Print this Article


සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙනවා

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙනවා
 

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ යටගල විහාරය, සිතුල්පව්ව මහා විහාරය ප්‍රධාන අෂ්ටමහා විහාරාධිපති හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ ශාස්ත්‍රපති පණ්ඩිත සද්ධර්ම කීර්ති ශ්‍රී මැටරඹ හේමරතනාභිධාන ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

චතුර්විධ පාණ්ඩිත්‍යයෙන් පිරිපුන් ධර්මධර, විනයධර, සුපේශල, ශික්ෂාකාමී තෙර නමක් වශයෙන් මහාවිහාර සම්ප්‍රදායට අනුකූල වූ ශ්‍රමණ සාරුප්‍යයෙන් වැඩ සිටින ඔබ වහන්සේ ජාත්‍යන්තරය තුළ පවා සම්භාවනාවට පාත්‍රවෙමින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධූරය හොබවමින් සුවිශාල ශාසනික කාර්යභාරයක් සිදුකරන බව ප්‍රකටයි. ඔබ වහන්සේ පැමිණි ඒ ගමන් මඟ පිළිබඳව අතීතාවර්ජනයක යෙදෙමින් සාකච්ඡාව ආරම්භ කරමු අපේ හාමුදුරුවනේ,

දකුණු පළාතේ ඓතිහාසික ගාලු ප්‍රදේශයට අයිති මැටරඹ කියන බොහොම පැරැණි රමණීය ගම්පියසක තමයි මගේ ජන්මෝත්පත්තිය සිදුවුණේ. ඒ වර්ෂ 1941 ක් වූ සැප්තැම්බර් මස 17 වැනි දින. ඈගන්තොල්ලවත්ත නමින් හඳුන්වන මහගෙදර විසූ අහංගම නානායක්කාර ගමගේ ජේමිස් ලොකු අප්පුහාමි මහෝපාසකතුමා සහ අක්මීවන පල්ලිය ගුරුගේ ඇලිස් නමින් හඳුන්වන යටගල හාමිනේ මහෝපාසිකා මාතාව යන මගේ සදාදරණීය පුණ්‍යවන්ත මව්පිය දෙපළ බොහොම ශ්‍රද්ධාවන්ත ජීවිතයක් ගත කළා. ඒ පින්වත් මව්පියන්ගේ ආභාසය අනුව පුර්වෝපචිත කුසලශි‍්‍රය මත මා තුළ පිහිටා තිබුණු සැදැහැවත් ආකල්ප දුටු වත්තේහේනේ පියරතන නායක හිමිපාණන් වහන්සේ පැවිදිවීමට යෝජනා කළා.

වර්ෂ 1955ක් වූ අප්‍රේල් මස 05 වැනි දින මැටරඹ හේමරතන යන උත්තරීතර ශාසනික නාමයෙන් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදිබවට පත්වීමට තරම් පූර්වෝකෘත පුණ්‍යමහිමය බලවත් වුණා. ඒ වගේම එවකට විහාරාධිපතිව වැඩ විසූ ඉලුක්පිටියේ ජිනරතන නාහිමි, වත්තේහේනේ රතනසාර නාහිමි, වත්තේහේනේ පියරතන නාහිමි, යන ධර්මධර විනයධර ශ්‍රද්ධා සම්පන්න ආදර්ශවත් සංඝ නේතෘන්වහන්සේලා ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ වශයෙන් කටයුතු කළ බව කෘතවේදීව පුණ්‍යානුමෝදනා පූර්වකව මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතු යි.

අනතුරුව ගාල්ල හීනැටිගල විද්‍යාකාන්ති පිරිවෙන, හෙට්ඨාචල පිරිවෙන යන පරිවේණාස්ථාන හා 1961 කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය වැනි දීප්තිමත් විද්‍යායතනයන්හි ශාසනානුලෝමී හැඟීමෙන් කටයුතු කරමින් ලංකා ශාසනාරම්භය ආලෝකවත් කළ සුපේශල ශික්ෂාකාමී ශාස්ත්‍රඥයන් වහන්සේලා වෙතින් ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබා ගත් බවත් ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

ඒ වගේම නිසි වයස් සම්පූර්ණවීමත් සමඟ 1965 වර්ෂයේ දී මල්වතු මහා විහාරයීය මංගලෝපෝෂථාගාරයේ දී සුපරිසුද්ධෝපසම්පදාවට පත්වීමට තරම් භාග්‍යවත් වුණා.

1976 වර්ෂයේ දී රත්මලාන පිරිවෙන් භික්ෂු අභ්‍යාස විද්‍යාලයෙන් ගුරු පදවියට අවශ්‍ය පුහුණුවීම් ලබා ගනිමින් පරිවේණාචාර්ය නමක, පරිවේණාධිපතීන් වහන්සේ නමක, පරිවේණාධ්‍යක්ෂ වශයෙන් අඩසිය වසක් ඉක්මවා යන තෙක් අධ්‍යාපන සේවාවෙහි නිරත වෙමන් සම්බුද්ධ ශාසනයේ උන්නතියට, සංරක්ෂණතාවට අවශ්‍ය ශික්ෂාකාමී සඟ පරපුරක් දායාද කරමින් අෂ්ටමහා විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන සිදු කළ ශාසනික මෙහෙවර ඇගයීමට පාත්‍ර කරමින් 2009 වර්ෂයේ දී ස්‍යාමෝපාලි වංශික මල්වතු මහා විහාරයීය ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව වෙතින් සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර ගෞරව නාමය සහිතව දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝ නායක ධූරය පිරිනැමීමට කටයුතු කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, සිතුල්පව්ව මඟුල් මහා විහාර ප්‍රතිසංස්කරණ දායක සභාවේ සභාපති, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, එම දායක සභාවේ අනුශාසක අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, හිටපු අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණ මැතිතුමා ඇතුළු දායක කාරකාදීන්ගේ උපකාර ලබා ගෙන යටගල රාජමහා විහාරය, සිතුල්පව්ව විහාරය ප්‍රමුඛ අෂ්ටමහා විහාරයන්හි අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තවදුරටත් උභයලෝක ශාසනික අර්ථ චර්යාවෙහි නියැළීමෙන් ප්‍රසාදයට පත් වූ මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් 2020 වර්ෂයේ දී සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීශ්වර රතනසාර නාමය සහිතව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් සම්භාවනාවට පාත්‍ර වුණා වගේම මියන්මාර් (බුරුම) රජය මඟින් අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධිය පිරිනැමීමට කටයුතු කළා.

අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන්ගේ විසුද්ධිමාර්ග ග්‍රන්ථයේ පවා සඳහන්වන ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාර ආදී විහාර ගණයේ ආධිපත්‍ය දරමින් ඔබ වහන්සේ සිදුකරන ජාතික, ආගමික, ශාසනික, සමාජමය සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම ඉතා වැදගත්. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරනවා නම්, නායක හාමුදුරුවනේ,

සිතුල්පව්ව මහා විහාරය දීර්ඝ ඉතිහාසයක් තිබෙන ඓතිහාසික ස්ථානයක්.

ඒ පිළිබඳ තොරතුරු රාශියක් අට්ඨකතාවල සඳහන් වෙනවා. වළගම්බා රාජ්‍ය සමයේ ඇති වූ මහා සාගතය නිසා අභාවයට ගොස් වනාන්තර බවට පත්ව වන සතුන් ගහණ වූ එම පුදබිම 1917 වර්ෂයේ දී ගාල්ල යටගල රාජමහා විහාරාධිපතිව වැඩ විසූ හෙට්ඨාචල පරිවේණාධිපති කවිකුලතිලක කලන්නේ ශ්‍රී ගුණරතන ගාලු පළාතේ ප්‍රධාන ස්වාමීන් වහන්සේගේ ඇවෑමෙන් විහාරාධිපතිත්වයට පත් වූ ඉලුක්පිටියේ ශ්‍රී ජිනරතන ස්වාමීන් වහන්සේ සහ තත් විහාරාධිපති වූ වත්තේහේනේ රතනසාර නාහිමි, වත්තේහේනේ ශ්‍රී පියරතන නාහිමි නැවත ශාසනික වශයෙන් දියුණු කළා. උන්වහන්සේලාගේ ඇවෑමෙන් මගේ ප්‍රධානත්වයෙන් එම ශාසනික කටයුතු ඉදිරියට සිදුකරගෙන යනවා.

සිතුල් පව්ව රාජමහා විහාරයට පැමිණෙන දෙස් විදෙස් සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමටත්, තොරතුරු ගවේෂණය කරන විදේශිකයන්ටත් අවශ්‍ය සියලු පහසුකම් සහිත සුදුසු පරිසරයක් නිර්මාණය කර දී තිබෙනවා. එම ඉදිකිරීම්වල දී පුරාවිද්‍යාත්මක හැම දෙයක්ම ආරක්ෂා කළා මිස විනාශ වීමට ඉඩ දුන්නේ නැහැ. සංස්කෘතික වටිනාකම් අඩු කළේ නැහැ. ඒ වගේම පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන සංරක්ෂණය කිරීමට අවශ්‍ය පරිසරයක් ඇති කළා වගේම එම වැඩපිළිවෙළ වර්තමානයේ අනුගමනය කරන බව සතුටින් ප්‍රකාශ කළ යුතු යි. ඒ වගේම පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජික හිමිනමක ලෙසත්, බෞද්ධ උපදේශක සභාවේ සභික නමක ලෙසත් කටයුතු කරනවා. 1891 යටගල රාජමහා විහාරය ආරම්භ කළ පිරිවෙන ප්‍රදේශයේ තිබෙන වැදගත් විද්‍යාස්ථානයක් දක්වා දියුණු කරමින් භික්ෂූන් වහන්සේලාගේ උන්නතිය සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.

ධර්ම ශාස්ත්‍රීය මෙන්ම චිරරාත්‍රඥ මහ තෙරුන් වහන්සේ නමක් වශයෙන් වැඩ සිටින ඔබ වහන්සේ සමාජයේ පැන නඟින විවිධ අර්බුද හමුවේ භික්ෂූන් වහන්සේ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරන්න හාමුදුරුවනේ.

භික්ෂූන් වහන්සේ මධ්‍යස්ථ මතධාරී අනුශාසකයෙක් වීම අවශ්‍යයයි. පැත්කට බර නොවී හොඳ කල්පනාවෙන් කටයුතු සංවිධානය කරන සුපේශල පිරිසක් බවට පත්වුවහොත් එබඳු ප්‍රශ්නවල දී භික්ෂූන් වහන්සේට සිදුවන අවනම්බුවෙන්, අගෞරවයෙන් සම්පූර්ණයෙන් ම මිදී කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා. එක එක පැතිවලට බරවෙමින් කටයුතු කිරීම භික්ෂූන් වහන්සේට ගැළපෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනා පැත්තකට බර නොවී සෘජුව ප්‍රකාශ කළ නිසා අදත් බෞද්ධ දර්ශනය හැම දෙනාම පි‍්‍රය කරන, කාටවත් බොරු කරන්නට බැරි දේශනාවක් අනුශාසනාවක් බවට පත්වෙලා තිබෙනවා. ශ්‍රාවකයන් වහන්සේ එය අනුගමනය කරනවා නම්, මධ්‍යස්ථ මතධාරී අනුශාසකයෙක් වශයෙන් කටයුතු කළ හැකියි.