Print this Article


පහන් සිතක කවි

සංස්කරණය - දීපා පෙරේරා

ගයාවේ සිට

මැදියම් රැයේ දෙවියන් වැඳ වැටෙන විට
සැනෙකින් එළි ඇදී එයි සිව් කොනෙහි සිට
සිලි සිලි මිහිර පැතිරෙයි ඒ සතර වට
වැතිරෙමි ගයා හිස මහ බෝ සෙවණ යට

නේරංජනාවේ සිට එන මුදු පවන
සිසිලස සදයි ගත හා පින් කළ සවන
ජීවන මාවතේ රැඳි දුක් ගිනි නිවන
වජිරාසනය මත රඳවමි හිස තුටින

සඳ රැස් සිප ගනී නිහඬය පරිසරය
ආලෝකය දසත රන් පැහැයට බර ය
පිවිසෙමි සුවඳ කුටියට අති මනහර ය
නිකෙලෙස් සමිඳු වත නිරතුරු පින්සර ය

අසුනේ රැඳුන පරමල් විසි කරන්නට
අවසර පතමි සමිඳුනි ඔබ ළඟින් සිට
ඒ මුව තුළ රැඳුන මදහස දකින්නට
කළ පින් කොතෙක් දැයි ඇදහිය හැකි ද මට


නිසි මඟ

සුදොවුන් රජු පුත්
මායා මව් පුත්
බිහි වූ සිදුහත්
බුදු බව ලැබ ගත්

බුදුහිමි වැන්දොත්
ලැබේ ය පින්කෙත්
නරකක් කළ හොත්
අපාය ළංවෙත්

මේලොව සැපතත්
පරලොව සැපතත්
අවසන නිවනත්
සම්බුදු මඟම වෙත්
අජිත් වික්‍රමනන්ද වීරසූරිය


සදාකාලික සුව ලබන්නට

මුදා හැර රැස් දහර අඹරෙහි උදා හිරු පෙරදිගින් මෙලොවට
නිදා උන් කුමුදිණිය විකසිත වෙලා පතුරයි සුවඳ දසතට
බෙදා ගන්නට එමල් රොන් සුනු බිඟු බඹර මුළු පොරවදින විට
සදාකාලික සුව ලබන්නට බවුන් වඩනෙමි සෙනසුනක සිට

සසුදු මුදු සඳ සිසිල පතුරා සුවය ගෙන එයි තැවුන මෙලොවට
කුමුදු කුමරිය පිපී හිනැහෙයි ඔමරි පාමින් විල් ජලාපිට
පිපුණ සියපත් පෙති සලාහැර සැඟවිලා යයි ගැඹුරු ජලයට
මෙ දුටු දසුනෙන් අනිත දුක සහ අනත් බව ගන්නෙමි පසක් කොට


වෙසක් පොහෝ දා

ලුම්බිණියේ
සාලවනේ
ඉපදී
වෙසක් පොහෝ දා

සසර සරා
පෙරුම් පුරා
බුදුව ලොව්තුරා
වෙසක් පොහෝ දා

හතළිස් පස්
වසක් පුරා
අමා දහම් බෙද බෙදා
පිරි නිවනට
හිමි වැඩියා
වෙසක් පොහෝ දා


වයසට යනවා

සිදුහත් කුමරු යයි එ දවස මැදුරෙන් පිට
දුටුවා මහලු මිනිසකු රුව මුල් වරට
විමසුවෙ ඡන්නගෙන් මක්වීල ද ඔහුට
කුමරුනි ඔහොම වෙනවා දවසක අපට

සක්විති වෙනව කිවු පුතු සම්බුදු වූවා
ලොව දම් ලෙසට සැම සිදු වෙනවයි දෙසුවා
මහලු වෙනව ලෙඩ වීලා මියැ දෙනවා
දම් ඇසු පියා අම නිවනට පත් වනවා


සම්බුදු තෙමඟුල ...

දෙව්ලොව දෙව් සැප අතහැර මිහිබට
දඹදිව සුදොවුන් රජුහට පුතනුව
බිසවුන් මායා දේවිගෙ කුස තුළ
පිළිසිඳ ගැනුනේ පින්සරු කුමරුන්

දසමස ගෙවලා සියපුතු ලැබුමට
මව්පිය දැකුමට දෙව්දහ යන මඟ
පෙරහර සරු කළ පිරිස ද සමඟ ම
දේවිය සපැමුණි ලුම්බිණි උයනට

සල්ගස අත්තක් පහතට නැමුවා
සල්මල් නෙළුමට දේවිට සිතුණා
නෙළමින් සිටිය දි බිසවුන් සල්මල්
සලිතව මිහිකත පිළිගති කුමරුන්

විලඳ කිරිපිඬු සුජාතා දේවිගේ
තලියත් පාකර ගඟ දිය ඉහළට
පරදා දසබල මාර සෙනඟ සැම
ලැබුවා බුදුබව බෝසත් හිමි සඳ

බෙදමින් දම් රස තුන් ලොව සැනසූ
පන්සාළිස් වස අවසන එළඹුණු
වෙසක් පොහෝ දින පුන්සඳ පෑයු
පිරිනිවුණා අපේ සම්බුදු සමිඳූ


සැනසුම

සැනසුම සතුට නැති නම් හදවතට දැනී
ජීවිතය ම කැඩුණු වැට හා නියර වැනී
පෙනෙන මානයක නැත්නම් සතුට පෙනී
ජීවිත කාලයම ඇස්වල කඳුළු පනී


තුන් හෙළයම තෙරුවන් සරණින් සැනසේවා

වනේ පිපෙන මලක් වෙලා බුදුන් පුදන්නයි
හිමිදිරියේ පිනි බිඳකින් දොහොත් තෙමන්නයි
පහන් පැලේ ආලෝකෙන් අඳුර නිවන්නයි
මෙත් කරුණා දිය දහරින් ලොව නහවන්නයි

සුදු සෑ මලුවේ පුන්සඳ කිරණ වැටේවා
ලා බෝපත් සිලි සිලියේ පවන් සැලේවා
වෙහෙර බිමෙන් ඝණ්ඨා හඬ පිළිරැව් දේවා
තුන් හෙළයම තෙරුවන් සරණින් සැනසේවා


නිවීම - සෙවීම

පිච්චෙන දේ සොයා යෑම ගින්නෙ පිළිවෙතයි
ගිනි ජාලා නිවුන විටදි රූපය නැති වගයි
පිච්චිය යුතු දේ සොයන්න දහම කියා දෙයි
ක්ලේශය මෝහය නිවුවිට සසර දුක නිවෙයි