගුණධර්මයන්ගෙන් පෝෂණය වන විට ඔහුට ලැබෙන සමාජ ආධ්‍යාත්මික හා සමාජ ආරක්‍ෂාව පිළිබඳ මනාව පැහැදිලි කරයි.

පවත්නා ස්වභාවය හෙවත් යථාර්ථය පිළිබඳ අනවබෝධය හේතුවෙන් අපි බොහෝ ගැටලු නිර්මාණය කර ගන්නෙමු. ඇලීම්-ගැටීම් මත පදනම්ව ගැටලුවේ හේතුව පිළිබඳ අනවබෝධයෙන් ඵලයට විසඳුම් සෙවීමට උත්සාහ කිරීමෙන් අපි එකී ගැටලු සංකීර්ණ අර්බුද බවට පත් කර ගන්නෙමු.

එහෙයින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණේ සීල, සමාධි, ප්‍රඥා යන ගුණාංගයන්ගෙන් සිය ජීවිතය පෝෂණය කරගත් වීර්යවන්ත බුද්ධිමත් පුද්ගලයා පමණක් මෙකී අර්බුද විසඳා ගැනීමට සමත් වන බවයි.

ආත්ම කේන්ද්‍රීය වශයෙන් හෝ සමාජ කේන්ද්‍රීය වශයෙන් නිර්මාණය කර ගන්නා සියලු අර්බුද නිරාකරණය කර ගැනීම සපඤ්ඤක භාවයෙන් ආරම්භ විය යුතු ය. එනම් කර්මජ ත්‍රිහේතුක පටිසන්ධි ප්‍රඥාවෙන් යුක්ත වීමයි.

මෙහි සීලය යනුවෙන් හඳුන්වන්නේ, කාය වචන දෙකේ සංවර භාවය යි. එහෙත් චෛතසික සංවරය සීලයට අයත් නොවන බව එයින් අදහස් නොකරයි. සීලයේ ලක්‍ෂණය වනුයේ සමාධානය හා උපධාරණයයි. එනම් කාය වචී කර්මයන් විසිරී යා නොදී සුශීලව පවත්වා ගැනීම හා කුසල ධර්මයන්ට පිහිටීම් වශයෙන් ආධාර වීමයි.

සියලු කුසල ධර්මයන් සීලය මත පිහිටා ආරම්භ වේ. සියලු බීජයන්ගේ වර්ධනය උදෙසා මහපොළොව උපකාරී වන්නේ යම් සේ ද එසේම සීලය ද සියලු කුසල ධර්මයන්ගේ වර්ධනය උදෙසා උපකාරී වේ.

සීලය සම්බන්ධයෙන් අප අවබෝධ කර ගත යුතු වඩාත් වැදගත් කාරණය නම් සීල සම්පන්න භාවය උදෙසා වැළකිය යුතු දෑ මෙන් ම සමාදන් විය යුතු දෑ ද පවතින බවයි.

එය චාරිත්‍ර සීල හා වාරිත්‍ර සීල යටතේ දක්වා ඇත. සීලයේ මනාව පිහිටීමෙන් පසුව පමණක් සද්ධා. විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රීය ධර්මයන් වර්ධනය කර ගැනීමට අවකාශය සැලසේ.

චිත්ත භාවනාව යනුවෙන් මෙහි දක්වා ඇත්තේ සමාධිය වැඩීමයි.

සමාධිය යනු සිතහෙි එකඟ බවයි. එනම් නොයෙක් අරමුණුවල සිත විපිළිසර වන්නට ඉඩ නොදීමයි. අවික්‍ෂිප්ත භාවය හෙවත් සිත තුළ අතිවන නොකැළඹුණු ගතිය ම මේ තුළින් අදහස් කරයි. අකම්ප්‍ය ගුණය හෙවත් කම්පා නොවීම සමාධියේ උපට්ඨානය හෙවත් වටහා ගැනීමේ ස්වභාවය වන අතර, සුඛය එහි ආසන්නතම කාරණය යි.

ප්‍රඥාව යනු යමක යථා ස්වභාවය පිළිබඳ අවබෝධය යි. එනම් ඒ ඒ ධර්මතාවන්ගේ ස්වභාවයන්හි පවත්නා විශේෂතා මෙන්ම අනිත්‍යාදි සියල්ලට සාධාරණ ස්වභාවය අවබෝධ කර ගැනීමයි.

මෙකී සන්දර්භය තුළ ප්‍රඥාව යනුවෙන් දක්වා ඇත්තේ කුසල් සිත්හි යෙදුණ විදර්ශනා ඤාණය යි. මනසට ගෝචර වන ධර්මයන්ගේ යථා ස්වභාවය මනාව අවබෝධ කොටගෙන මෝහන්ධකාරය විනාශ කොට නොමුළා බවට පැමිණිම ප්‍රඥා යනුවෙන් අර්ථ ගැන් වේ.

පුද්ගලයා ලෝකය පිළිබඳ ලබා ගන්නා අවබෝධයන්ගේ ස්වභාවය බුදුදහම තුළ සඤ්ඤා, විඤ්ඤාණ හා පඤ්ඤා යන වචන ත්‍රයෙන් පැහැදිලි කරයි. සඤ්ඤා යනු යමක බාහිර ස්වරූපය පිළිබඳ පවත්නා දළ අවබෝධය යි. වර්ණය හා හැඩතල මත පදනම්ව යමක් හඳුනා ගැනීම සංඥා අවස්ථාවට ගත හැකි ය.

විඤ්ඤාණ අවස්ථාවේ දී වර්ණය හා හැඩතලය පිළිබඳ අවබෝධය මෙන්ම එහි පවත්නා අනිත්‍යාදි ලක්‍ෂණ පිළිබඳ අවබෝධයක් ද ඇති වේ. එහෙත් ඒ තුළින් මෝහය දුරු කර ගැනීමට සමත් නොවේ.

ප්‍රඥා අවස්ථාවේ දී වර්ණ හා හැඩතල පිළිබඳ අවබෝධය මෙන් ම එහි පවත්නා අනිත්‍යාදි ලක්‍ෂණ පිළිබඳ මනා අවබෝධයෙන් මමත්වය දුරු කර ගැනීමට අවශ්‍ය කරන විදර්ශනා ඤාණය උපදවා ගැනීමට පුද්ගලයා සමත් වේ.

මෙකී ඤාණමය අධිගමනය උදෙසා පුද්ගලයා ආතාපී හෙවත් කෙලෙස් තැවිමේ වීර්ය ගුණයෙන් මෙන්ම නිපක හෙවත් පාරිහාරික ප්‍රඥාවෙන් ද යුක්ත විය යුතු ය. එනම් කුසල ධර්මයන් පූරණය කිරීමේ ප්‍රතිපදා මාර්ගය තුළ පසුබට නොවී කටයුතු කිරීම වීර්යයි.

නිදසුනක් ලෙස දිරා වැටෙන්නට යන වහලක් මුක්කුවක් ගසා වැටෙන්නට නොදී පවත්වා ගන්නට උත්සාහ ගන්නා සේ අරමුණෙන් බැහැරව යන්නට නොදී මනස ශක්තිමත් ව රඳවා ගැනීමේ හැකියාව වීර්ය යි.

නිපක හෙවත් පාරිහාරක ප්‍රඥාව යනුවෙන් මෙහි දී දක්වා ඇත්තේ, පුද්ගලයා සිය දිවි පැවැත්ම උදෙසා පරිහරණය කළ යුතු දෑ, ඒවා පරිහරණය කළ යුතු කාලය මෙන් ම එහි උපකාරණාර්ථය පිළිබඳ දැනීමයි.

උපකරණ යොදා ගත යුත්තේ ජිවිතය පහසු කර ගැනීමට මිස උපකරණ උදෙසා ජීවත් වීම නොකළ යුත්තක් බව මේ තුළින් අවබෝධ කොට ගත යුතු ය.

මෙම ගාථාව තුළ ප්‍රඥාව අවස්ථා තුනක යෙදී ඇත. එනම් සිය ජිවිතය පිළිබඳ තීරණය ගැනීමේ හැකියාව හෙවත් කළ යුතු නොකළ යුතු දෑ පිළිබඳ අවබෝධ කර ගැනිමේ හැකියාව පළමුැන්න යි.

දෙවනුව විදර්ශනා ප්‍රඥාව හෙවත් ධර්මතාවන්ගේ යථා ස්වභාවය අවබෝධ කර ගැනිමේ හැකියාවයි.

තුන්වනුව ජීවන ගමන පහසු කර ගැනීම උදෙසා උපකරණ භාවිතා කිරීම පිළිබඳ අවබෝධයි.

මෙම තුන් ආකාර වූ ප්‍රඥාවෙන් හෙබි භික්‍ෂුව හෙවත් සසර භය දක්නා නුවණින් යුත් තැනැත්තා සීලයෙහි පිහිටා සමාධියෙන් මුවහත් කරන්නට යෙදුණු විදර්ශනා ප්‍රඥාවෙන් හා පාරිහාරිය ප්‍රඥාවෙන් යුක්ත වූයේ අභ්‍යන්තර හා බාහිර වශයෙන් ඇතිවන සියලු ගැටලු විසඳා ගැනීමට සමත් වන බව සම්බුද්ධ දේශනාවයි.

ආර්ථික, දේශපාලනික හා සාමාජීය වශයෙන් විවිධාකාර වූ ගැටයන්ට හෙවත් අර්බුදයන්ට මුහුණපා සිටින අපි සැම මෙම උතුම් වෙසක් පුන් පොහෝ දිනයේ අප ජීවිත මෙම සම්බුද්ධ දේශනාවෙන් අර්ථවත් කර ගැනීමට අධිෂ්ඨානයෙන් කටයුතු කරමු.